මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Sunday, September 23, 2012

අතරමං මඟ

සවස් යාමය, හරස් වීදිය,
නිවෙස් පේලිය, හුඹස් ලෝකය,
රකුස් මානය, උකුස් කොණය,
සහස් බීතිය, මිනිස් දොණිය,

කුරා කුදු කලු, සුරා බේබදු,

නුරා මතිනිඳු, හොරා පරසිඳු,
සරා සළලිඳු, සිරා මරුබඳු,
සරා සඳු බඳු, සුරා රන් ලඳු,

දුර බැහැර සිට අගනුවර ආ,

යනෙන හැටි හරි මං නොදන්නා,
බියද වෙහෙසද දාඩියෙන් පා,
රුවැති තුණු ඔබ මොබ සරන්නා,

සිතට නිවනක්, ගතට අහරක්,

යනෙන විදියක් වතුර උගුරක්,
අමන පිරිසක්, පිරුණු පුරයක්,
සොයන සෙවනක්, තරුණ අඟනක්,

යනෙන මඟ වුව කියනු කොහොමා,

බියෙන් සැලෙතැයි බියෙන් වෙම්මා,
බිලිගනිද රුපු යකුන් නරුමා,
නිකම් ඉමි මම මමයි නිකමා.
  •  

Tuesday, September 18, 2012

රන් කහවණු සල්ලි සල්ලි


"සර් අපි නෙළුව ඉස්කෝලෙන් ඉගෙන ගෙන කැම්පස් ඉන්න අය. අපි එකතු වෙලා මේ අවුරුද්දේ කැම්පස් තේරුණු ළමයි එකතු කරන පොඩි සොසයිටියක් පිහිටෙව්වා "නෙළුව සරසවි මිතුරෝ" කියලා. ඒක එක එක දේශපාලන පක්ෂ වලට අයිති එකක් නෙමේ. ගොඩක් අය හිතන්නේ අපි කඩේ යනවා කියලා.එහෙම එකක් නෑ "

ඔව් ඉතින්....

"අපේ මුල්ම වැඩසටහන විදියට අපි කලේ ඉස්කෝලේ මුල්ම වතාවට ආකල්පමය වෙනසක් කරන්න කොහොමද ඒ ලෙවල් කරන්නේ කියලා උසස් පෙළ ළමයින්ට "සරසවියට පාර කියමු" කියන සෙමිනර් එක කරපු එක. අපේ අතේ සල්ලි තියා ගෙන කරපු වැඩක් නෙමේ. ඉතුරු කර ගනිපු කීය කීය හරි දාල අපි කලේ අපේ නංගිලා මල්ලිලාට කැම්පස් එන්න උනන්දුවක් ඇති කරන්න. ගාල්ලේ ලොකු ඉස්කෝල වල ඕවා නිතර නිතර කරාට දුප්පත් අපේ ඉස්කෝලෙට ඒක අමුතුම දෙයක් උණා. අපි එක්ක ගොඩක් ළමයි එකතු උණා. ඒකට හොඳම සාක්කිය අපි වැඩසටහන ඉවර කරද්දී අපිට ලැබුණු කොමෙන්ට්ස් කොළ ටික"

හ්ම්ම් ඉතින්....?

"ඊට පස්සේ අපිට ආරංචියක් ආවා අපේම කැම්පස් ඉන්න සහෝදරයෝ තමන්ට කැම්පස් එකෙන් පිට කරන්න ඕනේ කොර්ස් කර ගන්න බැරුව ඉන්න විත්තිය. සමහරු උපාධිය අත ඇරලා ජොබ් වලට යනවා කියන එක. ඒ විතරක් නෙමේ සමහරු විභාග වලට ගෙවා ගන්න සල්ලි නැතුව අසරණ වෙලා ඉන්න ඉන්න බව. ඔය ඔක්කොම කරන්න සල්ලි ඕනේ. තාම ඉගෙන ගන්න ළමයි වෙච්ච අපිට කොයින්ද සල්ලි. සර්ලා දන්නවනේ දෙන රස්සාවකට යන්න උපාධිය විතරක් මදි කියල. අනිවාර්යයෙන් සිමා චාර්ටඩ් මොනවා හරි කරලා තියෙනවා නම් ඉල්ලුමක් තියෙනවා.."

ඔව් ඒක ඇත්ත. අපේ ළමයත් ඔය කරනවා.. ඒක හොඳයිද දරුවෝ...?

"ඉතින් අපි තීරණය කලා නාට්‍යයක් ගෙන්නවන්න. ඒ තමා සර් "නරි බුරති". ගාණෙන් ඉහළ උණත් කැම්පස් ළමයි උන අපිට ගමට දෙකයි පනහේ නාට්‍යයක් ගෙන්නවන්න බෑ. ඉතින් අපි ඒකට සර් මෙච්චර මහන්සි වෙන්නේ. අපි දන්නවා සර්ලා අමාරුවෙන් හම්බ කරන්නේ. මෙතන අපේ වැඩසටහනේ ප්‍රපොසල් එක තියෙනවා.  මේ තියෙන්නේ අපි හදන්න ඉන්න ස්විනියර් එකේ විස්තර. සර්ලට පුළුවන් නම් අපිට ඇඩ් එකක් දීල පොඩි උපකාරයක් කරන්න.. "

කොහේ තියෙන සල්ලිද ළමයෝ... ඔය බොරු වැඩ නොකර වෙන මොනවා හරි කරන්න

"හොඳයි සර්... අපිට පුළුවන් උදව්වක් කරන්නකෝ.. ඔය දෙක තියා
ගන්න. අපි ගිහින් එන්නම්..."

ඔය තියෙන්නේ මේ දවස් ටිකේම අපේ කටින් පිට වුණු වචන ටික. දැන් අපි ගැන දැන ගන්න ඇතිනේ. වැඩි විස්තර පින්තුර කෑලි එක්ක හොඳ පොස්ටුවක් දාන්නම්.. මේ ඊට කලින් දාන කටු සටහන නොහොත් අහක දාන සිතුවිල්ලක්
   අපේ වැඩේ ගැන ඇහුවම ගොඩක් අය නිකම්ම උදව් කරන්න කැමති උණා. සමහරක් ලියුම් හෙඩ් ඔෆිස් යවලා පරක්කු වෙන නිසා එයාල එකතු වෙලා සල්ලි දීපු අවස්ථා තිබුණා. සමහර ඔෆිස් වල නෙළුවේ වැඩ කරන කිසිම කෙනෙක් නෑ. ඒත් ඒ අය අපි ගැන ලොකු විස්වාසයක් තිබ්බා. ඔයාලට කැමති විදියට ඇඩ් එක දා ගන්න. නොදැම්මත් කමක් නෑ කියලා කියපු අයත් හිටියා. අර පොස්ටුවෙම ස්තුති ලිපියත් දාන්නම්.

 අපේ හද හඳුනනවා කියන බැංකුවට විතරක් අපේ හඬ තේරුම් ගන්න බැරි උණා. අපිට ඒ ගැන මුකුත්ම කියන්න බැරි ඔවුන් ඉන්නේ රාජකාරි පරිසරයක. රුපියලක් හරි මිස් උනොත් අතින් දාන්න ඕනනේ.

ඕව විතරක්ම නෙමේ. කටුක විතරක්ම නෙමේ රසබර අත්දැකීම් ගොඩක් එකතු උණා. ඒවා පස්සේ හිමිට කියන්නම්කෝ.

නෙළුවේ කඩවල් විතරක් නෙමේ. ගාල්ලේ මතුගම මොරවක  ප්‍රදේශ වල වෙළඳසැල් හිමියන්ගෙන් අපිට ලොකු සහයක් දුන්නා. කිසිම කරදරයකින් තොරව නෙළුවේ අපේ වාසනාවට ආපු ලංකේශ්වර දොස්තර මහත්තයා, ICBT කැම්පස් එකේ පවිත්‍රා මිස්, ලකී ලංකා එකේ කල්ප අයියා නම් වශයෙන් නොකිව්වත් අපිට ගාල්ලේ උගන්නපු ගුරුවරු කිසිම ලෝබ කමක් නැතුව සල්ලි දුන්නා. 


 සමහරු ඇඩ් එකවත් නොදී ලොකු මොණර කොළ දීලා තිබුණා. සල්ලි වලට යට නොවුණු උගත් බුද්ධිමත් හැමෝම අපිට උදව් කළා. ඒ උදව්වට ස්තුති කරන්න මට සිංහල හෝඩියේ අකුරු මදි. ඉංග්‍රීසි බැරි නිසා කරන්න දෙයක් නෑ.  මේ ටික නොකිව්වොත් මේක කියවන අපේ කට්ටිය මාව කාවී උඹ ලියන්න ඕනේ ඒවා ලියලා නෑනේ මි හරකෝ කියලා.

සමාවෙන්න මේ මඩ ගැහීමක් නෙමේ.

සල්ලි දෙන්න බැරි නම් කෙලින්ම කිව්වා නම් අපේ කිසිම තරහක් නෑ. අපිත් දන්නවා ඒ හැමෝම එක රුපියලක් හම්බ කරන්න කොච්චර මහන්සියක් වෙනවද කියලා. අපි ඒක නිසාම මුලදීම හිතුවා
පොඩි කඩවලට යන්නේ නෑ කියලා. ඒත් අපිට වැරදුනේ එතැනදී. ගොඩක් පොඩි කඩ අපිව විස්වාස කළා. පුළුවන් හැටියට උදව් කළා.

 මහා ලොකු බිස්නස් කාරයෝ  මුන් පොඩි උන් කියලා අපිව අතහැරලා දාද්දි අපේ හයිය තිබුනේ පොඩි මිනිස්සු දීපු රුපියල් සත උඩ. මම හොඳටම දන්නවා අපේ කවුරුවක්වත් එහෙම කතා අහපු අය නෙමේ. අපේ වැඩේ වෙනුවෙන් අපි හැමෝම ඒ කුණු බැනුම් ඇහුවා ලොකු බිස්නස්කාරයොන්ගෙන්. සල්ලි දීපු නැති නිසා බනිනවා නෙමේ. සල්ලි දුන්නා. ඒත් අපිට ඒ කියපු කතා අමතක වේවිද..?

මට මතකයි අපේ බජට් එක ටිකක් ලොකු ගාණක්. එක ලෝයර් කෙනෙක් ඇහුව ඇයි මේ ඔයාල මෙච්චර ලොකු බජට් එකකට සල්ලි එකතු කරන්නේ. කෙලින්ම ඒ සල්ලි අරමුදලට දැම්මා නම් හරි නේද..? කියලා. ඇත්තටම මට ඒ වෙලාවේ එතුමියට නඩු බාර දෙන්න ආපු අය ගැන පොඩි දුකක් හිතුණා. මෙච්චර මෝඩ තර්කයක් කරන්න ඒ මිස් කොහොම කට හද ගත්තද කියලා.

 අපිට පුළුවන් බස් වලට නැගලා සින්දු  කියන්න.මිනිස්සු ඉස්සරහට ගිහින් කැට හොලවන්න. ඒත් ළමයෙක්ගේ පින්තුරයක් අරන් බස් එකට නගින සමහර වංචාකාරයෝ එක්ක මිනිස්සු අපිට සල්ලි දේවිද...? එකෙන් පාඩුව උනේ අපිට විතරක්ම නෙමේ. හද්ද අසරණ වෙච්ච අතේ සතේ නැතුව තමන්ගේ දරුවාගේ අම්මගේ අසනීපයක් හොඳ කර ගන්න ලක්ෂ ගාණක ඔපරේෂන් එකක් කරන සතෙන් සතේ එකතු කරන අසරණ මිනිස්සු. කොහොම උනත් දැන් අපේ වැඩෙන් 60%ක් විතරම සාර්ථකයි. සාර්ථක ඉතුරු 40% ගැන ළඟදීම කියන්නම්. 

ප.ලි. අපි දන්නවා රුපියල් 1000ක් වියදම් කරන එකට වඩා එක රුපියලක් හම්බ කරන එක අමාරු බව. ලෝකේ එක එක මිනිස්සු ඉන්නවා. ඒ අයගේ දහම් ගැට වලට අහුවෙලා ඔබත් නන්නත්තාර වෙලා ඇති. මම කියන්නේ නෑ අපිට සල්ලි දෙන්න කියලා. ඒත් එක ගමේ ඉන්න උදේට හවසට මුණ දකින එක ගමේ  දානෙට මරණෙට දුවන අපිට සමහරක් මිනිස්සු කියපු දේවල් ටිකක් බැරෑරුම් වැඩි උණා. අපි වචනයක්වත් කිව්වේ නෑ. සමහර තැන් වලින් සල්ලි දෙන්න බෑ කිව්වා. බිස්නස් පාඩුයි කියල. අපිට එහෙම කිව්වට දුක නෑ. ඒත් ඔය බොරු වැඩ වලට දෙන්න සල්ලි නෑ කියපු එක නම් හිතේ පතුලේම රැඳුනා. 
ගමේ උගත් ගොඩක් මිනිස්සු සල්ලි වලට වඩා අපිත් එක්ක හිතින් ලං උණා. මේ කුක්කොන්ට කරන්න පුළුවන් වැඩක්ද කියල අපිව අත අරිද්දි සමහර යන්තම් එදා වෙලා හොයා ගන්න සල්ලි එකතු කරපු මිනිස්සු අපේ පිටි පස්සේ හයියට හිටියා. ඒ සල්ලි වලට වඩා අපේ අරමුණ දැන ගනිපු මිනිස්සු.  සමහරු සල්ලි වලටත් වඩා අපේ සංවිධානෙන් තෝර ගනිපු උසස් පෙළ හදාරන අය වෙනුවෙන් ටියුෂන් පන්ති වල ෆ්‍රී කාඩ් දෙන්න එකතු උණා. අපිට පාර්ට් ටයිම් ජොබ් දෙන්න එකතු උණා. ශිෂ්‍යත්ව දෙන්න ඉදිරිපත් උණා. 
අපි දැක්කා අපිට දෙන්න සල්ලි නෑ කියපු මිනිස්සු  සල්ලි මිටි බැඳ ගෙන ගිහින් හවස බැංකුවට දානවා. සුදා මල්ලි උණත් ටෙලි නාට්‍යයක සල්ලි බ්‍රිෆ් කේස් එකෙන් ඇරුණම ඇස් පණා පිට එච්චර සල්ලි ගොඩක් දැක්කේ එදා. ඒ අපි බැංකුවෙන් ඇඩ් එක ගන්න ගිහින් ඉද්දි. අපි කාත් එක්කවත් තරහ නෑ. 
අපි මේ වැඩේ කොහොම හරි කරනවා. ඒත් අනාගතේ ලෝකේ බාර ගන්න ඉන්න ගමට ඇවිත් වැඩ කරන්න ඉන්න අපේ හිත් වල වර්තමානයේ ඉන්න ගමේ මිනිස්සු ගැන නොපහන් හැඟීමක් මතු කරපු එක නම් එච්චර හොඳ දෙයක් නෙමේ. සල්ලි වලට ලෝකේ කරන්න බැරි දෙයක් නැති විත්තිය ඇත්ත. ඒත් සල්ලි කියන්නේ ජීවිතේම නොවන බව ඒ මිනිස්සුන්ට තේරෙද්දී ගොඩක් පහුවෙලා තියේවි.. 

දොස්තර ඉංජිනේරු කළමණාකාර නීතිඥ නෝනලා මහත්තයලා අස්සේ සුදා මල්ලි

ප.ප.ලි- සුදා මල්ලි සර්ව සාධාරණ සුදු චරිතයක් නොවන්නේ ය. පැහැදිලිව දන්වා සිටින වග නම් හෙතෙම අළු කැරට්ටුවක් සහිත වූවෙකි.

Sunday, September 16, 2012

තව හිනහෙන්නම් දැන් කවුද මට ආදරේ...?



"මට ආසයි හිනැහෙන්න මුළු ජිවිතේ"

............................................කියල කිව්වට අපි හැමෝම දන්නවා, හැමදාම එක වාගේ නැති ජිවිතේ හැමදාම එක වාගේ හිනා වෙලා ඉන්නවා කියන්නේ ලෝකේ තියෙන අමාරුම දෙයක්.. 


ඒත් කව්රුදෝ කියනවා වගේ මතකයි නොමිලේ දිය හැකි එකම වස්තුවට ලෝභ කරන්න එපා කියලා. ඒක නොමිලේ දීලා තියෙන්නේ ලෝකෙටම බෙදන්න මිසක් දත් ඇඳි දෙකයි තොල් අතරෙයි හිර කරන් ඉන්න නෙමේලු.


මුළු ලෝකෙම තරඟයක් වෙලා..මල්ලි කෙනෙක් මාත් එක්ක කිව්වා වගේ මතකයි තරඟයක් නැති ජිවිතේ කණුවක් දිගේ වතුර ගලනවා වගේ කියලා. කිසිම ලස්ස්සනක් නෑ. ඒත් ගඟකින් ඇලකින් ඒ වතුරම ගලද්දී කොච්චර ලස්සනද...? මම තරඟකාරිත්වය කියන්නේ අභියෝග... දහසක් අභියෝග මැද හිනා වෙලා ඉන්නවා කියන්නේ කොච්චර සුන්දර දෙයක් ද...? හිනාවේ උල්පත සතුටයි.. දුකට හිනා වෙන මිනිස්සු නැතුව නෙමේ.. 

ඒත් ඒ හිනාවෙන් තව කෙනෙක් හිනා වෙනවා නම් එතන තියෙන්නේ සතුටක උල්පතක නේද...? ජිවිතේ ජිවත් කරවන්නේ සතුට.. දුකක් එක්ක ඉන්න මිනිහෙක් මම මැරී මැරී ඉපදෙනවා කියල මිසක් ජිවත් වෙනවා කියලා කියන්නේ නෑනේ. මිනිස්සු අඬවන එක ලේසි.. ඇඟිල්ලෙන් ඇන්නාමත් අඩන්නේ.. ඒත් හිනාවෙලා ඉන්න එකයි හිනස්සන එකයි අඬන තරම් ලේසි නෑ... ඇඟේ තියෙන සියලු රෝග තුරන් වෙලා නිරෝගී වෙලා මහත් වෙනවා කියලා කියන්නේ මේ මෑතකදී නෙමේනේ..
හිනාව උනත් එක එක වර්ග තියෙනවනේ.. මහා හයියෙන් කෑ ගහලා හිනාවෙන්න පුළුවන්.. ලාවට හිනා වෙන්නත් පුළුවන්.. ඔය කාන්ත පාර්ශ්වය වගේ අතින් කට වහන් හිනා වෙන්නත් පුළුවන්.. අන්න ඒක නම් කවදාවත් කරන්න එපා.. ඔබේම හිනාවට ඔබේ අතින්ම කඩුලු බදින්න එපා.. ඔහේ නිදහසේ ගලාගෙන යන්න දෙන්න. ඒ වෙලාවට නිසැකවම ඔබට හිතේවි මල් පාට මල් හිනයක්දෝ ජිවිතේ කියලා.....?

රැස්වීමක් මැද, ප්‍රසිද්ධ වේදිකාවක මහා හයියෙන් හිනා වෙන එක අශිලාචාර වෙනවනේ. ඒ වගේම පාරේ මහා හයියෙන් හිනා වේවි ගියොත් උණවටුනට යන්නත් වේවි.. ඒක නිසා අවස්ථාව තේරුම් අරන් හිනාව වා තලයට මුසු කරන්න..

හැල්මේ දුවන ජිවිත වලට හිනාව ග්ලුකෝස් වගේ. එක පාරටම ශක්තියක් දැනේවි.. ඒත් ඒ හිනාව සමච්චලයෙන් තොර වුවක් නම් විතරයි..දහසක් දෙනා හමු වෙද්දී ඔබේ මුවින් ලෙන්ගතු මද සිනහවක් පහල වෙන්නේ නැති නම් ඒ ඔබේ අඩුවක්.. ඔබේ සිනාවට ඔහේ පා වෙලා යන්න දෙන්න. සුළඟ වගේ ගලා ගෙන යන්න දෙන්න. කව්රුවත් නවත්තන්න හදන්නෙත් නෑ.. කව්රුවත් එපා කියන්නෙත් නෑනේ... ඒ හිනාව ලොවක් සුවපත් කරවී.. 

දැන් කියන්න එපා හරි මම කාත් එක්කද හිනා වෙන්නේ කියලා..? මුලින්ම පවුලේ අය එක්ක හිනා වෙලා ඉන්න.. ඒ හිනාව මගතොටටත් බෙදන්න.. (ඒත් ඔය පැණි හිනාව දාන්න ගිහින් කාන්තාවන්ගෙන් හිංසනයන්ට ලක්වීම පිලිබඳ වග කියනු නොලැබේ.) ඔබේ මිතුරු මිතුරියන්ට.... අවසානයේ මුළු සමාජයටම...
ඔන්න ඕකට තමා සරල සිංහලෙන් මෛත්‍රිය කියන්නේ.. සිනහාවේ දෙවෙනි පියවර තමා මෛත්‍රිය...

මේ හිරිමල් වයසේ ඉන්න මටත් කොහෙන් ගියත් ආදරය ගැනත් ගෑවෙනවමනේ.. අමතක කරන්න එපා දියමන්තියක් සේම පාටින් දිලෙන මගේ හිතේ විතරක්ම නෙමේ ඔබේ හිතෙත් මිහිරි හැඟුමක් මවන සරල සුන්දර සංකීර්ණ භයානක සිතුවමක්නේ ආදරය කියන්නෙත්... 

ඔහේ අන්ද මන්ද වෙලා ඉන්න ඔරවා ගෙන බුම්ම ගෙන ඉන්න කෙනෙක් ගැන ආදරයක් හිතුනොත් මට හොඳටම විස්වාසයි ඒ මනුස්සයාගේ ආදර නහරයේ යම් කිසි රෝගකාරී තත්වයක් තියෙනවා කියල.. කසාද බදින්න හරි යාළුකමට හරි ආදරයක් හිතේවිද ඔය වගේ ඔරවන් ඉද්දි...? මට නම් එපා වෙනවා..(ඒත් ඉතින් මම එක්ක ඉන්න හැමෝම හිනා වෙලා ඉන්නේ...) ඒක නිසා හිනා වෙලාම ඉන්න(මට එපා වෙන නිසා නෙමේ, ලොවට එපා වෙන නිසා).

ලොවට පෙන්නේ නැති මහ රෑක අඬලා දුක වළලලා දාලා ඉර පායන මල් පිපෙන හැම උදේම ආදරය හිතෙන හිනාවකින් මුව සරසා ගෙන දොර අරින්න.. එහෙමත් නැතිනම් එලියට බහින්න.. සුවඳ විලවුන් දහසකටත් වඩා අලුත් විලාසිතා කෝටියකටත් වඩා ඔබට ආකර්ෂණිය බවක් ලෙන්ගතු කමක් ඒ හිනාව ගෙනේවි. 
 දත් නැති ආච්චිලගේ හිනාව සීදේවි නම් දත් නැති අත දරුවාගේ හිනාව සුරතල් නම් ඔබේ මුව කොහොම උනත් හදවත සමච්චලය කුණු කන්දල් පුළුස්සලා ලෙන්ගතුකම් දුම් දල්වලා නම් අනිවාර්යයෙන්ම සීදේවි කමත් සුරතල් කමත් අතර ඔබේ සිනාව දෝලනය වේවි.. ලෝකයට ආදරණිය බවක් එකතු කරන්න.. ඔබේ සිනහව තහනම් කරන්න කාටවත් බැරි වේවි..

"එන්න, හිනහෙන්න මා එක්ක මේ ජිවිතේ......."

Tuesday, September 11, 2012

ඔබ ඈ නොව... ඈ ඔබ නොව.....

කුස රජුන් සුරතින් ඇඹු          ලඳ
උකුල නෙරියද ලමැද මුදු       බඳ
මිහිරි වදනද නුරා            බැල්මද
 සනසවයි සිප ගනියි බිඳ        බිඳ

තණ්හාද රති රාග මන             දුවරු
තලා පොඩි කර නැතිව යන       තුරු
නිවන අරමුණු කරන           මුණිවරු
ලෙසට සිටියාලු ඇය දකින        තුරු  

අළු අතර වූ අඟුරු             හිනැහුණි
නිසසලව වූ සුළඟ දැඩි             වුණි
පුර පෝ දින අමාවක               වුණි
සිරිපතුල ළඟ මලක්             පරවුණි

කොමල මුදු බඳ දිරන මැසි ලෙස දුටිමි සිතුවෙමි බැහැර    කෙරුවෙමි
තමා තරමට නොගැලපෙන ලඳ සිතින් ඉරුවෙමි මකා          දැම්මෙමි
දිදුල දෙනෙතින් විසුල පිනිකට දිහා බැලුවෙමි මමත්          ඇන්දුවෙමි
ඉවත යනු මැන සුවති රන් බඳ යලි වැඩෙන්නෙමි  මම       නසන්නෙමි
  • නිකමෙක් කියලා කිව්වා උනාට මොන පිස්සුද නිකමෙක් නෙමේ. මේ සුදා මල්ලිට වඩා වටිනා කියන මනුස්සයෙක්.. ලංකාවට ආඩම්බරයක් ගෙනාපු කොල්ලෙක්. කවුද කියලා නම් අහන්න එපා.
  • පොඩි ඉඟියක් දෙන්නම්.. හොඳට ඉගෙන ගන්න පුළුවන් බුද්ධාගමට ලැදි වරක් ලංකාවම ගොඩක් අය කතා කරපු චරිතයක්
  • තමාගේ බ්ලොග් එකේ ලියල දන්නා කම්මැලි නිසා බලෙන්ම වගේ බොහොම අමාරුවෙන් ඉල්ලගෙන දාන්නේ
  • කොහොම උනත් මලයෝ ලියන එක නම් අත අරින්න එපා.

Saturday, September 8, 2012

මග සැදුවේ ඔබයි සොඳිනේ...........

ලෝකයේ තියෙන එක එක රස්සා අතරේ වර්තමානයයි අනාගතයයි අතර සන්ධිය එහෙමත් නැතිනම් ලෝකෙයේ තියෙන උත්තරීතරම රස්සාව තමන්ගේ රස්සාව විදියට තෝර ගත්ත කාන්තාවක් ගැන පොඩි සටහනක් තිබ්බොත් හොඳයි කියල හිතුණා.

මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ගුරුවරියක් වෙන්න ඉගෙන ගෙන 1975 නෙළුව මහා විද්‍යාලයට ආවා. මහා ලොකු උපාධි කුට්ටම් නෑ.සාමාන්‍ය අභ්‍යසලාභී ගුරුවරියක්.. රස්සාවක් කරන්න ආවේ. "නෑ.. මම සේවයක් කරන්න පුළුවන් නිසයි ආවේ" කියලා බොරු කියන්න ඕනේ නෑනේ. එදා ඉඳන්ම අවුරුදු  33 ක් නෙළුව මහා විද්‍යාලයට.... නෙළුව මධ්‍ය මහා විද්‍යාලයට විතරක් නෙමේ නෙළුව ජාතික පාසලටත් තමන් ඉගෙන ගනිපු දේ බෙදල දෙන්න මහන්සි උණා. මේ ඒ ගුරු අම්මා මාත් එක්ක කියපු කතා ටිකක්..


" ඉස්සර සමස්ත ලංකා කියල තරඟ තිබුනේ නෑ. කලාප තරඟ තිබ්බම ඉවරයි. මට මතකයි ඉස්සර ඔය නන්දනී අජන්තා විජිතල එක්ක උඩුගම තිබුණ තරඟ වලට ගිහින් කලාප ශුරතාවය අරන් එනවා. ඉස්සර කොහෙද ක්‍රීඩා ගුරුවරු.... අපි අපිම තමා ඒවා පුරුදු කලෙත්. මට ඉන්න බෑ දරුවෝ මගේ ළමයි දුවලා එක අරන් එනවා බලන්න. මගේ කකුල් වෙව්ලනවා. ඇඟ ගැහෙනවා.. ...... ඊට පස්සේ මට ඇහෙනවා කවුරුදෝ මයික් එකකින් කෑ ගහනවා. "අන්න අර මිස් අල්ල ගන්න... ළමයි එක්ක දුවන්න දෙන්න එපා" කියල.. එතකොට ඉතින් මගේ පොඩි එකා එක අරන් ඉවරයි. මිනිස්සු හිතන්න ඇති මට පිස්සු කියල. මට මොකද..? මගේ පොඩි උන් එක අර ගත්තට පස්සේ ඊට වඩා මොකද්ද..?  ඒ දරුවොත් කැමති එහෙම කරනවට. මම ඉතින් ගිහිල්ල දුවලා එන පොඩි එකාව අල්ල ගන්නවා.. උන්ට රටක් රාජ්ජයක් දිනුව වගේ..

ඕව විතරක් නෙමේ.. මල ගෙදරදී හම්බුනා අනුලා දූ මතකද.. දුවන්න ගත්තම නිකන් මැසිම වගේ.. එක අරගෙනම තමා නවතින්නේ. ඒත් ඉතින් වැරදිලාවත් දෙක උනොත් එතනම වැටෙනවා..(ඇය සිනාසෙයි) ඔය ඔපිස් එකේ
මහ ලොකුවට දැන් කබඩ් පුරවලා තියෙන ඔක්කොම ශුරතා පළිහ අරන් ආවේ අපි. පොඩි ට්‍රක් කෑල්ලක් හොයාගෙන සින්දු කියා කියා එනවා. ඉස්සර මගේ බෑග් එක ඉස්කෝලේ ඔපිසිය වගේ. ඔක්කොම තරඟ වලට යන ළමයිගේ පොටෝ කෑලි උප්පැන සහතික මම ගාව.  අනේ දරුවෝ අපි ඒ කාලේ කරපු ඒවා...

ඒ දවස් වල අනධ්‍යන කාර්ය මණ්ඩල නෑ. අපිට තාම ඒවා කරන්න උණෙත්. පහසුකම් ගාස්තු ගෙවපු ඒවයි සල්ලි ඔක්කොම බිල් සේරම මම ගාව. ඒත් කිසිම දවසක සතපහක්වත් අඩු වෙලා නෑ. මම ඒ ඉස්කෝලෙට යද්දී මම තමා හිටිය පොඩිම ගුරුවරයා. ළමයි අතර උනත් මහා ලොකු වයස් පරතරයක් තිබුනේ නෑ. හැමෝම මට ආදරෙයි. ගෑනු ළමයි මම එනකන් බලාගෙන ඉන්නේ. ආපු වෙලාවේ ඉඳන් ඇගේ එති එතී කතා කරනවා.  ඒ දරුවොන්ට උදව් ඕනේ හැම වෙලාවකම මාව හොයා ගෙන ආවා. පුදුම විස්වාසයක් තිබ්බේ. ගමේ මිනිස්සු පවා සැලකුවා. දිස් මිස් අනම් මනම් දැන් කාලේ වගේ නෙමේ. ඉස්කෝලේ හාමිනේ කියල කට පුරවලා කිව්වා. ඒවා කාලේ එක්ක වෙනස් වෙනවා.  අපි දරුවෝ වැඩිහිටියෝ... ගුරුවරු... අපි බබාලා වෙලා බෑ.  ළමයි තාම නොදරුවෝ. දරුවොන්ගේ පැත්තෙන් හිතලා තීරණ ගන්න ඕනේ. අපිට වඩා හොඳ අනාගතයක් හදලා දෙන්න ඕනේ. නැතිනම් මේ පඩියෙන් අපිට පව් පිරෙනවා විතරයි පුතේ.. කාලෙත් එක්ක අපි දරුවෝ එක්ක ඉන්න ඕනේ. ඉස්සර වගේ නෙමේ.. වැරදුනොත් හද ගන්න ඉඩක් නෑ දැන් " 

මිස් කියපුවා ඇතිනේ.. මේ සුදා මල්ලි මිස් ගැන කියන ඒවා.....

" දැන් කට්ටියටම හිතෙනවා ඇති නේද මෙයා හරිම අහිංසක අර පොත් වල ඉන්න ගුරුවරියක් වගේ වෙන්න ඇති කියලා.. මොන පිස්සුද...? මට මතක විදියට මම 7 වසරේ.. මිස් හිටියේ අපේ පන්තියේ උගන්න උගන්න. අපි හිටියේ දොරවල් තිබුණ පන්ති කාමර වල... එහා පන්තියේ ළමයි ඔක්කොම එළියේ.. මිසුත් කෑ ගහන්න එපා කියලා විතරයි කිව්වේ. එක පාරටම එහා පන්තියේ නලින් පන්තිය ඇතුළට කෙල්ලෙකුයි කොල්ලෙකුයි දාලා දොර වැහුවා. එක පාරටම මොකක් උනාද මන්ද.. මිස් හිටියේ එහා පන්තියේ. මිස්ගේ අත පෙන්නේ නෑ. නලින් ඇඹරෙනවා. ඇත්තමයි මම ජීවිතේට එහෙම ගැහිල්ලක් නම් දැකල නෑ. මටත් පුදුම ඒක එච්චර ලොකු වරදක්ද කියලා. පස්සේ තමා තේරුණේ.. මිස් පන්තියෙන් යද්දී කියල ගියා. "මටත් දරුවෝ දුකයි. අර ගහපු පාරට මගෙයි අතයි හිතයි දෙකම රිදෙනවා..  අපි ගහන්නේ වෙන මොකවත් නිසා නෙමේ... ලොකු මහත්තයෙක් නොවුනත් හොඳ මහත්තයෙක් හදන්නයි ඕනේ නිසයි"..  මම දැක්ක නලින් මිස්ට රවනවා.. අපිට උනත් ඕක පුදුමයක් නෙමේ. අපි උනත් එහෙමනේ. ඒත් අද නලින් පාරේ හම්බුනාම මිස් කියල කතා කරලා යනවා මම දැකල තියෙනවා.


මිස්ලගේ ගෙදර තිබුනේ නෙළුව ග්‍රාමීය ඉස්පිරිතාලේ ගාව. ඒක නිසාද මන්ද...? ළමයෙක් ලෙඩ උණා ගමන් මිස් ගාවට එවනවා.. සමහර ගුරුවරුත් එහෙම යන්න කියලා ශේප් උණා. ඒත් ළමයි අතරේ පුදුම විස්වාසයක් තිබුණා. ලෙඩක් උණාම හොඳම විසදුම තියෙන්නේ සෝමා මිස් ගාව කියලා.

අපේ ඉස්කොලේට හම්බුණා ලොකුම නැතත් වටිනා කියන මේන් හෝල් එකක්. ගොඩනැගිල්ල විතරයි හම්බුණේ. මතකයි සෝම මිස්ලා කුසුම් මිස්ලා පියසීලි මිස්ලා එක්ක අලුත් ගුරුවරු වුණ සාලිය සර් නයනකාන්ති මිස් නිශා මිස්ලා ඕකට කර්ටන් දන්නා මහන්සි උණ තරම. ඒ කර්ටන් තමා තාම තියෙන්නේ... ඒ කර්ටන් දාලා තිබුණ මුල්ම කොන්සර්ට් එකේ මමත් නැටුවා..

එක දවසක් මිස් මළ ගෙදරකට ආවා.  ආවා විතරයි මළ ගෙදර හිටිය ගොඩක් මැදිවියේ ගොඩක් අය නැගිට්ටා. පස්සේ තමා ඇය කිව්වේ ඒ මගේ ගෝලයෝ කියලා. ඒ ගෝලයෝන්ගේ ගුරු ගෞරවය එදා විදියටම අදත්..  සමහර ගෝලයෝ හම්බෙනවා හතර ගාතෙන් යන්න බීලා. කෙලින් ඉන්න පණ නෑ. අවුරුදු 40 ක් 50
ක් විතර වෙන පිරිමි.. මතකද අපි වැරද්දක් කරලා අම්මා එද්දී ශේප් වෙලා යනවා.. අන්න  ඒවගේ මේ මිනිස්සුත් මිස් දැක්කම ලිස්සලා යනවා.. මිසුත් මුකුත් නොකියා යනවා. සමහර ගෝලයෝ බීලා හම්බුණාම කියනවා. "අනේ මිස් සමාවෙන්න ඕනේ.. ආයේ බොන්නේ නෑ" කියලා වැඳලා යනවා. ඒත් මිස් හිනා වෙලා බොන්න එපා කියන්නේ නෑ. "පරිස්සම් වෙන්න දරුවෝ" කියලා විතරයි කියන්නේ..

මේ අන්තිම පොඩ්ඩ.. හැම ඉස්කෝලෙම ඉන්නවනේ උසස් පෙළ පන්තියේ චණ්ඩියෝ ටිකක්. අපේ ඉස්කෝලෙත් හිටියා. මොකක් හරි වලියක් ගිහිපු වෙලාවක ඕක බේරන්න මහත හැඩි දැඩි කියල හිතන් ඉන්න ගුරුවරයෙක්(අයියා සර් කෙනෙක්) ඉදිරිපත් උණා. අර අයියා ඉතින් හිච්චි කෙට්ටු එකෙක් හොඳේ.. දැන් අර සර් ප්‍රශ්නේ ගැන කතා කරද්දී අර අයියාට මළ පැනල වැඩිකමට උඋගේ විරුද්ධවාදියට ඌ මූ  කියලා කියවෙනවා. පොඩ්ඩක් නිවෙන්න දීලා ප්‍රශ්නේ විසදෙව්වා නම් හරිනේ. ඊට පස්සේ අර මහත සර් අර අයියගේ කොලර් එකෙන් අල්ල ගෙන "උඹට කතා කරන්න උගන්නන්න ඕනේ" කිව්වා.. අර අයියා කෙට්ටු වැඩි කමට අයියා කෙසේ වෙතත් සර්ව නම් ඉස්සුණා.. අර මිස්(ඔය වෙද්දී පෙන්ෂන් ගන්න අවුරුදු 3ක් වගේ විතර තිබුනේ) දුව ගෙන ආවා. පුතේ අපි යමු කියලා අයියාගේ අතින් අල්ල ගත්තා. මොන්ටිසෝරියට අරන් යන පොඩි එකෙක් වගේ අර අයියත් මිස්ගේ අතේ එල්ලිලාම ආවා. ඉස්කෝලෙන් එළියේ හිටිය විස්තරේ දැනන් ඉස්කෝලේ ගාවට දුවන් ආපු අම්මට බාර දුන්නා.. ඒ අයිය දැන් කැලණිය කැම්පස් එකේ. කොහේදී දැක්කත් දුවගෙන ඇවිත් කතා කරලා යනවා...



හොඳට ඉගෙන ගනිපු සමහර ගෝලයෝ නම් මිස් දැක්කම වැඳලා කරලා යනවා.. ඒත් සමහර අය නම් මිස් දැක්කම නොදැක්කා වගේ යනවා..  ඇය ඉතින් මුකුත් කියන්නේ නැතුව, "අර මගේ ගෝලයෙක්.." කියල විතරක් කියනවා. ඉස්කෝලෙන් විශ්‍රාම ගනිද්දී උපහාර උත්සව මුකුත් නැතුව එළියට ආවා. ගෙදරට ගෙනත් දීපු තෑගි බෝග බාර ගත්තා.. එතුමිය අහන්නේ... "මට මොකටද උපහාර.. මම කලේ රස්සාවනේ" කියලා.. කෝ අපිට ඕවට උත්තර... එතුමිය කොච්චර උගන්නන ආසද කිව්වොත් ඉස්කෝලේ යන්න බැරි වෙද්දී ලෙඩ වැඩි උණා. දැන් එතුමිය නොමිලේ සිංහල පන්තියක් කරනවා.. මිස් එකෙන් පුදුම සතුටක් විඳිනවා කියල හිතුණා. මැරුණමත් මෙඩිකල් කොලේජ් එකකට බොඩි එක්ක දෙන්න කියලා කියන්නේ.. "මොකද එතකොට මම මැරිලත් උගන්න්න්නවන......" "

හිතුණා නේද මෙච්චර දේවල් ඒ මිස් ගැන දන්නේ කොහොමද කියලා....
 

වාසනාවට මම ඒ මිස්ගේ පුතා
(අම්ම ගැන වර්ණනාවක් නෙමේ කලේ.. මමත් ඉගෙන ගෙන තියෙනවා.. ගුටි කලත් තියෙනවා.. ඉස්කෝලෙදි මිස් කියලා කතා කිරීම අනිවාර්ය කරලා තිබුණා. ඒත් ගෙදරදී එක අකුරක් වැඩිපුර ඉගැන්නුවේ නෑ. සාමන්‍ය පෙළ සිංහල දවසට කලින් රෑ කියනවා.. දැන් මොකවත් කරන්න වෙලාව මදි.. ගිහින් ලියලා එන්න කියලා.. අනිත් ළමයි විදියටම තමා සැලකුවේ.. වරප්‍රසාදයකට හම්බුනේ ගුරු පාර්ටි වලදී බත් පැකට් එකක් විතරයි.. ගොඩක් අය ඇය ගැන කියපු දේවල් එකතු කලොත් හොඳයි කියල හිතුණා ඒකයි... )

අමතක කරන්නේ කොහොමද මගේ හොඳම යාළුවා.. ඔව් මදනායක තමා.. එයාගේ අම්මා විතරක් නෙමේ මගේ සමාජ අධ්‍යයනය ගුරුතුමා, ගණිතය උගන්නපු විද්‍යා පීඨ ගුරුතුමිය ඇතුළු මට උගන්නපු ගුරුවරු 60% ක්ම අපේ අම්මගේ ගෝලයෝ... අවුලකට තිබුනනේ ඔක්කොම කේලම් ටික ගිහින් කනේ තියන එක තමා.. 


මෙන්න මෙතනින් ගිහින් "මග හොඳට තියේ: කියන සින්දුව හොයලා අහල බලන්න

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...