මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Showing posts with label සිත නැවතුනු තැන්. Show all posts
Showing posts with label සිත නැවතුනු තැන්. Show all posts

Monday, April 7, 2014

අපි එකම රෑනේ කුරුල්ලෝ (II)...

කියෙව්වෙ නැති නම් කියවලා එන්න........

අපි එකම රෑනේ කුරුල්ලෝ(I)...


 ඒ සිකුරදත් වෙනදා වගේම ඉර පෑව්වා. කිසි වෙනසක් නෑ. ඒත් මොන දේ කරන්නත් තව එක දවසයි. හෙට ස්පොර්ට්ස් ඩේ එක.. අල්පේශාක්‍ය මහේශාක්‍ය තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් මතක් නොවුණට අද දවස හිමීට ප්‍රශ්නයක් නැතිව ගෙවිලා යනවා නම් කියලා හිතුණ වාර අනන්තයි.. නොගිහින් බැරි නිසාම උදේ තිබ්බ ලෙක්චර් වලට හුඟක් අය ගියේ.. හවස් වරුවම මේ වෙනුවෙන් කැප කරන්න හිතාගෙන. ලෙක්චර් එකට ගියේ නැති සිතාරා වල කැන්ටින් එක මැද්දට ආවේ මොකද්දෝ හේතුවකට.. 

සිතාරා කෑම වල සල්ලි දුන්නද...


සිත් ඉස්කොලේ ප්‍රින්සිපල්ට කතා කලාද..

මේ සිතාරා. ටී ෂර්ට් එකේ සල්ලි කාටද දෙන්න ඕනේ..

මේ මට ලණුයි උණ ගසුයි ගන්න ඕනේ... 

හතර වටෙන් එන ඔක්කොම ප්‍රශ්න වලට සිතාරා උත්තර දෙනවා. එහාට මෙහාට හැරි හැරි අහන ප්‍රශ්න ඔක්කොන්ටම උත්තර දිපු සිතාරා කොනක තිබ්බ පුටුවක වාඩි වෙලා හති ඇරියා.



ඒ ජරමර අස්සේ හරියටම.. අවුරුද්දක් තිස්සේ නොදීපු මහපොලක් දෙන්න හරියටම 5ස් වෙනිදා ලේස්ති කරලා. මොනවා කරන්නද.. බැච් එකේ වැඩ කරන උන් හුඟක් අය එදාට ඒකේ. හැමොන්ටම දුකයි. ගොඩක් අයගේ මූණු මැලවිලා. අපේ සී.සී නෝනගේ අතින් ලියවුණ ඉල්ලීම් ගොඩක් අහක ගියා. උන්ට එදා යන්නම උණා. ඒ අස්සේ සූ එකේ එක්සෑම් එකක්. ඒ කියන්නේ බයෝ අයගෙන් ලොකු උදව්වක් එදාට ගන්න බැරි වේවි.. ඒත් මේ මොන එක්සෑම් එක අස්සෙත් නිවේදන කටයුතු ටික ගාණට ලස්සනට කරලා අපිට අඩුවක් නොකරපු නිර්මාණී... ඔයාට ගොඩාක් ස්තුතියි.. වැඩ කරන්න ඉන්න ජනතාව එකින් එක ඔහොම අයින් වෙවී යද්දී.. නඳුන්,

“මේ සුදා.. ටීම් එකකට තුන් දෙනා ගානේ අපේ බැච් එකේ උන් දාලා මට ලිස්ට් එකක් දෙනවද..??” 
කියලා අහනවා. කොහේ ඉන්න උන් දාන්නද..?? කොල්ලෝ එක ටීම් එකක ඉන්න කැමති වේවිද...?? කොහොමින් කොහොම හරි.. තුන් දෙනාගේ නම් ලියන්න කොලේ ගත්තා විතරයි සුනෙතුයි දමිතුයි පැනලා කිව්වා ටීම් එකකට දාන්න කියල. ආයේ වෙන කෙල්ලෝ මොකටද..?? එශානිවත් දැම්මා ඒකට. පැය එකොලහක දොලහක මාර කට්ටක් කාලා ඒත් හදා ගත්තේ ටීම් 8ක් විතරයි..

ඒක ඒතරම් වැඩක්ද නැද්ද කියලා කරලම බලන්න.. මොකද බයෝ පිසිකල් අය කලවම් වෙන්න උදේ ඉඳන් ඉන්න පුළුවන් අය.. පොඩි උන් එක්ක ෆිට් එකේ ඉන්න අය... අව්වේ ඉන්න පුළුවන් අය.. හොයලා ඔහොම ලිස්ට් එකක් හදන එක නම් සිරාම ගේමක්... ඔය අස්සේ ෆුඩ් එකේ අය හදපු බීම එක කූල් කරන්න ශීත්කරණ වලට දාන්න බෝතල් මදි.. කොහොමින් කොහොම හරි... අරෙහෙට මෙහාට දුවලා.. අමිලලගේ බෝඩිම් වලින... අයේශලාගේ ගෙදරින්.. තව ඔය එකී නොකී මෙකී අයවලුන් ගෙනත් දීපු බෝතල් වල බීම එක දාල යාන්තමට ඒ වැඩේත් අහවර කලා.. 

ලා අඳුරත් එක්ක සැරින් සැරේ වැටෙන වැස්ස සුදාගේ හිතට ගෙනාවෙ මහ පව්කාර සිතුවිල්ලක්.. 

"හෙට වැඩේ අවුලක් වේවිද...??" 
එක එක වාහේලා පොඩි උන්ගේ විකාර කරපු හිත් වලට හෙට දවස ගැන බය නැති කරන්න.. අයියලා අක්කලාට අන්තිම වතාවට ආරාධනා කරන්න... හෙට ටී ෂර්ට් එක ඇඳන් එන්න කියන්න... ඒක නැති අයට තියෙන ඇඳුමක් ඇඳන් හරි එන්න කියන්න… බස් එක පිටත් වෙන වෙලාව... තැන… කියලා මූණූ පොතේ පොස්ට් දාන්න වගේ පොඩි පොඩි වැඩ වගයක් තිබ්බට කඩ්ඩ අවුල් මට ඒවා ටිකක් ගේමක් තමා.. 




ගගනයවත් ඇදන් බොරලැස්ගමුව ඉස්කෝලෙට යන්න ගියේ.. අපේ උන්ට අපේ වැඩේට දෙන්න පුළුවන් සපෝර්ට් එකක් දීල එන්න. කෑලි කපන්න පුලුවන් තරමේ කලුවර වැටිලා තියෙන එතන වොට් හැටේ බල්බ් එකක් පත්තු වෙනවා ඈතට දැක්ක. ඒ වෙද්දිත් වැටෙන පොද වැස්සේ තෙමි තෙමි මදුරුවෝ තල තල තෙසරුලා මාලකලා එන්ට්රඈන්ස් එකේ වැඩ. සුනෙත් දමිත් කැන්ගා.. වේනු.. ශාමින්ද.. ෆහීර් අත්වැඩ...



යාන්තමට එළිය තිබ්බ තැනකට සෙට් වෙලා.. අපි දාන්න තිබ්බ පෝස්ට් ටික දාද්දී ප්රාභාත්, උවින්දලා තවත් අයිනකට වෙලා සෘජුෆෝම් කැපුවා. එදා රෑත් අපේ වටේට සීනියර් අයියලා ඇවිත් බලන් හිටියා. ඒ අපි වෙනුවෙන්…. 

ඒ ඔක්කොම වැඩ අස්සේ... හවස ධීරසිංහ අයියා කියපු දේ අපේ හිත් නොසන්සුන් කලා.. 

“ඇයි මල්ලි, ඔයාලා බෙල්ලන්විල ගිහින් පූජාවක් කලේ නැද්ද..?? ” 


මොන දේ උනත් හත් දෙයියනේ කියලා ඔළුවට අත තියා ගන්න අපේ උන්දැලාට දෙයියන්වත් අමතක උණා. 


හෙට උදේම පන්සල් යමු එහෙනම්……

මතු සම්බන්දයි.. තව එකම එක කෑල්ලක් මග...

Saturday, July 6, 2013

දේදුන්නේ එන සමනලුනේ...




දැන් වෙලාව 6.30යි
දැන් වෙලාව 6.30යි. මම ප්‍රවෘත්ති කියන්න නෙමේ යන්නේ. 6.30 නම් 6.30. ඒ සුනිල් සර්ගේ හැටි..."
වේදිකාවේ කොනකින් මතු වෙච්ච රුවක් කියනවා ඇහුණා.. ඉස්සරහ පේලියක් අල්ල ගන්න 6.30ට කලින් ජ පුරේ බාශ එක ගාවට ගියේ 7ටවත් උත්සවේ පටන් ගනීවි කියලා හිතලයි. කොහොම උනත් 6.30ට තරු දොරට වඩම්මන්න හදනවා කියල ඇහුනාම රුපියල් 60ට ගත්ත ඕපන් කැන්ටින් එකේ මිරිස් වැඩි කොත්තුවෙන් දඟලන්න ගනිපු බඩ ටිකක් සන්සුන් උණා කියලා මට දැනුණා. කොහොම උණත් කිව්වා වගේම හරියටම 6.30ට වැඩේ පටන් ගත්තා.
 

අමිල සහය

නාන විධ බෝල බෝල එළි අතර පුංචි පුංචි තරු එළි අතර කෝට්-කලිසම්-සරම්-කුර්තා-ගවුම්-ඔසරි-සාරි රැසක් වේදිකාවේ දෙපැත්තේ පෙළ ගැහෙනවා. ඒ ආදරණිය විද්‍යාලීය මාතාව වෙනුවෙන් තම හඬ ඉඳුල් කරන්න. අපුර්ව නාදයකට වෙනස් විදියේ නර්තනයකින් චාමිකා අක්කලා ආයුබෝවන් කියනවා වේදිකාව නැවතත් තරු ආලෝකමත් උණ එළි වලින් මට පෙනුණා. දේශයේ තනු උල්පත රෝහණ වීරසිංහයන් වට කරගෙන දහසක් තරු වලට මියුරු නාදයන් එක් කරපු වාදක මණ්ඩලය දිළිසෙන ඇඳුම් ඇඳ ගෙන වාඩි වෙලා හිටියා. දැන් හරි වෙලාව තරු පායන්න...
 
විචී සමඟ බිනුරි

කසුන් අයියා තවත් අක්කා කෙනෙක් එක්ක සිංදුවක් කියලා ගියාට පස්සේ මනමාලයා වගේ ඇඳ ගත්ත විචී "නෙලන්න බැරි මලකට" එයාගේ ලොවට එන්න කියනවා කියලා රුක්ෂානි කට කොනකින් හිනා වෙලා අපේ පැත්ත බලලා අර දෙනෝ දාහක් ඉස්සරහ මයික් එකට හිමින් සැරේ කියනවා මට ඇහුණා. අනේ මම නම් දන්නෙත් නෑ ඕවා. කරුණාරත්න දිවුල්ගනේ දීපිකා ප්‍රියදර්ශනී එකට කියපු "නෙලන්න බැරි දුරින් පිපි" සින්දුවයි සනත් නන්දසිරි මහත්තයයි ලතා වල්පොල මහත්මියයි ගීත ලෝකෙට දායාද කරපු "දේදුන්නේ එන සමනලුනේ" සින්දුවයි කියපු විචියි-ඉස්සර විදියට ලොකු බෝරිච්චි අත් දාපු ඔසරියක් ඇඳ ගනිපු සහෝදරියි වේදිකාවෙන් බැහැල ආවා. සුපුන් අයියලා ජඩ්ඩා අයියලා දිල්මි අයේෂා මිනෝලි එරංගි අචල රජන්ත වගේම කොහෙද පැත්තක වැඩි වෙලා හිටිය අසින්ත හසිනි ජෝඩුවත් සුදු පාට අත් රතු පාට වෙනකන් අත්පුඩි ගැහුවේ උඹ අපේ එකෙක් කියලා අපිට දැනුණු නිසයි. වේදිකාවෙන් බැහැපු උඹ, "අයියෝ විචිත්‍ර ඔයා සින්දුව කෑවා" කියලා අත් දෙක මූණ ගාවට උස්සලා කවුරු හරි කියාවි කියලා හිතුවත් එහෙම උනේ නෑ.
රුක්ශානි
කොහොමින් කොහොම හරි සියලු සයන්ස්කාරයෝ නැසෙන සුළුය කිව්වට අපිටත් ඔය වේදිකාව නුහුරු නුපුරුදු බව කියන්න නිර්මණියි හසනි අක්කයිත් පෙළහර පාලා ගියා..
ටකරං ගැලවෙන්න වදින අත්පුඩි, හුස්ම හිර වෙනකන් වදින විසිල්, කෙල හිදෙනකන් නම කිය කිය කෑගහන සහෝදරත්වය තමන් සහෝදරත්වයට එහා ගිහින් සම්මානය තමන්ගේ ෆැකල්ටි එකට උස්සන් යන්න දරණ වෑයම නේද කියලා රතු වුණ අත් දිහා බලපු මට හිතුණා. එක එක මෝස්‌තරේ ඇඳුම් ඇද ගත්ත කොල්ලෝ කෙල්ලෝ හරි හරියට අඟර දඟර දදා සින්දු කියද්දී, මට හිතුණා-මට දැනුණා. විනිශ්චය දෙන්න පැමිණි ආදරණිය හඬ පෞර්ෂය නිරංජලා සරෝජිනී, ජානක වික්‍රමසිංහ, කිර්ති පැස්කුවෙල් වගේම හොඳම නිවේදක නිවේදිකාව තෝරන්න ආපු හිතුවක්කාර රසකාමියා උපුල් ශාන්ත සන්නස්ගල, සෝමරත්න දිසානායක හා තනුජා ජයවර්ධනයන් ලොකු අමාරුවක වැටුණා කියලා. ඔය ඔක්කොම වෙන අතරේ ජීවිතේට දැකලා තිබුනේ නැති සොඳුරු පන්හිඳ "ධම්මික සර්නුත්" කොහෙද ඉඳන් දුවං ඇවිත් ඉස්සරහ පුටුවක වාඩි වෙනවා දැක්කා.
 
අතරමං උණ විනිශ්චය මණ්ඩලය


අතරමං උණ විනිශ්චය මණ්ඩලය

ඔය ඔක්කොම වෙද්දී යාන්තම් නිවෙන පත්තු වෙන එළි රිදී පාට කණ්නාඩියක් දාපු දිගටි මුණ මට තවත් ආදරණිය මිනිසෙක් එහාට මෙහාට දුවමින් සීමිත ඉඩ හසරක අසීමිත සෞන්දර්යක් අරන් එන්න මහන්සි වෙනවා පෙන්නුවා. ඒ පහන් තරු වේදිකාව සොයා ගත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. පහන් තරුවට කලින් නල මුදු සුවඳේ උල්පතත් එතුමාම තමා. ‍තෝරගන්න කෙනෙක් හොයා ගන්න බැරුව අතර මං උණ විනිශ්චය මණ්ඩලේ වේදිකාව පිටිපස්සේ තිබුන කාමරයක් අස්සට රිංගුවා..
පහන් තරුවේ පහන් තරකාව

නොනිවෙන තරුවක්

ඔය අතරේදී වේදිකාවට ගොඩ උණේ ආචාර්ය වික්ටර් රත්නායකයන්. "බයිලා ගමුද රි මික්ස් කරලා" කිව්වට බශා එකේ වහල හෙල්ලෙන්න වැදුන අත්පුඩිය කිව්වේ ඩෙනිම් අඳින කොන උල් වෙච්ච සපත්තු දාන කොල්ලොන්ටත් කිටි කිටියේ තද උන කොට සායවල් අඳින හයි හිල්ස් දාන කෙල්ලොන්ටත් තාමත් සුභාවිත ගීතය තාම හිතෙන් අත අරින්න සුදානමක් නැති විත්තිය නෙමේද කියලා මට තප්පරේට හිතුණා.
සුනිල් ආරියරත්නයන්ගේ පන්හිඳෙන් හිත මිතුරු සුළඟට ගිගිරි ගීත රාවයට ලියවුණ සුභාවිත ගීතයන්ට මුරණ්ඩු කාර හිතුවක්කාර කෙල්ලෝ කොල්ලොන්ගෙන් ලැබුන අත්පොළසන් නාදයට පුංචි තිතක් තියන්න උනේ නිවේදකතුමා අතට තරඟ ප්‍රතිපල ආවට පස්සෙයි.
 

පායලා කඩන් වැටෙන තාරකා මණ්ඩල වල වගේ නලව නලව අතින් අතට මාරු නොකර හෘද ස්පන්දනය 150ට 200ට නගන්නේ නැතුව නිවේදකතුමා ප්‍රතිපල කිව්වා. තරහ අවසර ආයිබෝන්ඩ සුදාට හරියටම ප්‍රතිපල මතක නැති නිසා ඒ ගැන මුකුත් නොකිය ඉන්නම්. ඒ කොහොම උනත් සයන්ස්කාරයාට වේදිකාව අමුත්තක් නොවුණ බව පසක් කරමින් 1 වෙනි වසරේ නිර්මාණි වික්ටර් රත්නායකයන්ගෙන් ලබපු හොඳම නිවේදිකා සම්මානේ ආදරෙන් තුරුළු කර ගත්තා.. 
හොඳම නිවේදිකාව-නිර්මාණි
ඒ වෙනුවන් විතරක් නෙමේ විචි, රුක්ෂානි, කසුන් අයිය, හසනි අක්කා සයන්ස් එකට ජයග්‍රහණය ගන්න දරපු අසීමාන්තික පෙළහර වෙනුවෙන් අපි සයන්ස් එකේ හැමෝගෙන්ම උණුසුම්ම සුභ පැතුම් එක් කරන්නේ සැබෑ දිනුමක ඇත්තේ පරාජයන් ගොඩක ඉතිහාසයක් විත්තියත් මතක් කරලා. කඳුලක තරහවක ඉරිසියාවක රැල්ලක්වත් හොයාගන්න නොතිබුනත් හිතේ කොනක පුංචි දුකක් නැති වෙන්නේ නම් නෑ කියලා කියන්න එපා. 
හොඳම ගායකයා (කුමුදේශ්) - හොඳම ගායිකාව (රුවන්ති)
 
හොඳම නිවේදකයා (පසිඳු) - හොඳම ගී තනු රචකයා(අවන්ති)

පුම්බලා පුම්බලා අත අරින බැලුම් බෝලයකට වගේ බොරු සොබනෙත් වංක කමත් වෙනුවට දක්ෂතාවයත් සහෝදරත්වයත් නිහතමානීකමත් පහන් තරුවලට ඇති තරම් පුරවලා තිබ්බා. අඩියක විතර සරුව පිත්තල කෑලි නැති ප්ලාස්ටික් සම්මානයක් එක්ක පුංචි පහේ තෑග්ගක් විතරක් අයිති උණ පහන් තරු එස්.එම් එස් ගැනවත් නොලැබුණ කෝටියක් ගැනවත් මග ඇරුණු වාහනයක් ගැනවත් වද උණේ නෑ.
නිර්මාණි ඊයේ උදේ ලෙක්චර්ස් ඇඳන් ආපු ඇඳුමින්ම අදත් පොඩි වෙච්ච ෆයිල් ටිකක් ගුලි කරන් ඔඩිය පැත්තට යනවා මම දැක්කා. එයයි වෙනස...
යම් දිනෙක පායනු පිණිස

මක් නිසාද යත් පහන් තරු යනු පෑයු තරු නොව "යම් දිනෙක් පහන් වනු පිණිස වෙර දරණ තරු " බැවිනි.. අදට නවතින්නම්. විචී, රුක්ෂානි, නිර්මාණි, කසුන් අයියා, හසනි අක්කා යම් දිනෙක් පායන තෙක් තරු ඇස දහසක් බලන් ඉන්නවා කියලා නම් අමතක කරන්න එපා.

මේ....... අපි
මේ සොඳුරු නිශාන්තයේ කොටු කර ගත දසුන් පෙළහරක් 

පහන් තරු වේදිකාව
 

Monday, December 31, 2012

සමුගෙන්න ගොස් යලි හැරුණෙමි සත්තයි නුඹ යළි ඇවිදින් සෙවණැල්ලක් වී.....

සුභම සුභ නව වසරක් වේවා...!!

වැඩිය අනම් මනම් කියන්න බෑ. කාලෙකින් මුකුත්ම ලියන්න බැරි උණ නිසා හොඳට ලියවෙන එකක් නැති වේවි. ඒක නිසා යාන්තමට සිතුවිල්ලක් කටු ගාලා යන්නම්..

ගොඩක් අය හිතාගෙන ඉන්නේ ජනවාරි 1 වෙනිදා කියන්නේ අපේ ජිවිත අලුතින් පටන් ගන්න හොඳම දවස කියලා.අපිට ඕනේ ඕනේ විදියට ජිවිත පටන් ගන්න බෑ කියලා අපි දන්නවනේ. අඩු ගානේ අපි කැමති දවසක කැමති විදියකට ඉපදෙන්නවත් බෑනේ , ඉතින් තව මොන කතාද..?? ඒක නිසා අපිට ඕනේ ඕනේ විදියට අලුතෙන් ජිවිත පටන් ගන්න බැරි උණාට තියෙන ජිවිතේ පරණ මෝඩකම් අත් අරින්න හොඳම දවස හෙට කරගන්න පුළුවන් නම් එක හොඳ ආරම්භයක් වේවි....!!

මම දන්නවා මම වගේම ඔයාලත් පහුගිය අවුරුද්දේ ඇති තරම් මෝඩ වැඩ කරන්න ඇති.. ජිවිතේ සුළු හෝ මහ පරිමාණ වැරදීම් වෙන්න ඇති. ඒ විතරක්ම නෙමේ. තමන්ගේ ජිවිතේ ලබපු සාර්ථක පියවර ගොඩක් සටහන් වෙලා ඇති. අතීතයට වඩා හොඳ ගුරුවරයෙක් තවත් නෑ. මොකද තමන් තනියම ඉගෙන ගන්න පාඩමකට සම කරන්න පුළුවන් ඉගෙනීමක් නෑ . හැමෝම එහෙම තමා.මගේ දර්ශනය වන බෞද්ධ දර්ශනයේදී බුදුන් වහන්සේ අත්තකිලමතානු හා කාම සුඛල්ලිකානු යෝගය යන යෝග දෙකම තමන්ගේ ප්‍රතිපත්තිය නොවිය යුතු බව හා මැදුම් පිළිවෙත වඩාත් සුදුසු බවත් තීරණය කරන්න පදනම් උනේ අතීතය.. ඒකයි උන් වහන්සේ කිව්වේ මගේ ගුරුවරයා මමයි කියලා..

හැබැයි රංජනීයේ එක දෙයක්..මේක බාලගිරි දෝසය වගේ අද නෙමෙයි හෙට කිය කිය කල් දැම්මොත් නම් මේකත් නිකම්ම ගෙවිලා යාවි . ඒක නිසා හෙට කියන්නේ ජනවාරි පලවෙනිදා කියලා හොඳට හිතේ තියාගෙන හෙට උදේම අවදි වෙන්න.. වෙනස් වෙන්න සමාජේ තියෙන ඉඩ අඩුයි. කවුරු කොහොම කිව්වත් සමුගත්තත් මිටින් මුදා හැරලා බැලුවත් සත්තයි ඒ කාලය යළි යළිත් ඇවිදිල්ලා ඔයා එක්කම ඉඳීවි....  ඒකයි කිව්වේ අලුතෙන් ජිවිත පටන් ගන්න ගිහින් අමාරුවේ නොවැටී මේ තියෙන ජිවිතේ පුංචි පුංචි වෙනස්කම් කරලා අවසාන ප්‍රතිපලය ජයග්‍රහණය කරා ජිවිතේ ගෙනියන්න කියලා.. මොකද එතකොට වැරදෙන්න තියෙන ඉඩ අඩුයි.

 අනික් දේ තමා මහා ලොකු හීන දකිනවට වඩා පුංචි පුංචි හීන ගොඩක් දකින එක සාර්ථකයි.. පුංචි පුංචි හීන දැකලා ලස්සන වුණු ජිවිතයක් ගැන සතුටින් කතා කරන්න අපි අයෙත් මුණ ගැහෙමු....

අමතක කරන්න එපා... මිටින් මුදා හැර බැලුවත් සමුගෙන යළි හැර බැලුවත් කාලය නුඹ එක්කම ඉඳීවි... ඒක  නිසා වැරදි වලට තියෙන ඉඩ අඩු කරන්න 

 
එහෙනම් කලින් කරපු ඔක්කොම මෝඩකම් අත ඇරලා, ඒ පාඩමෙන් අලුතෙන් බුද්ධිමත් පුරුදු හදා ගෙන යහපත් සාර්ථක සතුටු දායක ආරංචි පිරුණ සාමය සැනසුම රජයන වසරක් බවට 2013 නව වසර පත් වේවා.....!!! 

Saturday, September 8, 2012

මග සැදුවේ ඔබයි සොඳිනේ...........

ලෝකයේ තියෙන එක එක රස්සා අතරේ වර්තමානයයි අනාගතයයි අතර සන්ධිය එහෙමත් නැතිනම් ලෝකෙයේ තියෙන උත්තරීතරම රස්සාව තමන්ගේ රස්සාව විදියට තෝර ගත්ත කාන්තාවක් ගැන පොඩි සටහනක් තිබ්බොත් හොඳයි කියල හිතුණා.

මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ගුරුවරියක් වෙන්න ඉගෙන ගෙන 1975 නෙළුව මහා විද්‍යාලයට ආවා. මහා ලොකු උපාධි කුට්ටම් නෑ.සාමාන්‍ය අභ්‍යසලාභී ගුරුවරියක්.. රස්සාවක් කරන්න ආවේ. "නෑ.. මම සේවයක් කරන්න පුළුවන් නිසයි ආවේ" කියලා බොරු කියන්න ඕනේ නෑනේ. එදා ඉඳන්ම අවුරුදු  33 ක් නෙළුව මහා විද්‍යාලයට.... නෙළුව මධ්‍ය මහා විද්‍යාලයට විතරක් නෙමේ නෙළුව ජාතික පාසලටත් තමන් ඉගෙන ගනිපු දේ බෙදල දෙන්න මහන්සි උණා. මේ ඒ ගුරු අම්මා මාත් එක්ක කියපු කතා ටිකක්..


" ඉස්සර සමස්ත ලංකා කියල තරඟ තිබුනේ නෑ. කලාප තරඟ තිබ්බම ඉවරයි. මට මතකයි ඉස්සර ඔය නන්දනී අජන්තා විජිතල එක්ක උඩුගම තිබුණ තරඟ වලට ගිහින් කලාප ශුරතාවය අරන් එනවා. ඉස්සර කොහෙද ක්‍රීඩා ගුරුවරු.... අපි අපිම තමා ඒවා පුරුදු කලෙත්. මට ඉන්න බෑ දරුවෝ මගේ ළමයි දුවලා එක අරන් එනවා බලන්න. මගේ කකුල් වෙව්ලනවා. ඇඟ ගැහෙනවා.. ...... ඊට පස්සේ මට ඇහෙනවා කවුරුදෝ මයික් එකකින් කෑ ගහනවා. "අන්න අර මිස් අල්ල ගන්න... ළමයි එක්ක දුවන්න දෙන්න එපා" කියල.. එතකොට ඉතින් මගේ පොඩි එකා එක අරන් ඉවරයි. මිනිස්සු හිතන්න ඇති මට පිස්සු කියල. මට මොකද..? මගේ පොඩි උන් එක අර ගත්තට පස්සේ ඊට වඩා මොකද්ද..?  ඒ දරුවොත් කැමති එහෙම කරනවට. මම ඉතින් ගිහිල්ල දුවලා එන පොඩි එකාව අල්ල ගන්නවා.. උන්ට රටක් රාජ්ජයක් දිනුව වගේ..

ඕව විතරක් නෙමේ.. මල ගෙදරදී හම්බුනා අනුලා දූ මතකද.. දුවන්න ගත්තම නිකන් මැසිම වගේ.. එක අරගෙනම තමා නවතින්නේ. ඒත් ඉතින් වැරදිලාවත් දෙක උනොත් එතනම වැටෙනවා..(ඇය සිනාසෙයි) ඔය ඔපිස් එකේ
මහ ලොකුවට දැන් කබඩ් පුරවලා තියෙන ඔක්කොම ශුරතා පළිහ අරන් ආවේ අපි. පොඩි ට්‍රක් කෑල්ලක් හොයාගෙන සින්දු කියා කියා එනවා. ඉස්සර මගේ බෑග් එක ඉස්කෝලේ ඔපිසිය වගේ. ඔක්කොම තරඟ වලට යන ළමයිගේ පොටෝ කෑලි උප්පැන සහතික මම ගාව.  අනේ දරුවෝ අපි ඒ කාලේ කරපු ඒවා...

ඒ දවස් වල අනධ්‍යන කාර්ය මණ්ඩල නෑ. අපිට තාම ඒවා කරන්න උණෙත්. පහසුකම් ගාස්තු ගෙවපු ඒවයි සල්ලි ඔක්කොම බිල් සේරම මම ගාව. ඒත් කිසිම දවසක සතපහක්වත් අඩු වෙලා නෑ. මම ඒ ඉස්කෝලෙට යද්දී මම තමා හිටිය පොඩිම ගුරුවරයා. ළමයි අතර උනත් මහා ලොකු වයස් පරතරයක් තිබුනේ නෑ. හැමෝම මට ආදරෙයි. ගෑනු ළමයි මම එනකන් බලාගෙන ඉන්නේ. ආපු වෙලාවේ ඉඳන් ඇගේ එති එතී කතා කරනවා.  ඒ දරුවොන්ට උදව් ඕනේ හැම වෙලාවකම මාව හොයා ගෙන ආවා. පුදුම විස්වාසයක් තිබ්බේ. ගමේ මිනිස්සු පවා සැලකුවා. දිස් මිස් අනම් මනම් දැන් කාලේ වගේ නෙමේ. ඉස්කෝලේ හාමිනේ කියල කට පුරවලා කිව්වා. ඒවා කාලේ එක්ක වෙනස් වෙනවා.  අපි දරුවෝ වැඩිහිටියෝ... ගුරුවරු... අපි බබාලා වෙලා බෑ.  ළමයි තාම නොදරුවෝ. දරුවොන්ගේ පැත්තෙන් හිතලා තීරණ ගන්න ඕනේ. අපිට වඩා හොඳ අනාගතයක් හදලා දෙන්න ඕනේ. නැතිනම් මේ පඩියෙන් අපිට පව් පිරෙනවා විතරයි පුතේ.. කාලෙත් එක්ක අපි දරුවෝ එක්ක ඉන්න ඕනේ. ඉස්සර වගේ නෙමේ.. වැරදුනොත් හද ගන්න ඉඩක් නෑ දැන් " 

මිස් කියපුවා ඇතිනේ.. මේ සුදා මල්ලි මිස් ගැන කියන ඒවා.....

" දැන් කට්ටියටම හිතෙනවා ඇති නේද මෙයා හරිම අහිංසක අර පොත් වල ඉන්න ගුරුවරියක් වගේ වෙන්න ඇති කියලා.. මොන පිස්සුද...? මට මතක විදියට මම 7 වසරේ.. මිස් හිටියේ අපේ පන්තියේ උගන්න උගන්න. අපි හිටියේ දොරවල් තිබුණ පන්ති කාමර වල... එහා පන්තියේ ළමයි ඔක්කොම එළියේ.. මිසුත් කෑ ගහන්න එපා කියලා විතරයි කිව්වේ. එක පාරටම එහා පන්තියේ නලින් පන්තිය ඇතුළට කෙල්ලෙකුයි කොල්ලෙකුයි දාලා දොර වැහුවා. එක පාරටම මොකක් උනාද මන්ද.. මිස් හිටියේ එහා පන්තියේ. මිස්ගේ අත පෙන්නේ නෑ. නලින් ඇඹරෙනවා. ඇත්තමයි මම ජීවිතේට එහෙම ගැහිල්ලක් නම් දැකල නෑ. මටත් පුදුම ඒක එච්චර ලොකු වරදක්ද කියලා. පස්සේ තමා තේරුණේ.. මිස් පන්තියෙන් යද්දී කියල ගියා. "මටත් දරුවෝ දුකයි. අර ගහපු පාරට මගෙයි අතයි හිතයි දෙකම රිදෙනවා..  අපි ගහන්නේ වෙන මොකවත් නිසා නෙමේ... ලොකු මහත්තයෙක් නොවුනත් හොඳ මහත්තයෙක් හදන්නයි ඕනේ නිසයි"..  මම දැක්ක නලින් මිස්ට රවනවා.. අපිට උනත් ඕක පුදුමයක් නෙමේ. අපි උනත් එහෙමනේ. ඒත් අද නලින් පාරේ හම්බුනාම මිස් කියල කතා කරලා යනවා මම දැකල තියෙනවා.


මිස්ලගේ ගෙදර තිබුනේ නෙළුව ග්‍රාමීය ඉස්පිරිතාලේ ගාව. ඒක නිසාද මන්ද...? ළමයෙක් ලෙඩ උණා ගමන් මිස් ගාවට එවනවා.. සමහර ගුරුවරුත් එහෙම යන්න කියලා ශේප් උණා. ඒත් ළමයි අතරේ පුදුම විස්වාසයක් තිබුණා. ලෙඩක් උණාම හොඳම විසදුම තියෙන්නේ සෝමා මිස් ගාව කියලා.

අපේ ඉස්කොලේට හම්බුණා ලොකුම නැතත් වටිනා කියන මේන් හෝල් එකක්. ගොඩනැගිල්ල විතරයි හම්බුණේ. මතකයි සෝම මිස්ලා කුසුම් මිස්ලා පියසීලි මිස්ලා එක්ක අලුත් ගුරුවරු වුණ සාලිය සර් නයනකාන්ති මිස් නිශා මිස්ලා ඕකට කර්ටන් දන්නා මහන්සි උණ තරම. ඒ කර්ටන් තමා තාම තියෙන්නේ... ඒ කර්ටන් දාලා තිබුණ මුල්ම කොන්සර්ට් එකේ මමත් නැටුවා..

එක දවසක් මිස් මළ ගෙදරකට ආවා.  ආවා විතරයි මළ ගෙදර හිටිය ගොඩක් මැදිවියේ ගොඩක් අය නැගිට්ටා. පස්සේ තමා ඇය කිව්වේ ඒ මගේ ගෝලයෝ කියලා. ඒ ගෝලයෝන්ගේ ගුරු ගෞරවය එදා විදියටම අදත්..  සමහර ගෝලයෝ හම්බෙනවා හතර ගාතෙන් යන්න බීලා. කෙලින් ඉන්න පණ නෑ. අවුරුදු 40 ක් 50
ක් විතර වෙන පිරිමි.. මතකද අපි වැරද්දක් කරලා අම්මා එද්දී ශේප් වෙලා යනවා.. අන්න  ඒවගේ මේ මිනිස්සුත් මිස් දැක්කම ලිස්සලා යනවා.. මිසුත් මුකුත් නොකියා යනවා. සමහර ගෝලයෝ බීලා හම්බුණාම කියනවා. "අනේ මිස් සමාවෙන්න ඕනේ.. ආයේ බොන්නේ නෑ" කියලා වැඳලා යනවා. ඒත් මිස් හිනා වෙලා බොන්න එපා කියන්නේ නෑ. "පරිස්සම් වෙන්න දරුවෝ" කියලා විතරයි කියන්නේ..

මේ අන්තිම පොඩ්ඩ.. හැම ඉස්කෝලෙම ඉන්නවනේ උසස් පෙළ පන්තියේ චණ්ඩියෝ ටිකක්. අපේ ඉස්කෝලෙත් හිටියා. මොකක් හරි වලියක් ගිහිපු වෙලාවක ඕක බේරන්න මහත හැඩි දැඩි කියල හිතන් ඉන්න ගුරුවරයෙක්(අයියා සර් කෙනෙක්) ඉදිරිපත් උණා. අර අයියා ඉතින් හිච්චි කෙට්ටු එකෙක් හොඳේ.. දැන් අර සර් ප්‍රශ්නේ ගැන කතා කරද්දී අර අයියාට මළ පැනල වැඩිකමට උඋගේ විරුද්ධවාදියට ඌ මූ  කියලා කියවෙනවා. පොඩ්ඩක් නිවෙන්න දීලා ප්‍රශ්නේ විසදෙව්වා නම් හරිනේ. ඊට පස්සේ අර මහත සර් අර අයියගේ කොලර් එකෙන් අල්ල ගෙන "උඹට කතා කරන්න උගන්නන්න ඕනේ" කිව්වා.. අර අයියා කෙට්ටු වැඩි කමට අයියා කෙසේ වෙතත් සර්ව නම් ඉස්සුණා.. අර මිස්(ඔය වෙද්දී පෙන්ෂන් ගන්න අවුරුදු 3ක් වගේ විතර තිබුනේ) දුව ගෙන ආවා. පුතේ අපි යමු කියලා අයියාගේ අතින් අල්ල ගත්තා. මොන්ටිසෝරියට අරන් යන පොඩි එකෙක් වගේ අර අයියත් මිස්ගේ අතේ එල්ලිලාම ආවා. ඉස්කෝලෙන් එළියේ හිටිය විස්තරේ දැනන් ඉස්කෝලේ ගාවට දුවන් ආපු අම්මට බාර දුන්නා.. ඒ අයිය දැන් කැලණිය කැම්පස් එකේ. කොහේදී දැක්කත් දුවගෙන ඇවිත් කතා කරලා යනවා...



හොඳට ඉගෙන ගනිපු සමහර ගෝලයෝ නම් මිස් දැක්කම වැඳලා කරලා යනවා.. ඒත් සමහර අය නම් මිස් දැක්කම නොදැක්කා වගේ යනවා..  ඇය ඉතින් මුකුත් කියන්නේ නැතුව, "අර මගේ ගෝලයෙක්.." කියල විතරක් කියනවා. ඉස්කෝලෙන් විශ්‍රාම ගනිද්දී උපහාර උත්සව මුකුත් නැතුව එළියට ආවා. ගෙදරට ගෙනත් දීපු තෑගි බෝග බාර ගත්තා.. එතුමිය අහන්නේ... "මට මොකටද උපහාර.. මම කලේ රස්සාවනේ" කියලා.. කෝ අපිට ඕවට උත්තර... එතුමිය කොච්චර උගන්නන ආසද කිව්වොත් ඉස්කෝලේ යන්න බැරි වෙද්දී ලෙඩ වැඩි උණා. දැන් එතුමිය නොමිලේ සිංහල පන්තියක් කරනවා.. මිස් එකෙන් පුදුම සතුටක් විඳිනවා කියල හිතුණා. මැරුණමත් මෙඩිකල් කොලේජ් එකකට බොඩි එක්ක දෙන්න කියලා කියන්නේ.. "මොකද එතකොට මම මැරිලත් උගන්න්න්නවන......" "

හිතුණා නේද මෙච්චර දේවල් ඒ මිස් ගැන දන්නේ කොහොමද කියලා....
 

වාසනාවට මම ඒ මිස්ගේ පුතා
(අම්ම ගැන වර්ණනාවක් නෙමේ කලේ.. මමත් ඉගෙන ගෙන තියෙනවා.. ගුටි කලත් තියෙනවා.. ඉස්කෝලෙදි මිස් කියලා කතා කිරීම අනිවාර්ය කරලා තිබුණා. ඒත් ගෙදරදී එක අකුරක් වැඩිපුර ඉගැන්නුවේ නෑ. සාමන්‍ය පෙළ සිංහල දවසට කලින් රෑ කියනවා.. දැන් මොකවත් කරන්න වෙලාව මදි.. ගිහින් ලියලා එන්න කියලා.. අනිත් ළමයි විදියටම තමා සැලකුවේ.. වරප්‍රසාදයකට හම්බුනේ ගුරු පාර්ටි වලදී බත් පැකට් එකක් විතරයි.. ගොඩක් අය ඇය ගැන කියපු දේවල් එකතු කලොත් හොඳයි කියල හිතුණා ඒකයි... )

අමතක කරන්නේ කොහොමද මගේ හොඳම යාළුවා.. ඔව් මදනායක තමා.. එයාගේ අම්මා විතරක් නෙමේ මගේ සමාජ අධ්‍යයනය ගුරුතුමා, ගණිතය උගන්නපු විද්‍යා පීඨ ගුරුතුමිය ඇතුළු මට උගන්නපු ගුරුවරු 60% ක්ම අපේ අම්මගේ ගෝලයෝ... අවුලකට තිබුනනේ ඔක්කොම කේලම් ටික ගිහින් කනේ තියන එක තමා.. 


මෙන්න මෙතනින් ගිහින් "මග හොඳට තියේ: කියන සින්දුව හොයලා අහල බලන්න

Friday, August 31, 2012

කාලො අයං තෙ

රැස්කළේ නැත මිල මුදල්
එකතුකලේ නැත ඉඩකඩම්
පැතුවේ නැත මම ඉහල තනතුරු
ඉන්ට සිතුවේ සදා උපගුරු...

ගුණ නැණ බෙලෙන් යුතු
දු පුතුන් රටට දායාද ලෙස
එක්කරන්නට සැම විටම
සිතුවෙමි වෙහෙසුනෙමි

අයිතිවාසිකම් පසුපස
හඹා නොගියෙමි කිසිවිටක
යුතුකමට වගකීමට
දුනිමි මුල්තැන හැමවිට

නිදහස් කාලය තුල
ගුරු විවේකාගාරයට
නොමැත මගේ පය එසවුනේ
එවැනි හැම මොහොතකම
ආදර මගේ දරුවනේ

නුඹලා වෙතය මා පිය නැගුවේ
මගේ දරුවන් දෙදෙනා
මගේ ළඟ නැති අඩුව
පිරිමසා ගත්තේ මා
නුඹලාගෙනි දරුවනේ

හැදුණු විට අසනීපයක්
නැගුණු විට ගැටළුවක්
සොයා මා වෙත
නුඹලා ආවේ පතා පිළිසරණක්
ඒ හැම මොහොතකම
මට හැකි ලෙසින්
නුඹලාගේ සිත්
සුවපත් කිරීමෙන්
ලැබුවෙමි නිරාමිස සතුටක්

මගේ ගුරු දිවිය තුල
අහිංසකයන් මෙන්ම
දඩබ්බරයන්ද
වසවර්තියන්ද හමුවිය
ඒ සියලු දෙනා වෙත
කිසිදු වෙහෙසක් නොමැතිව
සිප් සතර දීමට
ගතිමි වෙහෙසක් හැමවිට

ඉතින් ආදර දරුවනේ
නුඹලාගෙන් වෙන්ව
නික්ම යන්නට කැදැල්ලට
කාලය එළඹ ඇත
පතමි මම
නුඹලාට චිර ජීවනය

මට වැඩි අසුන්වල සිසුවන් තබනු              රිසින්
මෙහෙවර කලෙමි මම මට හැකි පමණ   ලෙසින්
මෙහෙවර පලදර ඇත මහා මෙරට            උසින්
මරණෙට යා හැකිය තුටු කදුලැලි පිරිණු    ඇසින්

ගුරු හොරු ගොඩක් මැද්දේ ගුරුවරුන්ට වඩා ඉක්ම වූ ගුරු+උතුම් වරු අඩුවෙන් හම්බෙනවනේ.. මේ එහෙම එක්කෙනෙක් ගැන.. කවුද කියලා අද හෙටම ලියන්නම්.. මේ එතුමිය විශ්‍රාම ගිහිපු දවසේ උගන්නපු පන්ති වල එදා පීරියඩ් එක ඉවර වෙද්දී නංගිලා මල්ලිලාට දීපු කොලයක්.... මෙච්චරයි තියෙන්නේ...
මෙතුමිය වැඩ කලේ මම මුලින් ගිහිපු නෙළුව ජාතික පාසලේ...
අවුරුදු 33 ක්.
ඉස්කෝලෙට ආවේ 1975-07-01
ඉස්කෝලෙන් ගියේ 2011-02-05

සැ.යු. පින්තුරේ ඉන්නේ නම් එතුමිය නෙමේ.. මේ අර ගුගල් මාමගේ පෙට්ටගම අවුස්සලා හොයා ගනිපු එකක්.. ෆොටෝත් එක්කම විස්තරේ ළඟදීම........

Thursday, August 16, 2012

අහස නුඹ මෙතරම් සැඩයැයි දැනුනේ මහා වැසි වැටුනමයි


අද මම පොඩි ගමනක් යන්න බස් එකට නැග්ගා. ආවේ private බස් එකක් නිසා ටිකක් සද්දෙට රේඩියෝව දාලා තිබුණා. ඔහේ ගිරවු වගේ කියවනවා මිසක් වැදගත් දෙයක් කියන්නේ නැති නිසා මම ඒ තරම් ඇහුම්කන් දෙන්න උත්සහයක් ගත්තේ නෑ. ඒත් ටික දුරක් යද්දී දීපිකා ප්‍රියදර්ශනී පිරිස් මහත්මියගේ මෙන්න මේ ගීතය මට ඇසුණා.

අහස නුඹ මෙතරම් සැඩයැයි දැනුනේ මහා වැසි වැටුනමයි
පොළව නුඹ මෙතරම් රළු යයි හැඟුනේ නියඟය ආවාමයි

රෑට තරු ඉසිනා අහසට අඳුරු සිත් ලැබුනේ කොහොමද…?
නේක මල් සාදන පොළොවට නපුරු සිත් කොහින් ලැබුණිද…..?

නීල ඉඳුවර පෑ අහසට කඳුළු වැසි දුන්නේ කව්රුද….?
පලා පෑ ඉසිලු මිහි මත නියන් ඇතිරුයේ කව්රුද…..?

ගීතය ඉවර වෙනවාත් එක්කම මගේ ඇස්වලට කඳුළු බින්දුවක් උනනවා කියල මට දැනුණා. ඒක පිහදාගන්නවත් හිතුනේ නැත්තේ මම මගේම ලෝකයක තනි වෙලා හිටපු නිසා වෙන්න ඇති.. ඒ ලෝකේ ගොඩක් දුර මම තනියම ඇවිදගෙන යනවා වගේ කියල මට හිතුණා. මම ගොඩක් මංසන්ධි පහු කළා. ඒත් දාලා යන්න ලෝබ හිතෙන එක මංසන්දියක නතර උණා.ඒත් අද එතන මම විතරයි. කෝ ඔයා…..? දැන් හැමදාම එතන මම විතරමයි. ඇත්තටම ධනුෂ්කා ඔයා මේ තරම් රළු යැයි සැඩ යැයි කියල නම් මට කවදාවත්ම හිතිලා තිබුනේ නෑ.

ඇය ධනුෂ්කා. මුලින්ම දැක්කේ ජනප්‍රිය රසායන විද්‍යා පංතියකදී.. මනෝ විශ්ලේෂකයෝ කොහොම කිව්වත් මම හොඳටම දන්නවා ඔය දැකපු මුල්ම දවසේ මගේ හිතේ නම් ඇති උනේ නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා පිදිය හැකි පිවිතුරු ආදරයක් කියල. ඔයාගේ ලස්සනයි, ගතිගුණයි වලට ලං වෙන්න පුළුවන් තරමේ මායිමකින් නෙමේ මම හිටියේ කියල දැන දැනත් මට ඔයාට ආදරය නොකර ඉන්න බැරි උණා. ඒත් එකම එක දවසක මම හිතුවා හද මල් විලේ පිපුණ නෙළුම් මල ගැන ඔයාට කියන්න. බයෙන් බයෙන් ලඟට ගියත් ඔයා ළඟ ඉන්න ලැබුණු අවසරය අදටත් මට පුදුමයක්. අපි අවුරුදු ගානක් ආදරය කළා.

ඒත් මගෙන් වෙන් වෙලා ගිය එදාට පහුවෙනිදා පෝරුවට නගින්න උණත් ඒ නගින්නේ උදේ පිපුණ නෙළුම් මලක් වගේ කියලා ඔයත් මමත් දෙන්නම දන්නවා. ඒ තරමටයි මම ඔයාට ආදරේ කලේ. රු 600 කාමරේකවත් රු .250 Box එකකවත් නෙමේ මගේ ආදරේ තිබුනේ. මට එහෙම කරන්න තිබුණා.ඒත් මගේ අදර කතාවේ එහෙම කොටස් ලියන්න ඕනෑකමක් තිබුනේ නෑ. මම දැනන් හිටියා මුළු අහස පුරාම මගේ පුජනිය ආදරේ සුවඳ දිදී හමනවා කියලා. ඒත් එක අඳුරු දවසක ඔය මාව දාලා ගියා. එදා ඉඳන් අද වෙනකම් මම ඔයාව හැබැහින් දැක්කේ නෑ. ඒත් දන්නවද…? මම හැමදාම ඔයා facebook දාලා තියෙන ෆොටෝ දිහා බලලා ඒ ආදරේ විඳිනවා කියල. මගේ අවාසනාවකට මට විශ්ව විද්‍යාලයට යන්න වරම් නැති උනත් ඔය තේරුණා කියලා දැනගනිපු දවසේ මට මුළු ලෝකෙටම කෑ ගහලා කියන්න පුළුවන් තරමේ සතුටකුයි තිබුනේ. ඒත් ඒ මගේ ආදරය ඔයාගේ ආදරෙන් මිදෙන මොහොත කියලා මම දැනගත්තේ පස්සෙයි. ඇත්තමට ඔයාට වෛර කරන්න බෑ මට. ඔයා කිව්වේ මුළු ලෝකෙම මගේ විතරයි කියල උණාට ඔයාගේ දොස්තර ලෝකේ මම පැනඩෝල් පෙත්තක් වගේ කියල දැනෙන්නේ ඔයාගේ මහත්තයා වෙන්න ඉන්න, දොස්තර මහත්තය එක්ක මම ගැන හිතද්දී… ඔයාට මාව මදි උණා. ඒත් මට තාමත් ඔයාව මදි උනේ නෑ.. ඒ ආදරයයි මතකයයි හිතේ තියන් කල්පයක් උනත් බලන් ඉන්න මට පුළුවන්. පිවිතුරු හිතකින් පටන් ගනිපු මගේ ආදරේ අදටත් හෙටත් එහෙම්මයි. ඒක වෙනස් කරන්න නම් බැරි වේවි. ඔයා ඉන්න තැනක හොඳින් ඉන්න.ඒකයි මගේ එකම ප්‍රාර්ථනාව..ඒත්
“තමුසේ වගේ එකෙක් එක්ක පාරේ බැහැල යන්න පුලුවන්ද…..?”

කියලා අහපු දවසෙයි මට දැනුනේ “අහස නුඹ මෙතරම් සැඩයැයි දැනුනේ මහා වැසි වැටුනමයි” කියලා…. රස්සාවකට කියලා දොස්තරකමක් විතරයි අඩුවකට තිබුණේ. ඒත් ඒ මදි අඩු පාඩුව මේ තරම් දෙයක් කරාවි කියලා නිකමටවත් හිතන්නේ කොහොමද මම..?

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් බහින තැනත් ලංවෙලා…

මම යනවා ධනුෂ්කා.. බුදු සරණයි රත්තරන්.

බස් එකෙන් බහිද්දී මගේ හිත

” මා ඉතින් යන්න යනවා

මට යන්න අවසරයි

මට අරන් යන්න ඇත්තේ

ඒ මතකය විතරයි….”

කියල කොඳුරනවා වගේ යාන්තමට ඇහුණා.
පසුව ලියමි…. ඉතා පොඩි මේ ජිවිත කාලයේ අපිට අවස්ථාවන් ගොඩක් ලැබෙන එකක් නැති වේවි. ඒත් ඔබට හරියට ආදරය කරන කෙනා අදුර ගන්න.. මොකද පොඩි වැරදීමකින් මහා විනාසයක් වෙන්න පුළුවන්… ආදරේට ආදරය කරන්න. ලෝකේ ලස්සන විදින්න.

මේ මල් පිබිදෙන හෝරාව ඔබටයි මටයි අපේ ආදරයටයි විතරමයි.

එන්න අපි මෙතන ඉඳන් ඒ මල් සුවඳ විඳිමු.

Sunday, August 12, 2012

My Heart Will Go On......... :'(



 හිතන්න එපා සුදා මල්ලි බොළඳ වෙන්න යනවා කියලා. අපි හැමෝම බොළඳ වෙන අවස්ථාවක් කොයි වෙලාවේ හරි එනවා. මේ මට ඒක දැනුණු අවස්ථාවක්. ඊයේ රෑ. හදවතට කම්පනයක්, ඇහැට කඳුලක් එක් කරන්න තරම් සමත් වුණු නිර්මාණයක කතාව ගැන කතා කරන්නයි හිතුවේ. සුදාගේ සිතුවිල්ලකින් කවදාවත් චිත්‍රපටියක් ගැන කතා කරලා නෑ. ඒත් හිතට දැනුණු නිසා කතා කරන්න ඕනේ කියලා හිතුණා. "සිය රට දේ සිරි සැප දේ" කිව්වට ෆිල්ම් එක නම් හොලිවුඩ්. අවුරුදු ගානක්ම පරණයි. කොච්චර පරණද කිව්වොත් ඒක හදලා තියෙන්නේ 1997 දී. මම මුලින්ම බැලුවේ 7 වසරේදී. එදා සම්පුර්ණයෙන්ම බලන්න බැරි උණා අන්තිම වෙද්දී අක්කා දාපු ගෝරනාඩුව නිසා. එදා ඉඳන් හිතන් හිටියත් ආපහු බලන්න ඕනේ කියලා ආපහු බලන්න උනේ නම් ඊයේ රෑ. මේ දවස් වල වැඩි හරියක් කරන්නේ ෆිල්ම් බලන එක නිසා කොහොමින් කොහොම හරි ඊයේ යාලුවගෙන් හම්බුණ "පෙන්" එක ඇතුළේ අන්න ඒ ෆිල්ම් එකත් ගබඩා වෙලා තිබුණා. ඌට පින් දිදි බලන්න ගත්තා. එදා පොඩි කලේ දැනුණ හැඟීමම ආපහු ඊයෙත් දැනුණා. අති සාර්ථක නිර්මාණයක් මට හිතෙන විදියට නම්. අඬන්න ෆිල්ම් හදන්නේ බොලිවුඩ් වල කිව්වට ඒක බොරුවක් කරලා තියෙන්නේ හොලිවුඩ් වල අද්විතීය නිර්මාණ කරුවෙක්. ආදර කතා වලින් ලෝකයක් වසඟයට ගනිපු අධ්‍යක්ෂකවරයෙක්. නිර්මාණය කොච්චර සාර්ථකද කිව්වොත් ඔස්කාර් සම්මාන 11 ක් වගේම නිර්දේශිත නාම 3 කුත් ඒ ඔස්කාර් සම්මාන උළලේදී මේ ෆිල්ම් එක වෙනුවෙන් හම්බෙලා තියෙනවා. උඩ මාතෘකාව දැකපු ගමන් සමහරු නම් ෆිල්ම් එක මොකද්ද කියල අඳුර ගන්න ඇති. චිත්‍රපටිය
"ටයිටැනික් "

ඔක්කොන්ටම කලින් ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්.ජැක් ඩෝ(ව්)සන් ලෙස ලියනාඩෝ ඩි කැප්රියොත්, රෝස් ඩේවිට්(පස්සේ ඩෝ(ව්)සන්) ලෙස කෙට් වින්ස්ලට්නුත් සුපිරි රංගනයක යෙදෙද්දී ඒ අතරේ බිලී සේන්, ෆ්රාන්සස් ෆ්‍රීෂර්, වගේම ආදරණිය රෝස් ආච්චි අම්ම ලෙස ග්ලෝරිආ ස්ටුඅර්ට් ආදී දහස් සංඛ්‍යාත නළු නිලි කැලක් තමන්ගේ රංගන හැකියාවන් ෆිල්ම් එකට ලබාදෙද්දී ජේම්ස් කැමරන් කතාව ලියලා අධ්‍යක්ෂණය කරනවා. මිනිත්තු 194 ක කාලයක් තිස්සේ දිවෙන මේ ෆිල්ම් එක හදවතට දැනෙන්න සලස්වපු සංගීතය ජේම්ස් හොර්නර් අධ්‍යක්ෂණය කරලා. අවුරුදු ගණනාවක් එක දිගට අදටත් එදා වගේම ලෝකයක් ආදරය කරන විල් ජෙනින්ස් ලියපු Celine Dion ගායනා කරන "My Heart Will Go On.." ගීතය ඇතුලත් උනෙත් මේ චිත්‍රපටියට. ඩොලර් මිලියන 200 ක් වියදම් කරලා හදලා ඩොලර් බිලියන දෙකකට වැඩි අදායමක් ලබලත් අද වෙනකුත් ලෝකය අත් නොහරිපු මේ ෆිල්ම් එක මුලින්ම පෙන්නලා තියෙන්නේ 1997 නොවැම්බර් 1 වෙනිදා ටෝකියෝ ජාත්‍යන්තර චිතපට උළෙල සඳහායි . ඊට පස්සේ 1997 දෙසැම්බර් 19 වෙනිදා ඉඳන් අද වෙනකනුත් බිලියන දහස් ගණනක ආදරය ලබමින් ලෝකෙට ආදරය මේ යැයි කියල දීපු විශිෂ්ට නිර්මාණය "ටයිටැනික්" ගැන මිට වඩා තොරතුරු මෙතනින් ගන්නත් පුළුවන්....  
බලන්න ඕනේ නම් කොටන්න

මම හිතන්නේ නෑ ටයිටැනික් ෆිල්ම් එකේ කතාව නොදන්නා කවුරුවත් ඇතියි කියලා. ඒක නිසා කතාව නම් කියන්න කිසිම බලාපොරොත්තුවක් නෑ. සුදාට ජිවිතේ ගැන ආපු ටයිටැනික් සිතුවිල්ලේ තව පොඩි පොඩි සිතුවිලි ටිකක් කියනවා කියලයි හිතුවේ. ජිවිතේ ගැන ෆිල්ම් එකකින් ඉගෙන ගන්න එක මෝඩ කමක් උනාට අද්විතීය සංගීතයත් එක්ක ඒ දැකපු දර්ශන සුදාගේ හදවතට නම් කතා කලා. අනිත් අයට දිරවාවිද නම් දන්නේ නෑ.මේ ඒ පොඩි සිතුවිලි....

"නැව ගිලුනත් බෑන්ඩ් චුන්" කියන කතාව ලෝකෙට අවේ මේ ෆිල්ම් එකත් එක්ක. නැව දියත් වෙන වෙලාවේ ඉඳල නැව ගිලෙන අන්තිම මොහොත වෙනුවෙනුත් සංගීත කණ්ඩායම තමන්ගේ සේවය කරනවා. වතුර ගිලි ගිලි නැව දෙකඩ වෙද්දීත් ඔවුන් තමන්ගේ සේවය කරනවා.. ඒකයි කියන්නේ රාජකාරිය යනු දේවකාරියටත් වඩා ඉහලය කියලා. එහෙම කියලා මැරෙන්න නෙමේ. හැකි සෑම විටම නොසැලී නොබියව තමන්ගේ සේවය කරන්න. නැවේ කපිතාන්ට, නැවේ ප්‍රධාන ඉංජිනේරුවාට හැමෝන්ටම කලින් පලා යන්න හැකියාව තිබුනත් ඔවුන් නැව තුලම උවමනාවෙන්ම මිය යන්නේ තමන්ගෙන් සිදු උණා අතපසු වීම වැරැද්ද නිසා අහිංසක මගී ජනතාවට පත් වුණු විපත ගැන හිතලා. ලෝකේ එහෙම මිනිස්සු හරි අඩුයි. තමන්ව බේරලා බෝට්ටුවකට දාන්න කියලා රෝස් ගේ අතිනත ගන්න ඉන්න තරුණය(හොක්ලින්ක්ස්) නැවේ ඉහල ප්‍රධානියෙක්ගේ සාක්කුවට සල්ලි මිටියක් දැම්මත් කාන්තාවන් සහ දරුවන් පළමුව බේරා හැරිය යුතුය කියලා මතයේ ඉන්න එම නිලධාරිය ඒ සල්ලි වලින්ම ආපහු ගහන්නේ සල්ලි නෙමේ ජිවිතේ කියන එක ලෝකෙට කියන්න වෙන්න ඇතී. ජැක් සහ රෝස් නැවේ සාද වර්ග දෙකකට සහභාගී වෙනවා. එකක් ඉහල පන්තියේ සාදයක්. අනික තුන්වෙනි පන්තියේ මිනිස්සුන්ගේ සාදයක්.. සල්ලි කාර මිනිස්සුන්ගේ වැදගත්ය කියන මිනිස්සුන්ගේ පුහු අටෝප නිසා හැබෑ සතුට හැංගිලායි තියෙන්නේ. ඒත් තුන්වෙනි පන්තියට ගිය රෝස් ගේ තුලින් ඉස්මතු වෙන්නේ අර හැංගිලා තුබුණ සතුටමයි නේද..? කිසිම බාධාවක් නෑ. නටනවා ගයනවා. ඒත් ඉහල පැලැන්තියේ.....???
ඕකට අපේ ගායකයෙකුත් කියලා තියෙන්නේ
"පිදුරු සෙවි කල පැල්පතේ ඇති
සාමේ නැත මහා මන්දිරේ "

ආදරය.... වතුරට නොහේදුනු ආදරය... සීතලට ගල් නොගැහුණු ආදරය... නැවත් සමග යට නොවුණු ආදරය... සයුරේ හදවතට නොවිකුණු ආදරය.... ලෝකයක් ආදරය කල ටයිටැනික් ආදරය... රෝස් ගෙන් ජැක්ට ලැබුණු ආදරය... ජැක්ගෙන් රෝස්ට ලැබුණු ආදරය.. කොහොම කිව්වත් එකම එක ආදරයක් විතරයි. ෆිල්ම් ගණනාවක් බලල තිබුනත් හදවතට දැනුණු එකම ආදරයත් ඒක විතරමයි. දුප්පත්කම ආදරේට බාදාවක් නෙමේ.. මුහුදට පනින්න ගිය අනුන්ගේ ජිවිතයක් බේරන්න මුහුදට පනින්න ලෑස්ති වෙන්න නම් ඒ හදවත් කොච්චර ආදරයකින් පිරිලා තියෙන්න ඕනෙද...? ඒ ජිවිතේ තමන්ගේම කර ගන්න ලෝකේ තියෙන හැමදේම අතාරින්න ලේස්ති නම් ඒ ආදරය කොච්චර ලස්සන වෙන්න ඕනෙද...? මුහුදු වතුර පිරෙද්දීත් අඬන දරුවෙක් අතට ගන්න නම් ඒ ආදරය කොච්චර කරුණ බර වෙන්න ඕනෙද..? තමන්ට පහසුවෙන්ම අම්මා එක්ක බෝට්ටුවෙන් යන්න පුළුවන්කම තියෙද්දිත් තමාගේ ආදරය හොයා ගෙන ගිලෙන නැවක් ඇතුලට රිංගන්න නම් ඒ ආදරය කොච්චර නිර්භීත වෙන්න ඕනෙද...? පරිස්සමට යන්න බෝට්ටුවකට නැගලත් ආපහු ගිලෙන නැවට ගොඩ වෙලා ආදරය හොයාගෙන එන්න නම් ඒ ආදරය කොච්චර තමන්ගේ වෙලාද....? වතුර මිදෙන ජලයේ ලී කැල්ලක එල්ලිලා ඒ ලීය උඩ ආදරය තියාගෙන රැක ගන්න නම් ඒ ආදරය කොච්චර ආරක්ෂාකාරිද ..? තමන් වෙනුවෙන් තමන්ගේ බලාපොරොත්තු ඉටු කන්න පොරොන්දු වෙලා කැපවෙලා ඉන්න ආදරයක් ආදරේට කොච්චර ආදරේද...? තමන්ට, ආදරය තමන් සන්තකේටම කර ගන්න බැරි උනත් ආදරේ හීන ඉටු කරන්න මහන්සි වෙන ආදරේ කොච්චර උතුම්ද..? ෆොටෝ එකක්වත් නැතුව අවුරුදු ගානක් හිතේ ඇඳිලා තිබුණ ඒ රුපෙට ආදරය කරලා දරු පරපුරක් හදලා ආදරේ බලාපොරොත්තු ඉටු කරපු ආදරේ කොච්චර පිවිතුරුද...? ආදරය යනු ලඟින් තබා ගැනීමම නොවේ.....!!! ඊට එහාට මම මුකුත්ම කියන්නේ නෑ.
 

Tuesday, July 31, 2012

සිරි මා බෝ සාමිනි ඇය පිරිමි පුතෙක් ලැබුවා.....



"ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නයි...
පොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි....
වී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි..."


ඔය ඔක්කොම කරවන්න විතරක් නෙමේ


"ගෑනු අයට සංසාරේ බර හැල්ලු වෙන්නයි....."


ඔය ඔක්කොම කොරන්න ඔන්න සුදා මල්ලිගේ අක්කා පුතෙක් වැදුවා. දැන් කියන්න එපා යකෝ වැදුවා කියන්න එපා ලැබුවා කියහන් කියල.. ඉතින් හතිලව්වේ පැටව් වදන්නෙයි පැටව් ගහන්නේ සත්තු විතරද...? මිනිස්සු පැටව් ලබනවා... අනේ ඔන්න ඔය මොකක් හරි.. සුදාගේ අක්කා අද මි පැටියෙක් වගේ සුටීම සුටි කොලු පැටියෙක් මේ ලෝකෙට එකතු කලා.. දැන් ඉතින් සුදා මල්ලිත් මාමා කෙනෙක්.. සෙල්ලම් තනතුරක්ද..? කළුබෝවිල ඉස්පිරිතාලේදී අද ඔන්න ඉර පායලා තියෙන වෙලාවක දොස්තර මාමලා නැන්දලා නර්ස් නැන්දලා හැමෝගෙම පිහිටෙන් කොල්ලා මුල්ම ඔක්සිජන් ටික සුටුස් ගාලා ඇද්දා. අනේ මන්ද.. අම්මා වගේද තාත්තා වගේද කියල නම්.. මොකා වගේ උනත් සුදා වගේ රටට බරක් නැති රටට අර්ශිර්වාදයක් උනු පුතෙක් උනොත් ඇති(මොකෝ යකෝ හිනා වෙන්නේ..? සුදා එල බුවා)


තරහ වෙන්න එපා.. දන්නේ නැද්ද..? ඔය අම්මලා ගෙන් ආත්තම්මලාගේ වැඩ කොල්ලෝ.. මමත් හලී ආසාවෙන් හිටියා කොල්ලා ඉපදිච්ච ගමන් මුණු පොතේ පින්තුරයක් දාලා රෙජිස්ටර් කොරන්න.. දැන් බන් උප්පැන්න සහතිකෙට වඩා වටින්නේ මේකයි. ඕව තේරෙනවද ඒ කටින් බලවත් උන බවලත්තුන්ට... උඹේ අම්මයි ආත්තම්මයි මාමාට දැඩි ලෙඩක් ඇදලා කිව්වා


"උඹ දාලා තිබුනොත් උපන් වෙලාවයි කොල්ලගේ පින්තුරෙයි ඔය අට මගලේ බලා ගන්නම්"


කියලා.. ඔන්න මම දන්නේ නෑ බන්.. ලොකු උනාම අම්මටයි අත්තම්මටයි ලෙඩ ඇදපන්.. මම සප් එක දෙන්නම්. මගේ එකෙක් නම් බඩේ ඉන්න ඒවත් දාලා මෙලහට..


මේ නැන්දේ මාමේ කොල්ලට නමක් තාම දාලා නෑ.. නෑ නෑ ඔහේලා කලබල වෙන්න ඕනේ නෑ .. ඔහේලට නමක් දාන්න දෙන්නේ නෑ. අම්මයි තාත්තයි කොල්ලට යස නමක් දාවි.. නිකන් අර ඔහේලා හැමෝම දන්න සුදා මල්ලිගේ නම වගේ එල කිරි නමක්..


ඇයි කොල්ලෝ මාමාට මෙච්චර සතුටු නම් උඹේ අම්මටයි තාත්තටයි කොච්චර සතුටක් ඇතිද..? හැබැයි කොල්ලෝ උඹේ අම්මා උඹට ගහද්දි නම් හිතෙයි
"මොන මගුලකට එලියට අවාද මන්ද..?"කියලා.
ඇතුලෙම හිටිය නම් ඉවරයිනේ... ඇයි යකෝ කියලා.. (අම්මියගේ හැටි මමනේ දන්නේ).. නිරංජලා ඇන්ටි කිව්වට ඇතෙක් වගේ වෙන්න කියලා.. අලියෙක් වගේ බතල කොල්ලෙක් නම් වෙන්න එපා.. රටක් වටිනා සිංහල කොල්ලෙක් වෙයන් .. අර කවුරුදෝ කිව්වේ
"රණබිම මරුනේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සලකුණු ඇත්තේ" කියලා.
එහෙමෙයි කියලා උඹට මැරෙන්නේ දෙන්න බෑනේ බන්.. පවුලේ මුල්ම දරුවා.. ඒ මදිවට කොල්ලා. පොතක් වගේ නම් උනාට කමක් නෑ.. හැබැයි බන් සමාජේ කියවන පොතක් වෙයන්.. මොකෝ නැතිනම් වෙන්නේ අල්මාරියක් අස්සේ ගුලි වෙලා ඉන්න. අනේ අර සුටී සුටී ආතල් ගොඩක් තියෙන බොළඳ නව කතාවක් වෙන්න එපා.. මොකෝ බන් නැතිනම් කොල්ලෝ කාලේ කියවාවි.. නාකි වෙද්දී විසි කරාවි.. ඒක නිසා තුන් කල් පවතින පොතක් වෙයන්...


හේවිසි බෙර ගහලා ගෙට වැඩම්මේව්වේ නැති උනාට පාවඩ එලලා පිළි ගත්තේ නැති උනාට කිලි කුණු කහට මුකුත් නැති අපේ හිත තුලට උඹ වැඩියේ ඊයේ පෙරේද නෙමේ පුතේ.. ඒක නිසා එදා වගේම අදයි හෙටයි උඹ දැන ගන්න ඕනේ ඒ හිත නොරිදා ඒකෙ රජ කරන්න.. හැබැයි කොල්ලෝ වැරැද්දට නම් ගහන එක ගහනවමයි.. ඒක මට පුරුදු උනේ උඹේ සීයාගෙන්... ලොකු උනාම අහපන් සීයාගෙන් මොකද මාමට ගැහුවේ.. දැන් ඌ මට ගහනවා කියලා. උඹලයි අම්ම ඒවි පොල්ලක් උස්සන් මට ගහන්න..


ගෑනියෙක් උණු මගේ අක්කා විතරක් නෙමේ බන් පිරිමියෙක් උණු මගේ අයියත් සංසාරේ බර හැල්ලු කරන්න ඉපදුන මුල්ම එකා පුතේ උඹ. එහෙම කියලා මහණ වෙන්ට ඕනේ නෑ.. හතර වරිගේ නිවන් දක්වන්ට...ඒ මිනිස්සුන්ට කරදරයක් වාතයක් වෙන්නේ නැතුව මහ ඇවුන් දෙන්නගේ ලෝකේ එලිය කරන පහනක් වෙයන්. මොකද උන්ගේ ලෝකේ උඹ.. කොච්චර ගෙවල් දොරවල් තිබුනත් ඒවා නැති වෙද්දී ඉවසා ගෙන හිටියත් දරුවෙක් තමන්ගේ ඇස් මානෙන් මිදෙද්දී නම් අඬන්නේ නැතුව ඉන්න බෑ කියලා කියන එක මට කියලා දුන්නේ උඹේ අත්තම්මා. ඒක නිසා රත්තරන් ටික වගේ හම්බුණ අම්මයි තාත්තයි අත්තම්මලා සීයලා ඔය ඔක්කොමගෙන්ම විතරක් නෙමේ ලෝකඩ වගේ වටින්නේ නැති සුදා මාමගෙන් ඕන දේවල් අරන් සුදා මාමගේ සිතුවිලි ලෝකේ එලිය කරන්න ඒවි කියලා මාමා බලන් ඉන්නවා..


බය වෙන්න එපා බන් මේ ඉන්න මාමලා නැන්දලා ඉරිසියා කොරලා ඇස්වහ කටවහ හෝවහ හදී හුනියන් කොඩිවින කොරන්නේ නෑ. එහෙම කොරනවා නම් මුලින්ම කොරන්නේ මාමට බොල. බය නැතුව හිටු.. මම ඉන්නවනේ..


දැන් තමයි වැඩ ටික පටන් ගන්නේ.. හපොයි උඹ ලොකු වෙලාම ඉපදුණා නම් කියලා හිතෙනවා.. චූ නැප්කින් හෝදන්නයි.... අඬද්දී නලවන්නයි.... ඇවිදින්න ගත්තම පස්සෙන් දුවන්නයි... කතා කරන්න ගත්තාම අහන රට පෙරලන ප්‍රශ්න වලට උත්තර දෙන්නයි... ගියාම වෙන ගිනි විජ්ජුම්ම්බර ටික මට නිකන් මැවිලා පේනවා වගේ.. කොහොමද කොල්ලෝ උඹේ අම්මා බත් එකත් බෙදන් උඹේ පස්සෙන් ගේ වටේ දුවන කොට... මල් හතට තියේවි..


සරමක් උනත් කම්බායක් උනත් මොකෝ කියලා හැමෝම කිව්වට
"සරමක් සරමක්" කියලා දැන ගත්තාම කස්ටියගේ මුණේ මතු උණ හිනාව නම් කියලා වැඩක් නෑ .. කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් බන් ඕනේ හොඳ එකෙක් වෙන්න.. එල බුවෙක් බුවියක් වෙන්න.. අර බලහන් එංගලන්තේ අසු වයස් වියැති මහලු කතක් යස අගේට රට පාලනය කොරන්නේ.. ඒක නිසා මාමා නම් උඹේ ස්ත්‍රී පුරුෂ භාවය මහා ලොකු පුරස්නයක් කර ගත්තේ නෑ. කොහොම උනත් මාස දහයක් අම්මට වද දීලා උඹ එලියට ආවනේ.. රටේ තියෙන ඔක්කොම දහ ජරාව එක්ක හුස්මකුත් ගත්තනේ.. අම්මගෙන් කිරි සුට්ටකුත් බිව්වනේ.. දැන් තියෙන්නේ කොල්ලෝ මිනිහෙක් වෙන්න.. ඔං එතකන් මම බලන් ඉන්නවා.. මාමාගෙන් පුතාට හම්බෙන මුල්ම තෑග්ග තමයි මේ සිතුවිල්ල.. අතේ සල්ලි තිබුණ නම් රන් කැකුළු ගිණුමක්වත් අරින්න තිබ්බා.. පස්සේ වරෙන්කො.. අතේ තියන වෙලාවක මොකක් හරි කොරන්නට බැරිය..


දැනට ඇති. මාමට උනත් හිතේ සතුටට ලියා ගන්න බෑ. උඹ බැලුවා.. දුව ගෙන ආවා.. මේක ලිව්වා.. දැම්මා.. තරහ වෙන්න එපා පොඩ්ඩෝ..


රට කන මි හරකෙක් නොවී රටක් වටින ලොවට ඕනේ මිනිස් පුතෙක් වෙයන්.. අම්මටයි තාත්තටයි අත්තම්මලා සීයලා ඔක්කොම එක්ක පැත්තක ඉඳන් සුදා මාමත් බලන් ඉන්නෝ..
වැරදුණා පැත්තක ඉඳන් බලන් හිටියට මූ හැදෙන එකක් නෑ.. හොඳ පාර පෙන්නන්නම්. අම්මගෙයි තාත්තගෙයි ඔක්කොම හීන වලට පණ දීපන්... ඒකෙ ගිහින් අර කලින් කිව්ව ජාතියේ එකෙක් වෙලා වරෙන්කො බුලත් අතකුයි කොකිස් ටිකකුයි අරන් මාමට වැඳලා කොරලා යන්ට...


පුතාටයි අම්මටයි තාත්තටයි තුන්දෙනාටම බුදු සරණයි.
ෆොටෝ නැති උනාට සොරි හොඳේ.. මේ ඉන්න සුදු කොල්ලට වඩා අපේ කොල්ල ලස්සනයි


ඔන්න පුතේ උඹට නිබ්බුත පද කිවේ සුදා මාමා හොඳේ


සිරි මා බෝ සාමිනි ඇය පිරිමි පුතෙක් ලැබුවා..... අහලම යන්න කොටන්න

Sunday, July 29, 2012

කවුරුත් නැති තැනකට වී හැඬුවෙමි තනිවීලා



සැ. යු.- පරණ එකක්

(කහ පාට බොකේ ඒක තියන් ඉන්නේ සුදාගේ අක්කා.. සුදු පාට බොකේ ඒක තිය ගෙන ඉන්නේ ලොකු අක්කා
)

ලඟදි ලියන්න කියන්න හම්බුනේ නෑ. කෝච්චියේ පා පුවරුවේ අවධානම් ගමන්, මැයි 15 සමරපු දේශයේ මුර දේවත එළි ගැන, ඒ අම්මලාගේ කඳුළු ගැන කතා කරන්න හිතා ගෙන හිටියත් මැයි මාසේ තමන්ගේ ලස්සනම දවස ගැන හීන මවපු අක්කා කෙනෙක් අපේ පවුලෙත් බලාගෙන හිටිය නිසා ඒ වැඩ ගොඩත් එක්ක සිතුවිලි දෙකක්ම නැති වෙලා ගියා. ඒත් ඒ අක්කා ගැනවත් ඒ වැඩ ගැනවත් කිසිම අමනාපයක් නෑ. හිතේ කහටකුත් නෑ . ඔය අපේ පවුලෙන් එහාට ඉගිල්ලිලා ගිහිපු දෙවෙනි කිරිල්ලිත් එක්කම සිතුවිල්ලක් මේ විදියට සටහන් උණා. මුලින්ම අපේ අක්කා.(ඒ කියන්නේ මගේ අක්කා).. ඊළඟට ලොකු මාමළහ අක්කා.(ඒ කියන්නේ ලොකු අක්කා).. ඊළඟට තව තව අය තමන්ගේ කුඩු හදා ගෙන වෙන් වෙලා යාවි. මගේ අක්කා බැඳපු දවසේ සුදාගේ සිතුවිල්ලක් ඉපදිලා තිබුනේත් නෑ. ඒත් ලොකු අක්කා බැඳපු දවසේ නම් සුදගේ සිතුවිලි 25 ත් ඉක්මවලා ගිහිල්ලා. ඒක නිසා ලොකු අක්කට වෙන් උණ සුදාගේ සිතෙන් මගේ අක්ක්කටත් අසාධාරණයක් නොකර ඉඩ වෙන් කරන්න හිතවා.

මට මතක ඇති කාලේ අනික් නෑදෑයෝ එකකලට වඩා අපේ අම්මගේ පවුලේ නෑදෑයෝ ටික ගොඩක් එකතුයි. අම්මගේ සහෝදර සහෝදරියෝ ටිකගේ ළමයි උනත් එකම වයස් වල වගේ. ඒක නිසාදෝ කොහෙද අපි ගොඩක් එකතුයි. අපේ අක්කා, ලොකු අක්කා, සුදු අක්කා, චුටි මැණිකේ, චුටි, මම, චමීර, සසංක, එඩි අන්තිමට පොඩි. හැට හුටහා මාරක් නැති උනාට ඉන්න මේ දහ දෙන එකතු උනාම නම් එතන තියෙන සිරියාව ගැන අපිට වඩා හොඳට වටේ පිටේ මිනිස්සු කියාවි. පොඩි කාලේ වගේ හැමදාම එකතු වෙන්න බැරි උනත් ඉස්සර වගේ වැඩක් ඇති තැන කොතනද අපි ඇත තමා. ඒකට අපේ චුටි මාමාත් එක හේතුවක්. මොකද...? අපේ ලොකු මිනිස්සු වැඩ බෙදලා දෙන්න අකමැති වෙද්දී අනම් මනම් කියද්දී එච්චර වයස නැති අපේ ඒ කොල්ලා තමා කියන්නේ අරම කරපල්ලා මෙහෙම කරපල්ලා කියල. හැබැයි ඒ ඇතුලේ හැඟුණ ලෙන්ගතු කමක් එක්ක. වැඩේ නිට් නැති නම් බැනුම් තමා. තමන්ගේ පවුලේ ඇර වෙන පිට කෙනෙක්ට ආදරේ කරන වෙන කෙනෙක් අර දහ දෙනාට කියන්න කිව්ව්වොත් ඉස්සෙල්ලම කියන්නේ චුටි මාමා එහෙමත් නැතිනම් බාප්පා කියල තමා. අපේ දහ දෙනාගේ ආදරය තමා එකම නියම ශක්තිය. ගොඩක් මහා ලොකු දේවල් නැති උනාට අපි දහ දෙන අතරේ ලොකු බැඳීමක් තිබුණා කියලා නම් මම සහතික වෙනවා. යාන වාහන ඉඩම් කඩම් මිල මුදල් නැති තැන හැදෙන බැඳීම තමා නියමම බැඳීම. ඔය කිව්වේ සරලවම "අපේ ළමා සමාජේ" ගැනයි ඒකේ අනුශාශක තුමා ගැනයි.

මගේ අක්කා ඉස්කොලේදී දිමුතු. වෙන අයට නම් බේබි.. සමහරුන්ට සුදු බේබි.. තවත් අයට සුදු අක්කා. මට නම් නිකම්ම අක්කා. දැන් නම් නර්ස් කෙනෙක්.. අපේ පවුලේ වැඩිමල්ම සාමාජිකාව. ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ කුඩුවක් හදන්න පටන් ගත්ත. හ්ම්ම්ම්ම්ම් මතක් වෙද්දීත් දුකයි. ඒත් කරන්න දෙයක් නෑ. මතක් වෙනවා ඉස්සර රණ්ඩු කරපු හැටි. එයාට දිග කොණ්ඩයක් තිබුණා. ඕකෙන් ඇදල තමා ගහන්නේ. කොට කොණ්ඩයක් තිබුණ මට කිසිම හැඟීමක් නෑ කොන්ඩෙන් ඇද්දම කොච්චර සනීපද කියලා. එක දවසක් මගේ බොරුවක් නිසා ගොඩක් එයා ගොඩක් ගුටි කෑවා. තව දවසක් මම පොඩි කලේ මට අව්වයි කියලා තොප්පියක් ගෙන්න දුවපු අක්කා ආපහු ආවේ වැටිලා දිවත් කඩාගෙන. එයාගේ වැඩ වලට කේන්ති නොයන්නෙත් නෑ. පලවෙනි පඩිය ගත්ත දවසේ ඉඳන් අදටත් මට අලුත් අවුරුද්දටයි උපන්දිනේටයි මොනවා හරි එවනවා. ඒ කියන්නේ තාමත් මතකයි අමතක වෙන්නේ නෑ කියලනේ. කොහොම හරි උසස් පෙළ කරන්නයි සාමාන්‍ය පෙළයි ගොඩක් දේවල් වලට මම පාවිච්චි කලේ එයාගේ පොත්. එයා මම වෙනුවෙන් ඒවා පරිස්සම් කරලා තිබුණා. එයාගේ වැඩේ කර ගන්න ගමන්ම. මොන දේ කරත් ගෙදර ගැනත් හොයල බලනවා. අපි හිතුවේ බඳින අයියට දෙයියන්ගේම පිහිටයි කියලා. ඇයි දෙයියනේ නැගිටින්නෙත් පරක්කු වෙලා. පොඩ්ඩ ඇත්නම් නාහෙන් අඬනවා. පරිප්පුයි බතුයි කර නොකර උයාගන්න පුළුවන්. කොහොමින් කොහොම හරි එයා ඒකට හැඩ ගැහුනා. ඒ අපේ අක්කා ගැන. අමතක උනානේ මස්සිනා ගැන කියන්න. එයා චන්දන අයියා. නර්ස් කෙනෙක් හොඳේ.

මේ යාලුවොන්ට නිලුෂි. සමහරුන්ට ජින්ජි. තවත් සමහරුන්ට ලොකු... තවත් අයට ලොක්කා.. මට එයා ලොකු අක්කා. අපේ පවුලේ දෙවෙනි සාමාජිකාව. මේ පහුගිය මාසේ තිබුන විවාහ උත්සව රාශියක් පැවැත්වුන මැයි මාසේ 17 ත් වෙනිදා එයාත් යුග දිවියට එළඹුන. ඒ නිලන්ත අයියා එක්ක. පොලිසියේ වැඩ. මම හිතන්නේ පොඩ්ඩක් මාරු වෙලා වීමක් වෙලා. කොටින්ම කිව්වොත් කනට ඇහෙන්න කතා කරන්නේ නෑ ඒ අයියා.. අනේ ඒ තරම් අහිංසකයි. අප්පට සිරි. ඒකට අපේ එක්කෙනා. ඒකටත් එක්ක හරි යන්න මෙයා කෑ ගහනවා දෙවනත් වෙන්න. ඉස්ස්සර ඉඳන්ම පොඩ්ඩක් කලබලකාරී චරිතයක්. මොනවා නැතත් හොඳට රස කරලා කතා කියන්න නම් පුළුවන්. මම ඉස්සර හරි ආසයි එයා කැම්පස් එකේ ඉඳන් එන දවස් වලට එහෙ යන්න. රස කතා ගොඩයි.. ඒක නිසාම තමා මම කැම්පස් යන්න ආස උනෙත්. ඒ කතා කොච්චර රසද කිව්වොත් මතකද මේ කතාව...
" කත් පුමයාගේ පුතා නොහඬව, මස් වැද්දාගේ පුතා නොහඬව.. කෙල තොල්ලාගේ පුතා නොහඬව .."
මට වඩා බාල අයට නම් මතක නෑ. ඒත් ඔය ඉස්සර අපිට සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය පාඩමකට තිබුන කතාවක්. මට ඔය කතාව ඒ අක්කා කියද්දී මම 9 වසරේ. එදා ඒ අක්කා ඔය දෙබස් එක්කම කතාව මට කිව්වා. ඒ දෙබස් මට මතකයි අක්කට පින් සිද්ධ වෙන්න. ඒක නම් විභාගෙටත් උදව් උණා. එයාලගේ කැම්පස් එකේ මොනවා හරි ස්ටිකර් එකක් ගැහුවොත් අනිවා එයින් එක එක ගානේ මටත් දෙකක් තුනක් දෙනවමයි. කිසිම දවසක අපේ සමාජේ කවුරුවත් මගේ හිත රිද්දලා නම් නෑ. මත ගැටුම් ඇති වේවි. ...නේද ? මල්ලි , කියලා සමතයකට පත් වේවි.. ඔක්කොම දේවල් කරලා එකට හිටපු කෙනෙක් කොහේ හරි නවත්තලා දාලා එද්දී දුක වැඩි. මොකද මම එහේ යන්න කැමැති ඒ අක්කල තුන් දෙනාම ඉන්නවා නම් විතරයි. රස ගුලාවක්. මිහිරිතම හෝරාවල් රැසක්. ඒකයි... එයත් ගිය ඉරිදා ඉඳන් කුඩුවක පදිංචි උණා.

කෙල්ලෙක් හැදුවොත් දෙන්නම වෙනවා. ගෙදරට නාකි වේවි ඉන්න බෑනේ. කොහොම හරි එයත් ගියා. ඒ දෙන්නා ජිවිතේ පටන් ගන්නයි ගියේ. අපිට නවත්තන්න අයිතියක් නෑ. එහෙම නැවැත්තුව කියලා ඒකට සමාන සතුටක් දෙන්න බෑ. ගොඩක් අවවාද අනුශාශන මැද හැමෝගෙම ආශීර්වාදය මැද්දේ ඒ දෙන්නා ජිවිතේ පටන් ගත්තා. මට නම් තාමත් ඒ දවස් වල වගේමයි. පොඩි උන් වගේ ඉන්න තිබුණ නම් කොහොමද..? ඒත් ඉතින් මොනවා කරන්නද..? 17 වෙනිදා ලං වෙද්දී මහා යුද්ධයක්... ඔය දේවල් කරද්දී හිතුණා හාපෝයි හඳ පානේ ගියානම් එකක් කියලත්. ඒත් ඉතින් එහෙම පිටත් කරලත් කොහොමද..? කොහොමින් කොහොම හරි වැඩ ටික ඉවර කරලා හුස්මක් කටක් ගත්තා විතරයි. කට්ටිය අද ඇහුවත් එක්ක මොකද සුදාට උනේ කියලත්.. අක්කේ මගේ අතේ සල්ලි තිබුණ නම් පොඩි හරි දෙයක් මම දෙනවා. ඒත් ඉතින් දුප්පත් මම මොනවා කරන්නද..? මොනවා දුන්නත් නැතත් එදා ඉඳන් තිබුන ආදරේ අදටත් නොඅඩුවම දෙනවා. අයියටත් එක්කම. මොන ප්‍රශ්නේ ආවත් ඉවසන්න. මොකද ජිවිතේ නෙල්ලි ගෙඩියක්.. හපලා හපලා ඔක්කොම කටුක රස වින්දට පස්සේ තමා තියෙන්නේ මිහිරිම පැණි රස. ඒක නිසා පැමිණි දුක් පැණි රසයි කියල ජීවිතේට මුණ දෙන්න. ඕන දේකට අපි ඉන්නවා. ඔය දෙන්නටම. මගේ අක්කල දෙන්නටයි හම්බුණ දාහෙන් සම්පතක් උන මස්සිනා මහත්වරු දෙන්නටයි හැමෝන්ටම බුදු සරණයි... ඉක්මනටම කොල්ලෙක් කෙල්ලෙක් අරන් ආපහු එන්න කියලා විතරයි කියන්න තියෙන්නේ.. අර සින්දුවෙන්ම මම අදට නවතින්නම්...
ඉගිලිලා ගොසින් හදපු කුඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ....


Friday, March 9, 2012

අහන් ඉන්න..


අහගෙන ගෙන ඉන්න පුලුවන්ද...? ඊයේ දවල් ඉඳන් මගේ හිත මොනවද මුමුණනවා.. අහන් ඉන්නවා නේද...?සමහර මගේ යාළුවෝ දන්නවා ඇති පොඩි උවමනාවක් වෙනුවෙන් මම ඊයේ කොළඹ ගියා කියලා.මේ අවුරුදු 20ටම මට මේ වගේ සිද්ධියක් අත්විඳින්න උන පළවෙනි අවස්ථාව.මේ ඒ ගැන මගේ හිත මුමුණන දේයි.

කොළඹ ගිය අතරේ මම මගේ පොඩි උවමනාවකට ප්‍රසිද්ධ පොත් සැලකටත් ගියා.එතන මට ඕන පොතත් අරන් පඩිපෙළ බහිද්දී මම දැක්කේ ඇස් වලින් ලෝකය දකින්නේ නැති තරුණියක්.හැබැයි ඒ කාන්තාව මුළු ලෝකයම දකින විඳින කෙනෙක් කියලා මට පස්සේ තේරුණා (එත් ඒ කාන්තාව පොට්ටවත් කණෙක්වත් නෙමේ කියලා මම කියන්නේ ඒකයි) එයාට පඩිපෙළ බහින්න අමාරුවෙන් හිටියේ මම එයාගෙන් ඇහුවම උදව් කරන්නද කියල එයාගේ මුණේ ලාවට හිනාවක් ගියා.

"එත් අනුකම්පාවෙන් නම් එපා..."

එයා කිව්වා.එයාට පාර පනින්නත් ඕනේ වෙලයි තිබුනේ.එතන ටිකක් ජනාකීර්ණ වාහන අධික මංසන්ධියක්.ඒක නිසා මමත් එයාට පාර මාරු වෙන්න උදව් කලා.උත්පලා ටෙලි නාට්‍යයේ උත්පලා තරම්වත් Fanna Film එකේ අන්ධ කාන්තාව තරම්වත් ලස්සනක් මම එයාගෙන් දැක්කේ නෑ.ඒත් මට පුදුම හිතුණා එයා ආර්ථික විද්‍යාව පිලිබඳ ගෞරව උපධිදාරිනියක් කිව්වාම.ඒ අක්කා මට ස්තුතියි කරලා යන්න ගියා.ඒත් ඒ මගේ හිතින් නම් නෙමේ,ඒ අනුකම්පාවක්වත් ආදරයක් නිසාවත් නෙමේ.අන්තිමටම ඇස් පේන මට ඒ අක්කා කිව්වේ

"මල්ලි විශ්ව විද්‍යාලය හැමදේම තියෙන තැනක්.අපිට ඕන දේ විතරක් ගන්න පුළුවන් නම් අපි දක්ෂයි.ඇස් නොපෙනෙන මම ඒවයින් හොඳම දේ තෝරලා ගත්තනම්,මල්ලිට වරදින්න විදියක් නෑනේ.පරිස්සමින් යන්න"

කියල විතරයි.එත් කොළොඹ ඉඳන් ගාල්ලට එනකම්ම මට හිතුනේ ඇත්තටම අපි දෙන්නගෙන් අන්ධ කව්දැයි කියල.ඒ අක්කට කවදාවත් Facebook එන්න හම්බ වෙන්නේත් නෑ.Requset දාල comfirm කරාම චැට් කරන්න වෙන්නෙත් නෑ.එත් ඒ අක්කට අඩු මොනාද....? අක්කේ නුඹේ ඇස පේනවා.පාට පාට එළි වලට අහුවුණ අපියි අන්ධ....

ඔය සිද්ධිය උනේ දවල්..මේ ඊයේ රෑ උණ සිදුවීමක්.එක්තරා නාලිකාවක සංගීත නිර්මාණ සඳහා සම්මාන ප්‍රදානය කලා කියල දන්නවානේ.ඒක වැඩක් ඇති දෙයක් නැති නිසා මම බැලුවේ නැති උනත් මමත් ඕක යන්තම් දැක්ක.ඒකෙදි හොඳම නිර්මාණකරුවා විදියට තේරුනේ මේඛලා ගමගේ නම් ගායිකාවයි.ඒත් ඇස් පෙන්නේ නැති කලාකරුවෙක්.එයා ජනප්‍රියම තරුව නොවෙන්න පුළුවන්.කෑලි කැපිය හැකි ගණ අඳුරකින් පිරුණ ඇගේ ලෝකයෙන් ලාංකීය සංගීත කේෂ්ත්‍රයේ හොඳම කලාකාරිනිය වෙනවා කියන එක නම් ලේසිපාසු වැඩක් නෙමේ.අනික ඒ තුට්ටු දෙකේ සිල්ලර නිර්මාණයක් සඳහාත් නෙමේ.ඔබ ඒ ගීතය රස විඳලා ඇති අනන්තවත්.මම දකින මෑත කාලීන විශිෂ්ටතම නිර්මාණය කියල කියන්න පුළුවන්.ඒ තරම් උසස් නිර්මාණයක්.ඔසරිය ඇඳලා අම්මත් එක්ක වේදිකාවට ඇවිත් සම්මානය අරන් නිර්මාණය කරන්න උදව් කරපු අයට ස්තුතියි කරපු විදිය හරිම පුදුමයි.ගවුම් කෑල්ලක් නාන රෙද්දක් ඇඳන් එන්නේ නැතුව සිංහල කාන්තාවක් වගේ ඔසරියක් ඇඳන් ආපු මේඛලා අක්කේ නුඹ දිනුවේ ඒ වෙලාවේ නැගිටලා අත්පොලසන් දුන්න ප්‍රේක්ෂක ජනතාව විතරක් නෙමේ නුඹට පෙන්නේ නැති මුළු ලෝකයත් එක්ක බව නම් කියන්නම ඕනේ.ඇස් පෙන්නේ නැති අක්කා ඔය පද පේලි ටික ඇඟිලි තුඩු වලින් බ්‍රේල් ක්‍රමයට එක පාරක් කියවද්දී අපිට ඇස වලින් බලලා දෙපාරක් කියවන්න බැරි කමක් නෑ.මම දන්නවා නුඹත් උපාධිදාරිනියක් කියල....

ඇස් නොපෙනෙන නුඹලා ගන්න වීර්යයි ඇස් පේන අපි ගන්න වීර්යයි එකම තරාදියකින් නම් කිරන්න බැරි වේවි.නුඹලාගේ වීර්යය ඒ තරම් බරයි අක්කේ. අනුකම්පාවේ ඇඟිලි ගුලි ගැහුණු දයාබරත්වයේ දෑත් ඔවූනට ශක්තියක්.ඒ දෑත් දිගු කරන්න ලජ්ජා වෙන්නවත් අමතක කරන්නවත් එපා.මේත් අපේ ලෝකයම දිනන්න පාරමිතා පුරන අක්කලා අයියල නංගිලා මල්ලිලා බව නම් එක තත්පරයකටවත් අමතක කරන්න නම් එපා.
"සිලි සිලියේ හමන සුළග කොඳුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය නුඹටයි නුඹගෙයි"

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...