මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Wednesday, August 8, 2012

සිහිනයකි මට ජිවිතේ................


                        
මේ සිතුවිල්ලට නමක් දාන එක තමා සුදාට තිබුණ ලොකුම අමාරුව. මොකද සුදාගේ සිතුවිල්ලේ නම අනිවා සින්දුවක පේලියක්. එක්කෝ කෙලින්ම නැතිනම් සුට්ටක් වෙනස් කරලා. ජිවිතේ සුදාට ලැබුණු නොලැබුණු දහසක් දේ එක්ක පුංචි අත්මානු
කම්පාවක් පා කරලා සුදා ලොකු බරකින් නිදහස් වෙන්න හිතුවා.

සුදාත් අනිත් උන් වගේම තමා.. පොඩි කාලේ ඕන ලොක්කෙක් ඇහුවම

"පොඩ්ඩෝ, ලොකු වෙලා කවුරු වෙන්නද කැමති...?"
කියල සුදා දුන්නේ එකම එක උත්තරයක් ඒ
"දොත්තර කෙනෙක් වෙන්න"
මතක ඇති කාලේ ඉඳන් ඔය උත්තරේ දුන්නට දැන් පහත් තත්වෙට වැටිලා තියෙන උසස් පෙළට සුදා කලේ මැත්ස්.. ලංකාවේ මැත්ස් කරලා දොස්තර වෙන්න බැරි උණාට වෙන තැන් වල පුළුවන් හොඳේ.
මාත් සුපුරුදු විදියටම ඒත් වෙනසක් එක්ක සිස්සත්තෙට ලිව්වා. නෙළුවේ මට මතක ඇති කලේ පොඩි අයට තිබුණ එකම ඉංග්‍රීසි පන්තිය පාලිත සර්ගේ. ඒක නම් හරි ශෝක් පන්තියක්. ඇත්තටම අද කතා කරන එක ඉංග්‍රීසි වචනයක් ගානේ සර්ට පින් ලැබෙනවා. ඒකට විතරයි පොඩි කාලේ ගියේ. මාලනී ටීචර් ඉස්කෝලේදී උගන්න දේට වඩා බරක් පටවන්න අම්මලා කැමති උනේ නෑ. ඒකට හේතුව මට බර පැටවිමද..? හුරතලේට හදපු සුදාව විභාගේ පාස් උනොත් ගෙදරින් පිට කරලා එවන්න තිබුණ ලෝබ කමද කියල මට අදටත් ප්‍රශ්නයක්.

කොහොම උනත් සුදා ෆේල්. 132 න් පාස් කලේ. ඒත් සුදාට සිද්ධ උණා 124 ක් අරන් පැත්තකට වෙන්න. විභාගෙට වැඩි උනන්දුවක් නොදක්වපු අම්මලට ඒක ප්‍රශ්නයක් නොවුනත් සුදා ගැන බලාපොරොත්තු තියන් හිටි මාලනී ටීචර් සුදාට වඩා ඇඩුවා කියලා නම් සුදාට හොඳට මතකයි. කාංචන, නිර්මාණි, ඊශානි, සන්දීපා, ධනුෂ්ක, ප්‍රිමාල්, උපමාලි, අමාලි, එසිත ඔය තමා 2001 අවුරුද්දේ අපේ ඉස්කෝලෙන් පාස් උන අය. කාංචන කොළඹ ආනන්දෙට, නිර්මාණි සවුත්ලන්ඩ්ස් බාලිකාවට, ඊශානි සන්දීපා ගාල්ලේ රිපන් බාලිකාවට, උපමාලි මතුගම කන්නන්ගර විද්‍යාලයට, අමාලි බද්දේගම ක්‍රිස්තුදේව බාලිකාවට, එසිත පානදුර සුමංගලයටත් බෙදිලා ගියා. ධනුෂ්කයි ප්‍රිමලුයි අපිත් එක්ක නැවතුණා. කොහොම බෙදිලා ගියත් ඔය අය එදා වගේම අදටත් කතා කරනවා. සුදාට ඔය සෙට් එක මතක් උනේ ලඟදි ගාල්ලේ තිබුන පිකටින් එකකදී අවුරුදු 11 කට පස්සේ අමාලි හම්බුණ නිසා. දැන් රිච්මන්ඩ් විද්‍යාලයේ සේවය කරන මාලනී ටීචර් හම්බෙලා වැඳලා එන්න ගියාම ඔය පාස් උණ 9 දෙන ගැනම අහලා ඇස් වල කඳුළු පුරවාගෙන

"බුදු සරණයි පුතේ"
කියලා කියද්දී නම් ඇත්තමයි වවන්නේ නෑ. එහෙම ගුරු දෙවිවරු අඩුයි. මිස්ට අපි හැමදාම ණයයි රටක් වටිනා ළමයි ටිකක් හැදුවට...? ;)

කොහොමින් කොහොම හරි කාලය ගෙවුණා. සුදාගේ සෙට් එක අලුත් උණා. දිලිප්(වෙන පාසලක.. ඒත් ඉතින් අපේ වගේ තමා) ප්‍රිමාල්, දිහාන් එක්ක සාමාන්‍ය පෙළ කලා. හිමිජ්ජා වගේ හිටියට ආතල් ගොඩයි. කොහොම හරි සංගීත නැටුම් දැනුම මිනුම අනම් මනම් ගොඩක් එක්ක අවුරුදු ගාණක් ගත උණා. පන්තිත් ගියා. චාටර්නුත් උණා. බ්‍රියිට්නුත් උණා. ඔය ඔක්කොම එක්ක විභාගත් කලා. සංගීතේ කොච්චර කලාද කිව්වොත් ඒ ඉස්කෝලෙම ගුරුවරියක් උණ සුදාගේ අම්මා එනවා පීරියඩ් එකෙන් එකට මු පන්තියේ ඉන්නවද බලන්න. නැතිනම් ආයේ වෙන කොහෙවත් හොයන්න කරන්න දෙයක් නෑ. දුවගෙන එනවා සංගීත කාමරේට. උඩ තට්ටුවක තිබුණ සංගීත කාමරේට හැමදේම පේන නිසා එන තාලෙන් වැඩෙත් දන්නා නිසා ශේප් එකේ පහලට බහිනවා.

"කොහෙද යන්නේ.. ෆේල් වෙන්නද හදන්නේ.. මම ගහනවා දවසක ඔය වයලින් එක කෑලි කැඩෙන්න. යනවා පන්තියට."
පුදුමේ කියන්නේ ඔය වයලින් එක තාම ගෙදර යහතින්. කොහොමින් කොහොමහරි විභාගේ කරලා ගාලු ආවා මැත්ස් කරන්න. මොන හේතුවකට මැත්ස් කරාද කියල නම් මම දන්නේ නෑ. ඒත් බයෝ නොකළේ නම් ඉස්සර පන්තිවල දෙන රූප සටහන් ගෙදර ඇවිත් චිත්‍ර වගේ අදිද්දී අම්ම කිව්වා
"පොඩ්ඩෝ බයෝ නම් කරන්න එපා"
කියලා. මොන හේතුවකට අනිත් අංශ දෙක අත ඇරලා මැත්ස් කලාද කියල නම් මගෙන් අහන්න එපා.

අප්‍රේල් මාසේ 9 වගේ මතක. 2007 සාමාන්‍ය පෙළ ප්‍රතිපල නිකුත් කලා. තුන්පාරක් නෙමේ. හරියට එක පාරක්. A 9 B 1 ක් එක්ක ඉස්කෝලේ හොඳම ප්‍රතිපල.. මම විතරක් නෙමේ ඔය ප්‍රතිපල තිබුණා තවත් ගැණු ළමයෙක් හිටියා නිලංකා කියල. එයා නම් බයෝ කරන්න මාතර ගියා.


සැ. යු- උසස් පෙළ රස කතා, විශ්ලේෂණ, නිගමන, සිතුවිලි අවුරුද්දකින් දෙකකින් බලාපොරොත්තු වන්න. මක්නිසාද යත් තවමත් අදාල පුද්ගලයින් සුදා සමගම පුර්ව සරසවි පෙළපාලි වලට එක්වන බැවිනි . ඒවා ගැන පස්සේ හිමිට කියන්නම් හොඳේ


දැන් ඔන්න 2008-2011 පාස් කලා. මේ ඊට පස්සේ හා පොඩ්ඩක් ඊට කලින්


සුදු කෝට්..... කළු කෝට්..... දැන් කියන්න එපා මොකෝ නැවැත්තුවේ.. තව දුඹුරු කෝට්... ඕවර් කෝට් තියෙනෝනේ කියලා. මේකයි රස්සා එක්ක කෝට් ගෑවෙනවා නම් ඒ සුදු කොට්නුයි කළු කොට්නුයි විතරයි. කළු කෝට් නීතිඥයෝ අධ්‍යක්ෂකවරු ඉඳන් එකී මෙකි නොකී බොහෝ අය අඳිද්දී සුදු කෝට් අඳින්නේ කිහිප දෙනෙක් විතරයි. මේ මොකද්ද බොලේ මුට උණේ කියලා හිතෙනවා නේද පොඩ්ඩක් ඉන්න. ඊට පස්සේ සුදු කෝට්. දොස්තරවරු, පිරිමි හෙදවරු, රසායනාගාර වල වැඩ කරන අය හා විදුහල්පතිවරු වගේ බොහොම සීමිත පිරිසක් විතරයි සුදු කෝට් අඳින්නේ..

හෙදියක් උණ සුදාගේ අක්කා ගේන පොත් වල ෆොටෝ වල තියෙන රූප එක්ක මෙඩිකල් ෆැකල්ටියේ ඉන්න චුටි අයියා කියන කතා එක්ක දොස්තර සුදු කෝට් සිහිනය සුදාට අප්ප්රියාවක් උණා. ඇත්තමයි ජීවිතේට දොස්තර කෙනෙක් වෙන්න නෑ කියලා නම් සුදා හිතුවේ මේ ලඟදි. ඒත් පත්තරේ බලන්න කණ්නාඩි දාන දුර පේන අම්මා එදා බයෝ නම් කරන්න එපා කිව්ව එක ගැන නම් මාර සතුටුයි. ප්‍රින්සිපල් කෙනෙක් වෙන එක බාරධුර වැඩි නිසා ඒකත් පොඩ්ඩක් පැත්තකින් තිබ්බා. අපොයි.. 2011 ප්‍රතිපල ආවා විතරයි අක්කා නිතිය දැමමා.
"නර්සින් එහෙම නම් කරන්න හිතන්න එපා.. තුවාල වලට අකැමති මිනිහා නර්සින් කරලා අල කන්නද හලෝ. :P "

හ්ම්ම් අන්තිමට ඉතුරු උණේ සුදු කෝට් රසායනාගාර වල වැඩ කරන කෙනෙක් වෙන එක විතරයි. හැබැයි... ඕකේ උනේ අනික් පැත්ත. ගාල්ලේ ඉන්න හොඳම දක්ෂම රසායන විද්‍යාව පරිපාලන දැනුම අතින් අග්‍ර ස්ථානයේ ඉන්න මහින්දෙ පොන්නම්පෙරුම මිස්ව කවුරුත් දන්නවා ඇතිනේ.. මමත් මිස්ගේ පන්තියට ටික කාලයක් ගියා. මම රසායන විද්‍යාවට පොඩි හෝ ආසාවක් ඇති උණේ මිස් නිසයි. මිස්ගේ කතා නිසයි. මිස් කියන මහාචාර්ය ආරියරත්නගේ ජනිතා ලියනගේගේ කතා රසායන විද්‍යාව ගැන සුදාට ලොකු හීන මැව්වා. ඒක දැන් ආසාවට වඩා එහා ගිහින්. ඒ ආසාව නිසාම අන්තිමට සුදු කෝට් එකක් ගැන සුදාට හීනෙ සැබෑ වෙනවා වගේ පෙන්න ගත්තා. සුදාගේ හීනේ තිබුණ කොළඹ විශ්ව විද්‍යාලය හීනෙන් දුරස් උණත් ඒ ලඟම තිබුන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය එක්ක සුදා ගොඩක් හීන මැව්වා. කොහොම උනත් ඒ හීන හීනයක්ම වේවිද කියලා සුදාවත් දන්නේ නෑ.. රසායන විද්‍යාව හීනය සැබෑ උණොත් ඒ සුදාගේ ජිවිතේ වැඩියෙන්ම සතුටු උණ දවස වේවි.. සාමාන්‍ය පෙළ ප්‍රතිපල සතුටක් ගෙනවා. උසස් පෙළ ප්‍රතිපල දුකක් ගෙනවා.. දාහක් දෙනා දාහක් දේවල් කියද්දී තමන්ගේ හිතු මනාපෙට පිසිකල්ම යන්න උවමනාව නිසා වෙන මෙලෝ දෙකට ඇප්ලයි නොකරන කොට හුඟක් අය බනිද්දි ඒ ගැන තාමත් මුකුත් නොකිය ඉන්න සුදාගේ අම්ම තාත්තගේ මුනිවත, ඒ අයගේ හීන ගොඩක් දේවල් සුදාට කියනවා. අනේ මන්ද බලමුකෝ..


ජිවිතේ නැති උණ ලොකුම දේ මොකද්ද කියල සුදාගෙන් ඇහුවොත් දෙන්න තියෙන එකම උත්තරේ තමා ඉන්දීය ස්කොලර්ෂිප් එක. පත්තර වලින් දැකලා ඉන්ටනෙට් එකෙන් සර්ච් කරලා ඔක්කොම විස්තර හොයා ගත්තත් කරුමෙටම උණ පොඩි අතපසු වීමකින් ඒකට ඇප්ලයි නොකරපු දුක අද සුදා විඳවනවා. අල්ලපු අත්තත් කැඩිලා පයගහන්න තිබුණු අත්ත පෙනී පෙනී දුරස් උණ එක ගැන දහස් වාරයක් කම්පා වෙනවා. කොහොම උණත් ස්කොලර්ෂිප් පාස් උණ පැතුම්ටයි මදුසර මල්ලිටයි හදවතින්ම සුභ පතනවා. ඒත් මටත් මේකට ඇප්ලයි කරන්න තිබුණා. මම ඒ අවස්ථාව මග ඇරියා කියලා දුකකුත් හිතේ කොනක නැතුවම නෙමේ.. කොහොම උනත් දැකපු හීන සැබෑ කර ගන්න ලැජ්ජාව පැත්තකින් තියන්න දැන් නම් සුදාගේ ලාමක හිත හැදිලා ඉවරයි

10 comments:

  1. අඩේ ඔය සිස්සත්තෙම තමා මමත් කලේ..
    ඇඩෙන ප්‍රශ්ණනේ තිබ්බේ..
    ගොලුබෙල්ලංගෙ බිත්තර වල පාටයි අනං මනං..
    ඒත් කෝම හරි කොල්ලා පාස්..
    ඒ ලෙවල් තමා හුටා පටස් උනේ.. (එවුවටත් හේතු ඇත.)

    ReplyDelete
    Replies
    1. ඔහේ කෙල්ලෙක් පස්සේ දිව්වා නේ.. :P

      Delete
  2. හ්ම්ම්ම්.. අවුලක් නෑ.. අද නැතත් තව හෙටක් තියෙනවනේ..විභග කියන්නේ ජීවිතේම නෙවෙයි.. ජය වේවා.. :)

    ReplyDelete
    Replies
    1. "පමණක් නෙවෙයි අපිට හෙටක් තියෙනවා" නේද රතු හැට්ටකාරී
      ඒත් ඉතින්.... අනේ මන්ද..?

      Delete
  3. කොහොම නමුත් පසුතැවෙන්න වෙන දේවල් ඉදිරියටවත් නොකර ඉන්න හිතට ගත්තා නම් ඉවරයිනේ...

    ReplyDelete
    Replies
    1. හැමදාම එහෙම හිතුවත් හැමදාම වෙන්නේ ඕකමනේ :(

      Delete
  4. මමත් පොඩි කාලේ ඉදලම හිතන් හිටියේ දොස්තර කෙනෙක් වෙන්න. ඒත් A/L වලට තොරගත්තේ Art. බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා. කොහොම වුනත් අපිට ඕන විදිහට හැම දේම වෙන්නේ නැහැනේ. එන ඕනම දේකට අපි ඔට්ටු වෙන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. මමත් බැලුවේ ඒක තමා.. එන දෙකට මුණ දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..
      මේ පැත්තට ආවට බොහොම ස්තුතියි හිරු.

      Delete
  5. උඹ සිස්සත්තෙ කලේ 2001 ද ? අනේ සූටි කොලුවෙක්නෙ... සිරා උ/පෙ ලිව්වෙ 2001

    අපි සිස්සත්තෙට ලියපු 1992 අවුරුද්දෙ අපේ පන්තියෙ හිටියා එකතු කිරීම අඩු කිරීමවත් හරියට කර ගන්න බැරි ළමයෙක් අසංක කියලා... මේකාට පුදුම දාංගලයක් තිබුනෙ... ගුරුවරු කවුරුත් ඌ ගැන බැලුවෙම නෑ... හැම වෙලේම කොන් උනා... සිරා ඉතිං සිස්සත්තෙ පාස් වෙලා නගරයේ උසස් පාසලට ගියා.. අසංකව මග ඇරුනා...

    ආයෙත් හම්බවුනේ උසස් පෙළ කරන කාලෙ, අසංක අ.පො.ස සා/පෙ යන්තම් ගොඩ වෙලා ගණිතයට S එකක් එක්ක... උ.පෙ කලෙත් ගණිතයෙන්... පළමු වාරෙ අසාර්ථකයි... දෙවැනි වර කරනකොට මට ආයෙත් හමු වුනා... ඒ වෙද්දි මිනිහා අමුතුම චරිතයක්... හරිම නිෂ්ශබ්දයි... අඩුවෙන් කථාව... දෙවැනි වර ප්‍ර‍තිඵල ආපුවාම ගම්පහ දිස්ත්‍රික්කයෙන් 28 වෙනියා විදියට පාස් වෙලා මොරටුව කැම්පස් එකට ගියා... අද ඔහු අතිදක්ෂ ඉංජිනේරුවෙක්. අපේ සිස්සත්ත පන්තියෙ පරණ වුන්ට අසංකයා ඉංජිනේරුවෙක් කිව්වට එකසැරේ පිළිගන්නෙත් නෑ...

    මේ කථාව මම කිව්වෙ උදාහරණයකට... තමන්ට ලැබුනෙ නැති දේ ගැන තැවෙන්නෙ නැතිව උත්සාහයෙන් වැඩ කරන්න කියන පණිවිඩේ දෙන්න...

    තෝමස් අල්වා එඩිසන් විදුල් බල්බය නිපදවන විට වැරදුන වාර ගණන දහසකටත් වැඩියි... ඒ හැම විටම ඔහු විදුලි බල්බය දල්වන්න නොකල යුතු දෙයක් ඉගෙනගත්තා... අන්තිමේ ඔහු ජයගත්තා... ඔහු ලද පරාජයන් හමුවේ සැලුනා නම් මේ ජයග්‍ර‍හණය ලබා ගන්න බෑ... ඒ නිසා ධෛර්යයෙන් ඉදිරිය දිහා බලන්න... වඩා සුභවාදීව...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත අයියේ.. අයියේ කිව්වට කමක් නැද්ද මන්ද..? අවුරුදු 8ක්ම වැඩිමල් නේ.
      කොහොම උනත් මේ වැරදීම් වලින් ඉගෙන ගනිපු පාඩම් ගොඩයි..
      මොනවා උනත් මට වැරදුණා.. ඒත් ඒ වැරදුනු තැන ඉඳන් ඉස්සරහට යන්නයි බලාපොරොත්තුව.. මගේ බ්ලොග් ඒකෙ මුල්ම ලොකුම comment එක අයිය ගෙන්.. කවුරු ආවත් නැතත් ලියනවා කියලා ලිව්වට comment එකක් දැක්කම මාර හැපී.. මේ පැත්තට ආවට ගොඩක් ස්තුතියි අයියේ..

      Delete

මේ ඒක නෙමේ තාමත් මට අත දුන්නේ නැතිනම් ෆොලෝ පාරකුත් දනවකෝ ඈ...
ආවාම කියෙව්වාම අහක බලන් යන්නේ නැතුව හිතට ආපු දේ කහටක් නැතුව කොටලම ගියා නම්
"ඔහෙලගේ හිතටත් නිදහසක්..........
....................මගේ හිතට ශක්තියක්" මොකෝ අමාරු දෙයක්යැ..
දාමු දාමු comment එකක් දාලම යමු

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...