මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Sunday, September 16, 2012

තව හිනහෙන්නම් දැන් කවුද මට ආදරේ...?



"මට ආසයි හිනැහෙන්න මුළු ජිවිතේ"

............................................කියල කිව්වට අපි හැමෝම දන්නවා, හැමදාම එක වාගේ නැති ජිවිතේ හැමදාම එක වාගේ හිනා වෙලා ඉන්නවා කියන්නේ ලෝකේ තියෙන අමාරුම දෙයක්.. 


ඒත් කව්රුදෝ කියනවා වගේ මතකයි නොමිලේ දිය හැකි එකම වස්තුවට ලෝභ කරන්න එපා කියලා. ඒක නොමිලේ දීලා තියෙන්නේ ලෝකෙටම බෙදන්න මිසක් දත් ඇඳි දෙකයි තොල් අතරෙයි හිර කරන් ඉන්න නෙමේලු.


මුළු ලෝකෙම තරඟයක් වෙලා..මල්ලි කෙනෙක් මාත් එක්ක කිව්වා වගේ මතකයි තරඟයක් නැති ජිවිතේ කණුවක් දිගේ වතුර ගලනවා වගේ කියලා. කිසිම ලස්ස්සනක් නෑ. ඒත් ගඟකින් ඇලකින් ඒ වතුරම ගලද්දී කොච්චර ලස්සනද...? මම තරඟකාරිත්වය කියන්නේ අභියෝග... දහසක් අභියෝග මැද හිනා වෙලා ඉන්නවා කියන්නේ කොච්චර සුන්දර දෙයක් ද...? හිනාවේ උල්පත සතුටයි.. දුකට හිනා වෙන මිනිස්සු නැතුව නෙමේ.. 

ඒත් ඒ හිනාවෙන් තව කෙනෙක් හිනා වෙනවා නම් එතන තියෙන්නේ සතුටක උල්පතක නේද...? ජිවිතේ ජිවත් කරවන්නේ සතුට.. දුකක් එක්ක ඉන්න මිනිහෙක් මම මැරී මැරී ඉපදෙනවා කියල මිසක් ජිවත් වෙනවා කියලා කියන්නේ නෑනේ. මිනිස්සු අඬවන එක ලේසි.. ඇඟිල්ලෙන් ඇන්නාමත් අඩන්නේ.. ඒත් හිනාවෙලා ඉන්න එකයි හිනස්සන එකයි අඬන තරම් ලේසි නෑ... ඇඟේ තියෙන සියලු රෝග තුරන් වෙලා නිරෝගී වෙලා මහත් වෙනවා කියලා කියන්නේ මේ මෑතකදී නෙමේනේ..
හිනාව උනත් එක එක වර්ග තියෙනවනේ.. මහා හයියෙන් කෑ ගහලා හිනාවෙන්න පුළුවන්.. ලාවට හිනා වෙන්නත් පුළුවන්.. ඔය කාන්ත පාර්ශ්වය වගේ අතින් කට වහන් හිනා වෙන්නත් පුළුවන්.. අන්න ඒක නම් කවදාවත් කරන්න එපා.. ඔබේම හිනාවට ඔබේ අතින්ම කඩුලු බදින්න එපා.. ඔහේ නිදහසේ ගලාගෙන යන්න දෙන්න. ඒ වෙලාවට නිසැකවම ඔබට හිතේවි මල් පාට මල් හිනයක්දෝ ජිවිතේ කියලා.....?

රැස්වීමක් මැද, ප්‍රසිද්ධ වේදිකාවක මහා හයියෙන් හිනා වෙන එක අශිලාචාර වෙනවනේ. ඒ වගේම පාරේ මහා හයියෙන් හිනා වේවි ගියොත් උණවටුනට යන්නත් වේවි.. ඒක නිසා අවස්ථාව තේරුම් අරන් හිනාව වා තලයට මුසු කරන්න..

හැල්මේ දුවන ජිවිත වලට හිනාව ග්ලුකෝස් වගේ. එක පාරටම ශක්තියක් දැනේවි.. ඒත් ඒ හිනාව සමච්චලයෙන් තොර වුවක් නම් විතරයි..දහසක් දෙනා හමු වෙද්දී ඔබේ මුවින් ලෙන්ගතු මද සිනහවක් පහල වෙන්නේ නැති නම් ඒ ඔබේ අඩුවක්.. ඔබේ සිනාවට ඔහේ පා වෙලා යන්න දෙන්න. සුළඟ වගේ ගලා ගෙන යන්න දෙන්න. කව්රුවත් නවත්තන්න හදන්නෙත් නෑ.. කව්රුවත් එපා කියන්නෙත් නෑනේ... ඒ හිනාව ලොවක් සුවපත් කරවී.. 

දැන් කියන්න එපා හරි මම කාත් එක්කද හිනා වෙන්නේ කියලා..? මුලින්ම පවුලේ අය එක්ක හිනා වෙලා ඉන්න.. ඒ හිනාව මගතොටටත් බෙදන්න.. (ඒත් ඔය පැණි හිනාව දාන්න ගිහින් කාන්තාවන්ගෙන් හිංසනයන්ට ලක්වීම පිලිබඳ වග කියනු නොලැබේ.) ඔබේ මිතුරු මිතුරියන්ට.... අවසානයේ මුළු සමාජයටම...
ඔන්න ඕකට තමා සරල සිංහලෙන් මෛත්‍රිය කියන්නේ.. සිනහාවේ දෙවෙනි පියවර තමා මෛත්‍රිය...

මේ හිරිමල් වයසේ ඉන්න මටත් කොහෙන් ගියත් ආදරය ගැනත් ගෑවෙනවමනේ.. අමතක කරන්න එපා දියමන්තියක් සේම පාටින් දිලෙන මගේ හිතේ විතරක්ම නෙමේ ඔබේ හිතෙත් මිහිරි හැඟුමක් මවන සරල සුන්දර සංකීර්ණ භයානක සිතුවමක්නේ ආදරය කියන්නෙත්... 

ඔහේ අන්ද මන්ද වෙලා ඉන්න ඔරවා ගෙන බුම්ම ගෙන ඉන්න කෙනෙක් ගැන ආදරයක් හිතුනොත් මට හොඳටම විස්වාසයි ඒ මනුස්සයාගේ ආදර නහරයේ යම් කිසි රෝගකාරී තත්වයක් තියෙනවා කියල.. කසාද බදින්න හරි යාළුකමට හරි ආදරයක් හිතේවිද ඔය වගේ ඔරවන් ඉද්දි...? මට නම් එපා වෙනවා..(ඒත් ඉතින් මම එක්ක ඉන්න හැමෝම හිනා වෙලා ඉන්නේ...) ඒක නිසා හිනා වෙලාම ඉන්න(මට එපා වෙන නිසා නෙමේ, ලොවට එපා වෙන නිසා).

ලොවට පෙන්නේ නැති මහ රෑක අඬලා දුක වළලලා දාලා ඉර පායන මල් පිපෙන හැම උදේම ආදරය හිතෙන හිනාවකින් මුව සරසා ගෙන දොර අරින්න.. එහෙමත් නැතිනම් එලියට බහින්න.. සුවඳ විලවුන් දහසකටත් වඩා අලුත් විලාසිතා කෝටියකටත් වඩා ඔබට ආකර්ෂණිය බවක් ලෙන්ගතු කමක් ඒ හිනාව ගෙනේවි. 
 දත් නැති ආච්චිලගේ හිනාව සීදේවි නම් දත් නැති අත දරුවාගේ හිනාව සුරතල් නම් ඔබේ මුව කොහොම උනත් හදවත සමච්චලය කුණු කන්දල් පුළුස්සලා ලෙන්ගතුකම් දුම් දල්වලා නම් අනිවාර්යයෙන්ම සීදේවි කමත් සුරතල් කමත් අතර ඔබේ සිනාව දෝලනය වේවි.. ලෝකයට ආදරණිය බවක් එකතු කරන්න.. ඔබේ සිනහව තහනම් කරන්න කාටවත් බැරි වේවි..

"එන්න, හිනහෙන්න මා එක්ක මේ ජිවිතේ......."

Tuesday, September 11, 2012

ඔබ ඈ නොව... ඈ ඔබ නොව.....

කුස රජුන් සුරතින් ඇඹු          ලඳ
උකුල නෙරියද ලමැද මුදු       බඳ
මිහිරි වදනද නුරා            බැල්මද
 සනසවයි සිප ගනියි බිඳ        බිඳ

තණ්හාද රති රාග මන             දුවරු
තලා පොඩි කර නැතිව යන       තුරු
නිවන අරමුණු කරන           මුණිවරු
ලෙසට සිටියාලු ඇය දකින        තුරු  

අළු අතර වූ අඟුරු             හිනැහුණි
නිසසලව වූ සුළඟ දැඩි             වුණි
පුර පෝ දින අමාවක               වුණි
සිරිපතුල ළඟ මලක්             පරවුණි

කොමල මුදු බඳ දිරන මැසි ලෙස දුටිමි සිතුවෙමි බැහැර    කෙරුවෙමි
තමා තරමට නොගැලපෙන ලඳ සිතින් ඉරුවෙමි මකා          දැම්මෙමි
දිදුල දෙනෙතින් විසුල පිනිකට දිහා බැලුවෙමි මමත්          ඇන්දුවෙමි
ඉවත යනු මැන සුවති රන් බඳ යලි වැඩෙන්නෙමි  මම       නසන්නෙමි
  • නිකමෙක් කියලා කිව්වා උනාට මොන පිස්සුද නිකමෙක් නෙමේ. මේ සුදා මල්ලිට වඩා වටිනා කියන මනුස්සයෙක්.. ලංකාවට ආඩම්බරයක් ගෙනාපු කොල්ලෙක්. කවුද කියලා නම් අහන්න එපා.
  • පොඩි ඉඟියක් දෙන්නම්.. හොඳට ඉගෙන ගන්න පුළුවන් බුද්ධාගමට ලැදි වරක් ලංකාවම ගොඩක් අය කතා කරපු චරිතයක්
  • තමාගේ බ්ලොග් එකේ ලියල දන්නා කම්මැලි නිසා බලෙන්ම වගේ බොහොම අමාරුවෙන් ඉල්ලගෙන දාන්නේ
  • කොහොම උනත් මලයෝ ලියන එක නම් අත අරින්න එපා.

Saturday, September 8, 2012

මග සැදුවේ ඔබයි සොඳිනේ...........

ලෝකයේ තියෙන එක එක රස්සා අතරේ වර්තමානයයි අනාගතයයි අතර සන්ධිය එහෙමත් නැතිනම් ලෝකෙයේ තියෙන උත්තරීතරම රස්සාව තමන්ගේ රස්සාව විදියට තෝර ගත්ත කාන්තාවක් ගැන පොඩි සටහනක් තිබ්බොත් හොඳයි කියල හිතුණා.

මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ගුරුවරියක් වෙන්න ඉගෙන ගෙන 1975 නෙළුව මහා විද්‍යාලයට ආවා. මහා ලොකු උපාධි කුට්ටම් නෑ.සාමාන්‍ය අභ්‍යසලාභී ගුරුවරියක්.. රස්සාවක් කරන්න ආවේ. "නෑ.. මම සේවයක් කරන්න පුළුවන් නිසයි ආවේ" කියලා බොරු කියන්න ඕනේ නෑනේ. එදා ඉඳන්ම අවුරුදු  33 ක් නෙළුව මහා විද්‍යාලයට.... නෙළුව මධ්‍ය මහා විද්‍යාලයට විතරක් නෙමේ නෙළුව ජාතික පාසලටත් තමන් ඉගෙන ගනිපු දේ බෙදල දෙන්න මහන්සි උණා. මේ ඒ ගුරු අම්මා මාත් එක්ක කියපු කතා ටිකක්..


" ඉස්සර සමස්ත ලංකා කියල තරඟ තිබුනේ නෑ. කලාප තරඟ තිබ්බම ඉවරයි. මට මතකයි ඉස්සර ඔය නන්දනී අජන්තා විජිතල එක්ක උඩුගම තිබුණ තරඟ වලට ගිහින් කලාප ශුරතාවය අරන් එනවා. ඉස්සර කොහෙද ක්‍රීඩා ගුරුවරු.... අපි අපිම තමා ඒවා පුරුදු කලෙත්. මට ඉන්න බෑ දරුවෝ මගේ ළමයි දුවලා එක අරන් එනවා බලන්න. මගේ කකුල් වෙව්ලනවා. ඇඟ ගැහෙනවා.. ...... ඊට පස්සේ මට ඇහෙනවා කවුරුදෝ මයික් එකකින් කෑ ගහනවා. "අන්න අර මිස් අල්ල ගන්න... ළමයි එක්ක දුවන්න දෙන්න එපා" කියල.. එතකොට ඉතින් මගේ පොඩි එකා එක අරන් ඉවරයි. මිනිස්සු හිතන්න ඇති මට පිස්සු කියල. මට මොකද..? මගේ පොඩි උන් එක අර ගත්තට පස්සේ ඊට වඩා මොකද්ද..?  ඒ දරුවොත් කැමති එහෙම කරනවට. මම ඉතින් ගිහිල්ල දුවලා එන පොඩි එකාව අල්ල ගන්නවා.. උන්ට රටක් රාජ්ජයක් දිනුව වගේ..

ඕව විතරක් නෙමේ.. මල ගෙදරදී හම්බුනා අනුලා දූ මතකද.. දුවන්න ගත්තම නිකන් මැසිම වගේ.. එක අරගෙනම තමා නවතින්නේ. ඒත් ඉතින් වැරදිලාවත් දෙක උනොත් එතනම වැටෙනවා..(ඇය සිනාසෙයි) ඔය ඔපිස් එකේ
මහ ලොකුවට දැන් කබඩ් පුරවලා තියෙන ඔක්කොම ශුරතා පළිහ අරන් ආවේ අපි. පොඩි ට්‍රක් කෑල්ලක් හොයාගෙන සින්දු කියා කියා එනවා. ඉස්සර මගේ බෑග් එක ඉස්කෝලේ ඔපිසිය වගේ. ඔක්කොම තරඟ වලට යන ළමයිගේ පොටෝ කෑලි උප්පැන සහතික මම ගාව.  අනේ දරුවෝ අපි ඒ කාලේ කරපු ඒවා...

ඒ දවස් වල අනධ්‍යන කාර්ය මණ්ඩල නෑ. අපිට තාම ඒවා කරන්න උණෙත්. පහසුකම් ගාස්තු ගෙවපු ඒවයි සල්ලි ඔක්කොම බිල් සේරම මම ගාව. ඒත් කිසිම දවසක සතපහක්වත් අඩු වෙලා නෑ. මම ඒ ඉස්කෝලෙට යද්දී මම තමා හිටිය පොඩිම ගුරුවරයා. ළමයි අතර උනත් මහා ලොකු වයස් පරතරයක් තිබුනේ නෑ. හැමෝම මට ආදරෙයි. ගෑනු ළමයි මම එනකන් බලාගෙන ඉන්නේ. ආපු වෙලාවේ ඉඳන් ඇගේ එති එතී කතා කරනවා.  ඒ දරුවොන්ට උදව් ඕනේ හැම වෙලාවකම මාව හොයා ගෙන ආවා. පුදුම විස්වාසයක් තිබ්බේ. ගමේ මිනිස්සු පවා සැලකුවා. දිස් මිස් අනම් මනම් දැන් කාලේ වගේ නෙමේ. ඉස්කෝලේ හාමිනේ කියල කට පුරවලා කිව්වා. ඒවා කාලේ එක්ක වෙනස් වෙනවා.  අපි දරුවෝ වැඩිහිටියෝ... ගුරුවරු... අපි බබාලා වෙලා බෑ.  ළමයි තාම නොදරුවෝ. දරුවොන්ගේ පැත්තෙන් හිතලා තීරණ ගන්න ඕනේ. අපිට වඩා හොඳ අනාගතයක් හදලා දෙන්න ඕනේ. නැතිනම් මේ පඩියෙන් අපිට පව් පිරෙනවා විතරයි පුතේ.. කාලෙත් එක්ක අපි දරුවෝ එක්ක ඉන්න ඕනේ. ඉස්සර වගේ නෙමේ.. වැරදුනොත් හද ගන්න ඉඩක් නෑ දැන් " 

මිස් කියපුවා ඇතිනේ.. මේ සුදා මල්ලි මිස් ගැන කියන ඒවා.....

" දැන් කට්ටියටම හිතෙනවා ඇති නේද මෙයා හරිම අහිංසක අර පොත් වල ඉන්න ගුරුවරියක් වගේ වෙන්න ඇති කියලා.. මොන පිස්සුද...? මට මතක විදියට මම 7 වසරේ.. මිස් හිටියේ අපේ පන්තියේ උගන්න උගන්න. අපි හිටියේ දොරවල් තිබුණ පන්ති කාමර වල... එහා පන්තියේ ළමයි ඔක්කොම එළියේ.. මිසුත් කෑ ගහන්න එපා කියලා විතරයි කිව්වේ. එක පාරටම එහා පන්තියේ නලින් පන්තිය ඇතුළට කෙල්ලෙකුයි කොල්ලෙකුයි දාලා දොර වැහුවා. එක පාරටම මොකක් උනාද මන්ද.. මිස් හිටියේ එහා පන්තියේ. මිස්ගේ අත පෙන්නේ නෑ. නලින් ඇඹරෙනවා. ඇත්තමයි මම ජීවිතේට එහෙම ගැහිල්ලක් නම් දැකල නෑ. මටත් පුදුම ඒක එච්චර ලොකු වරදක්ද කියලා. පස්සේ තමා තේරුණේ.. මිස් පන්තියෙන් යද්දී කියල ගියා. "මටත් දරුවෝ දුකයි. අර ගහපු පාරට මගෙයි අතයි හිතයි දෙකම රිදෙනවා..  අපි ගහන්නේ වෙන මොකවත් නිසා නෙමේ... ලොකු මහත්තයෙක් නොවුනත් හොඳ මහත්තයෙක් හදන්නයි ඕනේ නිසයි"..  මම දැක්ක නලින් මිස්ට රවනවා.. අපිට උනත් ඕක පුදුමයක් නෙමේ. අපි උනත් එහෙමනේ. ඒත් අද නලින් පාරේ හම්බුනාම මිස් කියල කතා කරලා යනවා මම දැකල තියෙනවා.


මිස්ලගේ ගෙදර තිබුනේ නෙළුව ග්‍රාමීය ඉස්පිරිතාලේ ගාව. ඒක නිසාද මන්ද...? ළමයෙක් ලෙඩ උණා ගමන් මිස් ගාවට එවනවා.. සමහර ගුරුවරුත් එහෙම යන්න කියලා ශේප් උණා. ඒත් ළමයි අතරේ පුදුම විස්වාසයක් තිබුණා. ලෙඩක් උණාම හොඳම විසදුම තියෙන්නේ සෝමා මිස් ගාව කියලා.

අපේ ඉස්කොලේට හම්බුණා ලොකුම නැතත් වටිනා කියන මේන් හෝල් එකක්. ගොඩනැගිල්ල විතරයි හම්බුණේ. මතකයි සෝම මිස්ලා කුසුම් මිස්ලා පියසීලි මිස්ලා එක්ක අලුත් ගුරුවරු වුණ සාලිය සර් නයනකාන්ති මිස් නිශා මිස්ලා ඕකට කර්ටන් දන්නා මහන්සි උණ තරම. ඒ කර්ටන් තමා තාම තියෙන්නේ... ඒ කර්ටන් දාලා තිබුණ මුල්ම කොන්සර්ට් එකේ මමත් නැටුවා..

එක දවසක් මිස් මළ ගෙදරකට ආවා.  ආවා විතරයි මළ ගෙදර හිටිය ගොඩක් මැදිවියේ ගොඩක් අය නැගිට්ටා. පස්සේ තමා ඇය කිව්වේ ඒ මගේ ගෝලයෝ කියලා. ඒ ගෝලයෝන්ගේ ගුරු ගෞරවය එදා විදියටම අදත්..  සමහර ගෝලයෝ හම්බෙනවා හතර ගාතෙන් යන්න බීලා. කෙලින් ඉන්න පණ නෑ. අවුරුදු 40 ක් 50
ක් විතර වෙන පිරිමි.. මතකද අපි වැරද්දක් කරලා අම්මා එද්දී ශේප් වෙලා යනවා.. අන්න  ඒවගේ මේ මිනිස්සුත් මිස් දැක්කම ලිස්සලා යනවා.. මිසුත් මුකුත් නොකියා යනවා. සමහර ගෝලයෝ බීලා හම්බුණාම කියනවා. "අනේ මිස් සමාවෙන්න ඕනේ.. ආයේ බොන්නේ නෑ" කියලා වැඳලා යනවා. ඒත් මිස් හිනා වෙලා බොන්න එපා කියන්නේ නෑ. "පරිස්සම් වෙන්න දරුවෝ" කියලා විතරයි කියන්නේ..

මේ අන්තිම පොඩ්ඩ.. හැම ඉස්කෝලෙම ඉන්නවනේ උසස් පෙළ පන්තියේ චණ්ඩියෝ ටිකක්. අපේ ඉස්කෝලෙත් හිටියා. මොකක් හරි වලියක් ගිහිපු වෙලාවක ඕක බේරන්න මහත හැඩි දැඩි කියල හිතන් ඉන්න ගුරුවරයෙක්(අයියා සර් කෙනෙක්) ඉදිරිපත් උණා. අර අයියා ඉතින් හිච්චි කෙට්ටු එකෙක් හොඳේ.. දැන් අර සර් ප්‍රශ්නේ ගැන කතා කරද්දී අර අයියාට මළ පැනල වැඩිකමට උඋගේ විරුද්ධවාදියට ඌ මූ  කියලා කියවෙනවා. පොඩ්ඩක් නිවෙන්න දීලා ප්‍රශ්නේ විසදෙව්වා නම් හරිනේ. ඊට පස්සේ අර මහත සර් අර අයියගේ කොලර් එකෙන් අල්ල ගෙන "උඹට කතා කරන්න උගන්නන්න ඕනේ" කිව්වා.. අර අයියා කෙට්ටු වැඩි කමට අයියා කෙසේ වෙතත් සර්ව නම් ඉස්සුණා.. අර මිස්(ඔය වෙද්දී පෙන්ෂන් ගන්න අවුරුදු 3ක් වගේ විතර තිබුනේ) දුව ගෙන ආවා. පුතේ අපි යමු කියලා අයියාගේ අතින් අල්ල ගත්තා. මොන්ටිසෝරියට අරන් යන පොඩි එකෙක් වගේ අර අයියත් මිස්ගේ අතේ එල්ලිලාම ආවා. ඉස්කෝලෙන් එළියේ හිටිය විස්තරේ දැනන් ඉස්කෝලේ ගාවට දුවන් ආපු අම්මට බාර දුන්නා.. ඒ අයිය දැන් කැලණිය කැම්පස් එකේ. කොහේදී දැක්කත් දුවගෙන ඇවිත් කතා කරලා යනවා...



හොඳට ඉගෙන ගනිපු සමහර ගෝලයෝ නම් මිස් දැක්කම වැඳලා කරලා යනවා.. ඒත් සමහර අය නම් මිස් දැක්කම නොදැක්කා වගේ යනවා..  ඇය ඉතින් මුකුත් කියන්නේ නැතුව, "අර මගේ ගෝලයෙක්.." කියල විතරක් කියනවා. ඉස්කෝලෙන් විශ්‍රාම ගනිද්දී උපහාර උත්සව මුකුත් නැතුව එළියට ආවා. ගෙදරට ගෙනත් දීපු තෑගි බෝග බාර ගත්තා.. එතුමිය අහන්නේ... "මට මොකටද උපහාර.. මම කලේ රස්සාවනේ" කියලා.. කෝ අපිට ඕවට උත්තර... එතුමිය කොච්චර උගන්නන ආසද කිව්වොත් ඉස්කෝලේ යන්න බැරි වෙද්දී ලෙඩ වැඩි උණා. දැන් එතුමිය නොමිලේ සිංහල පන්තියක් කරනවා.. මිස් එකෙන් පුදුම සතුටක් විඳිනවා කියල හිතුණා. මැරුණමත් මෙඩිකල් කොලේජ් එකකට බොඩි එක්ක දෙන්න කියලා කියන්නේ.. "මොකද එතකොට මම මැරිලත් උගන්න්න්නවන......" "

හිතුණා නේද මෙච්චර දේවල් ඒ මිස් ගැන දන්නේ කොහොමද කියලා....
 

වාසනාවට මම ඒ මිස්ගේ පුතා
(අම්ම ගැන වර්ණනාවක් නෙමේ කලේ.. මමත් ඉගෙන ගෙන තියෙනවා.. ගුටි කලත් තියෙනවා.. ඉස්කෝලෙදි මිස් කියලා කතා කිරීම අනිවාර්ය කරලා තිබුණා. ඒත් ගෙදරදී එක අකුරක් වැඩිපුර ඉගැන්නුවේ නෑ. සාමන්‍ය පෙළ සිංහල දවසට කලින් රෑ කියනවා.. දැන් මොකවත් කරන්න වෙලාව මදි.. ගිහින් ලියලා එන්න කියලා.. අනිත් ළමයි විදියටම තමා සැලකුවේ.. වරප්‍රසාදයකට හම්බුනේ ගුරු පාර්ටි වලදී බත් පැකට් එකක් විතරයි.. ගොඩක් අය ඇය ගැන කියපු දේවල් එකතු කලොත් හොඳයි කියල හිතුණා ඒකයි... )

අමතක කරන්නේ කොහොමද මගේ හොඳම යාළුවා.. ඔව් මදනායක තමා.. එයාගේ අම්මා විතරක් නෙමේ මගේ සමාජ අධ්‍යයනය ගුරුතුමා, ගණිතය උගන්නපු විද්‍යා පීඨ ගුරුතුමිය ඇතුළු මට උගන්නපු ගුරුවරු 60% ක්ම අපේ අම්මගේ ගෝලයෝ... අවුලකට තිබුනනේ ඔක්කොම කේලම් ටික ගිහින් කනේ තියන එක තමා.. 


මෙන්න මෙතනින් ගිහින් "මග හොඳට තියේ: කියන සින්දුව හොයලා අහල බලන්න

Friday, August 31, 2012

කාලො අයං තෙ

රැස්කළේ නැත මිල මුදල්
එකතුකලේ නැත ඉඩකඩම්
පැතුවේ නැත මම ඉහල තනතුරු
ඉන්ට සිතුවේ සදා උපගුරු...

ගුණ නැණ බෙලෙන් යුතු
දු පුතුන් රටට දායාද ලෙස
එක්කරන්නට සැම විටම
සිතුවෙමි වෙහෙසුනෙමි

අයිතිවාසිකම් පසුපස
හඹා නොගියෙමි කිසිවිටක
යුතුකමට වගකීමට
දුනිමි මුල්තැන හැමවිට

නිදහස් කාලය තුල
ගුරු විවේකාගාරයට
නොමැත මගේ පය එසවුනේ
එවැනි හැම මොහොතකම
ආදර මගේ දරුවනේ

නුඹලා වෙතය මා පිය නැගුවේ
මගේ දරුවන් දෙදෙනා
මගේ ළඟ නැති අඩුව
පිරිමසා ගත්තේ මා
නුඹලාගෙනි දරුවනේ

හැදුණු විට අසනීපයක්
නැගුණු විට ගැටළුවක්
සොයා මා වෙත
නුඹලා ආවේ පතා පිළිසරණක්
ඒ හැම මොහොතකම
මට හැකි ලෙසින්
නුඹලාගේ සිත්
සුවපත් කිරීමෙන්
ලැබුවෙමි නිරාමිස සතුටක්

මගේ ගුරු දිවිය තුල
අහිංසකයන් මෙන්ම
දඩබ්බරයන්ද
වසවර්තියන්ද හමුවිය
ඒ සියලු දෙනා වෙත
කිසිදු වෙහෙසක් නොමැතිව
සිප් සතර දීමට
ගතිමි වෙහෙසක් හැමවිට

ඉතින් ආදර දරුවනේ
නුඹලාගෙන් වෙන්ව
නික්ම යන්නට කැදැල්ලට
කාලය එළඹ ඇත
පතමි මම
නුඹලාට චිර ජීවනය

මට වැඩි අසුන්වල සිසුවන් තබනු              රිසින්
මෙහෙවර කලෙමි මම මට හැකි පමණ   ලෙසින්
මෙහෙවර පලදර ඇත මහා මෙරට            උසින්
මරණෙට යා හැකිය තුටු කදුලැලි පිරිණු    ඇසින්

ගුරු හොරු ගොඩක් මැද්දේ ගුරුවරුන්ට වඩා ඉක්ම වූ ගුරු+උතුම් වරු අඩුවෙන් හම්බෙනවනේ.. මේ එහෙම එක්කෙනෙක් ගැන.. කවුද කියලා අද හෙටම ලියන්නම්.. මේ එතුමිය විශ්‍රාම ගිහිපු දවසේ උගන්නපු පන්ති වල එදා පීරියඩ් එක ඉවර වෙද්දී නංගිලා මල්ලිලාට දීපු කොලයක්.... මෙච්චරයි තියෙන්නේ...
මෙතුමිය වැඩ කලේ මම මුලින් ගිහිපු නෙළුව ජාතික පාසලේ...
අවුරුදු 33 ක්.
ඉස්කෝලෙට ආවේ 1975-07-01
ඉස්කෝලෙන් ගියේ 2011-02-05

සැ.යු. පින්තුරේ ඉන්නේ නම් එතුමිය නෙමේ.. මේ අර ගුගල් මාමගේ පෙට්ටගම අවුස්සලා හොයා ගනිපු එකක්.. ෆොටෝත් එක්කම විස්තරේ ළඟදීම........

Wednesday, August 29, 2012

අමතක මං



ඇලේ දොලේ දුව පැන්නේ
ගං වතුරේ ඔරු පැද්දේ

කෙකටිය මල් දම් ගෙතුවේ

මහත්තයෝ මතක නැද්ද මං


පොලු ගහලා අඹ කැඩුවේ

කුරුම්බා බි ගුටි කෑවේ

අත්වැල් බැඳ සිනාසුනේ

මහත්තයෝ මතක නැද්ද මං


වැවේ පිපුණු මල් නෙළුවේ

ඒ මල් සිරිපා පිදුවේ

දොහොත් මුදුන් දී වැන්දේ

මහත්තයෝ මතක නැද්ද මං


වෙල් දෙණි වල උඩ පැනලා

සමනල් තටුවක නැගලා

කවි ගී වරම් කියලා

මහත්තයෝ මතක නැද්ද මං


පාඩම් පොත් හොඳට බලා

සිස්සත්වය පාස් වෙලා

සිදාදියට පිය නගලා

මහත්තයෝ මතක නැද්ද මං


මහා විභාග පාස් වෙලා

ජිවක වෙදදුරෙකු වෙලා

මතක පොතෙන් මා මැකිලා

මහත්තයෝ එදා හිටිය සුදු බණ්ඩා මං

Friday, August 24, 2012

නොබෙල් කේන්දරේ(අවසාන කොටස)

මහාචාර්යතුමාගෙන් ඇස් නලළේය. එහි ඇති භයානකකමට දෝ යටි තොලට දැමු හින් දාඩිය ටිෂු කොලයක් උරා ගත්තේය.
 

ඔය ඔක්කොම ටික දැන ගන්න තිබ්බා මෙන්න මේවට ගියා නම්..

"භයානක කම කියන්නේ...? ලංකාව යුද්දෙකටවත් ලෑස්ති වෙනවද..? " අනික් හමුදාවේ ප්‍රධානින් දෙස බැලු හමුදාපති යුරේන්ද්‍ර සිං  ප්‍රතාපවත් හඬින් මහාචාර්යවරයාගෙන් ඇසිය.
 
"දැන්ම නම් ඒක ගැන කියන්න බෑ.... ඒත් ඔවුන් යුද්දයක් කලත් අපිට ඒකෙන් දිනන්න බැරි වේවි...?? මොකද උන් අර කේන්දරෙටත් වඩා පිළිගනිපු බලගතු දෙයක් කරනවා. කේන්දරේටත් වඩා ඒ දේ නිසා තමා මිනිස්සු ඔච්චර දියුණු වෙන්නේ....."තත්වයේ ඇති බරපතලකම නිසා කිසිවෙක් සිනාසුනේ නැත. මුව සෙලෙව්වේද නැත.

"වේවැල්දෙණියේ සුමංගල හාමුදුරුවෝ රජයට බල කරලා ඉල්ලලා භාවනාව සමාජගත කරලා, උන්නාන්සේ මිනිස්සුන්ව කුලප්පු කරලා මේකට ඇබ්බැහි කලා.... සුද්දගේ අරක්කු වලට වඩා මේක බලගතුයි සර්... අවුරුදු 5හේ පොඩි උන්ගේ ඉඳන් පණ අදින මහල්ලා වෙනකම්ම  භාවනා කරනවා.. කොල්ලෝ කෙල්ලෝ භාවනාව විතරක් නෙමේ.. යෝගත් කරනවා.. හැම තැනම උදේ පාන්දර දවස් පටන් ගන්නේ පැයක් විතර භාවනා කරලා... මේක නිසා මිනිස්සු නිරෝගී.. අනික් දේ තමා සර් හැමෝන්ගෙම හිත හරි ඉක්මනට එක අරමුණකට ගන්න පුළුවන්. ඒකනේ ඔය කණ්ඩායම් තරඟත් ලංකාවේ ඈයෝ දිනන්නේ. ඒ විතරක් නෙමේ... හොඳම හරිය මේක....."
ඇස් ලොකු කරන් අහන් ඉන්න අගමැතිනියත් මුව අය අසා සිටින ජනාධිපතිතුමත් දෙස බලමින් මහාචාර්යවරයා කතා කළේය. 
 

"අනිත් අයගේ හිත පාලනය කරන්නත් පුළුවන් උනාට පස්සේ අර හැමෝම වගේ අනුන්ගේ හිත කියවන්න මිනිස්සු පුරුදු උණා. කියවන්න බැරි මිනිස්සු තමන්ගේ රහස් දැන ගනී කියලා බයේ එකට එක කරන්න උනුත් භාවනා කරලා හිත දියුණු කර ගත්තා.. දියුණු කරපු හිතකට ඇතුළු වෙන්න අමාරුයි සර්...  අපේ වගේ චංචල හිත් වලට ඇතුළු වෙන එක උන්ගේ අවුරුදු 10 පොඩි එකටත් මහා කජ්ජක් නෙමේ.." අතේ තිබු ලිපි ගොනුව පසෙකින් තබන ගමන් මහාචාර්ය වරයා පැවසුවේය.

"හිත් පාලනය කරන එක නම් භයානකයිනේ.. ඉතින් එහේ ජනාධිපති එහෙම මුලින්ම විරුද්ධ වෙලා නැද්ද..?" 
බැරෑරුම් මුහුණින් ඉන්දීය ජනාධිපති විමසුවේය. 
.
"නෑ සර්.. මේ ක්‍රමය මුලින්ම කරලා තියෙන්නේ ජනාධිපතිතුමා. එතකොට බයක් වෙන්න දෙයක් නෑනේ. අනික සර් ඔය භාවනාවේ පොඩි පොඩි දේවල් ටිකක් ලැබුණාම තමා හිත් පාලනය කරන්න පුළුවන්.. තව දුරත් ඒක දිගටම භාවනා කරද්දී ඒ ආසාව නැති වෙලා යනවා..... හිත් පිරිසිදු වෙනවා.... හමුදාවේ විශේෂ බලකායක් හදලා ඒ අයට යුද්දෙදි ගන්න පුළුවන් ප්‍රයෝජන ගන්නවා. CID එක අනිත් එක... ඊට එහාට හිත් පාලනය කරන්න මිනිස්සු යන්නේ නෑ.. ඒත් සැක හිතුනොත් නම් හොයලා බලනවා..  අවුරුදු  20ක් 30ක් තමන්ගේ අරමුණකට දියුණු කරපු හිතක් ඇතිව යන අය ගැන තවත් මොන කතාද සර්.... දැන් ලංකාවේ උන් ආගම එක්ක වැඩියි.. ආගම් භේද නෑ.. ක්‍රිස්තියානි එකා පල්ලිත් යනවා.. පන්සලුත් යනවා.. බුද්ධාගම්කාරයත් ඒ වගේම තමා... උන් හැමෝම එකම විදියට හිතන්නේ.. දුප්පත් පෝසත් භේදේ නම්  තියෙනවා.. ඒක නැති වෙන්නේ නෑනේ.... ඒත් උන් ඒක ගැන ගැන ඉරිසියා කරන්නේ නෑ. හිත් දියුණු නිසා ලැබෙන දෙයින් සෑහීමකට පත් වෙනවා.."
ජනාධිපති තුමාට උත්තර දෙමින් මහාචාර්යවරයා  කිවේය.


"මේ ප්‍රකාශ්... අපිටත් බැරිද ඔය ක්‍රමේ පොඩ්ඩක් ක්‍රියාත්මක කරලා බලන්න.. "
අගමැතිනිය ජනාධිපති දෙස බලා ඇසුවේය.

"අම්මෝ යුද්ධයකද කියලා දෙගිඩියාවෙන් හිටියේ.. දැන් නම් ඉතින් කමක් නෑ... ඔව් ඔව් අපිත් මොකක් හරි කරන්න ඕනේ.."
සැනසිලි දායක හැඟීමක් හිතට නංවා ගෙන මද සිනහවක් පා ජනාධිපතිතුමා කිවේය.

"ඔන්න ඔය ටික තමා අරුන්ගේ දියුණුවට හේතුව.. අපිටත් මොකක් හරි කරන්න බැරි වෙන එකක් නෑ.. මට අමතක උනානේ නිවාඩුව ගැන කියන්න... මම හිටියේ උදාරගේ පුතෙක් ලහ. මිනිහත් මහාචාර්ය කෙනෙක්. කැලණිය විශ්ව විද්‍යාලේ.. හරිම හොඳයි. මිනිහා තමා මට ඔය ඔක්කොම විස්තර කිව්වේ. ඒකනේ මට වැඩි දවසක් නොගියේ.. දැන් එහේ සුද්දෝ වැහි වැහැල.. ඇයි සර් උන් කියනවනේ මුන් සිංහලයෝද කියලා හිතා ගන්නවත් බැරිලු.. සම්පුර්ණෙන් වෙනස් වෙලාලු.. මටත් මාර විදියට සැලකුවා. හරියට එදා ඉඳන් දන්නා යාලුවෙක් වගේ.. අපි ගියා එහේ බලන්න රෙපයාර් කරපු සිගිරි රජ මාලිගාව.... මාර ලස්සනයි.... දළදා මාලිගාව.... අනුර්ධපුරේ ට්‍රිප් එකකුත් ගියා.. උන් කොච්චර දියුණු උනත් සම්ප්‍රදාය කඩලා නෑ සර්.. උන් සිරිපාදේ අදටත් යන්නේ අර එදා තිබුණු කැලේ මැද්දෙන්මයි.. ඔය තේ එක බොන්න.. නිවිලා යාවි.. පොඩ්ඩක් ඉන්නකෝ මම ගනිපු ෆොටෝ පෙන්නන්න.."  


මහා භයානක තත්වයක් නැති නිසා නැවතත් සිනහවෙන් පිරි ගිය කාමරය මීට ස්වල්ප මොහොතකට පෙර සිදු කෙරුණු රහස් කතාව අමතක කළේය. අගමැතිනියගේ මිණි ගෙඩි සොලවන විට ඇසෙන නාදය වැනි කෙඳිරිලි සිනහව කාමරයේ අහු මුල්ලකම ගැටී දෝංකාර දුන්නේය. මහාචාර්ය රාජේශ් රස කතා කියද්දී හමුදාපති යුරේන්ද්‍ර සිං තමාගේ අතීත කතා හාරා අවුස්සනට විය. කෝප්ප තුල වූ තේ පමණක් නොව පිරිසි මත තිබු ලංකාවෙන් ගෙනෙන ලද පැණි වළලු,කැවුම්, කොකිස් ද ඉවර වෙමින් තිබුණේය. 

 අල්මාරිය අසල තැබූ ලැප්ටොප් පරිගණකය ගැනීමට අනික් පසට හැරුණු මහාචාර්යවරයාගේ වෙනස් වීම කිසිවෙකුටත් ඇස නොගැටුනේය..මහාචාර්යවරයා මල මිනියක් මෙන් සුදුමැලි විය. ඇවිදින්නන් වාලේ ඇවිදින්නෙක් සේ දිස් විය. අත පය ඔහේ විසි විය. පරිගණකය මේසය මත තබා පිරිස් දෙස මලානික බැල්මක් හෙළිය.
 "ඕක ඉක්මනට දානවකෝ ප්‍රකාශ්..." තවමත් ඔහුගේ වෙනසක් නොදුටු අගමැතිනිය කලබලයෙන් පැවසුවේය.

නැවතත් මලානික බැල්මක් ඉදිරියට හෙලු මහාචාර්ය වරයා.
. "මම මේ ඔක්කොම හොයා ගත්තා.. ඔවුන් මට සැලකුවා තමන්ගේ එකෙක්ට වගේ.. ඒත් මම උන්ට ද්‍රෝහී උණා.. අනේ මට සමාවෙන්න මට මේක නොකර ඉන්න විදියක් නෑ.... මටත් උන්ට යටත් .........." කියන්නට තැනු දේ කියන්නට ඉඩ ලැබුනේ නැත. 

ඔහුට පමණක් නොව කිසිවෙකුට කිසිවක් කියන්නට හැකියාවක් ලැබුනේ නැත. මහාචාර්යවරයා තම බෑගය මත තිබු සුරතෙහි මහපට ඇඟිල්ල අසලම වූ බොත්තම තද කළේය.. 

...................................................................................................................................................................

"ඉන්දීය ජනපති ඇතුළු මහ මොළ රැසක් මරුට... "  " ඉන්දීය ජනාධිපති ඇතුළු ප්‍රභූ පිරිසක් ඉලක්ක කල ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකා රජය තරයේ හෙලා දකි....." පසු දින පුවත් පත් බලමින් සිටි උදාරගේ පුත් පුර්ණගේ නෙත ගැටුනේය.

" අනුන්ගේ කිල්ලෝට වල හුණු බලන්න එනවට ඕවා හොඳ පාඩම්.... "  පුර්ණ තොල් මැතිරුවේය. ඒත් සමගම අල්ලපු ගෙදර ක්‍රියාත්මක කර තිබු ගුවන් විදුලි යන්ත්‍රයේ හඬ පුර්ණට ඇසුණේය...
 

"ඔබ හට අත පොවනට උන් මුන් හට
ඉඩ තොතබමු ලංකා.......
අවහොත් මෙහි උන් ලුහු බඳවා
ගොළු මුහුදේ ඔබමු ලංකා....
දිය ගොඩ අහසේ සැම තැන ඔබගේ
නම කියවමු ලංකා.....
අවසාන ඔබ හට පොහොරව මේ කය
මෙහිම හොවමු ලංකා......"

ලංකා..... ලංකා......



කතාව නම් ඉවරයි....
හොඳ නරක... අඩු පාඩු..... තියේ නම් කියලා යන්න.. මොකද ඒක තමා සහෝදරත්වය.

සැ. යු :- මේ කතාව මගේම කතාව වුනත් මේකේ පදනම මට යාලුවෙක් කියපු කතාවක් ආශ්‍රයෙන් මමම ගොඩ නැගුවක්. යාලුවත් ඒ කතාව කියවලා තිබුනේ පොතකින්. ඒත් ඒ පොතේ නමවත් කතුවරයාගේ නමවත් මතක නැති එක ලොකු පාඩුවක්.. ඒ ගැන සමා වෙන්න.


 
 

Wednesday, August 22, 2012

නොබෙල් කේන්දරේ (2)


'' ඔව්... ඔව්... මට මතකයි, ඉතින් දැන් මොකද වෙලා තියෙන්නේ.." 
ජනාධිපතිතුමාගේ ඉක්මන් හඬ එතුමාගේ නොඉවසිලිමත් භාවය මොනවට පැහැදිලි කළේය.

කියෙව්වේ නැතිනම් ඉක්මනට ගිහින් කියවල එන්න.. දෙක තිබුනට එක නැතිනම් වැඩක් නෑනේ.. නෙහ්....? 
ඔන්න එහෙනම් යමු.... 

"පොඩ්ඩක් ඉන්න සර්, ඔය අතරේදී තමා මට මාස 6කටත් කලින් සප්ත වාර්ෂික නිවාඩුව දීලා මේ වැඩේ ගැන කතා බහ කරලා ලංකාවට යැව්වේ. මම මේ ආවේ මගේ නිවාඩුවෙන් භාගයකින් පස්සේ.. මොකද මම හොයා ගත්තා ඇයි ලංකාව මෙච්චර ඉක්මනට දියුණු උණේ කියලා. ඉතින් තවත් එහේ ඉන්න එක තේරුමක් නෑනේ. ඒත් සර් උන් ඒ ක්‍රමෙන් අවුරුදු ගානක් තිස්සේ භාරත මාතාවගේ වාසනාවට බිහි කරපු කපිල් දේව්ලා රාහුමන්ලා ලතා මන්ජෙශ්කාර්ල විතරක් නෙමේ රවින්ද්‍රනාත් තාගෝර්.. රවී සංකර්ලා වගේ ලෝකේ වෙනස් කරපු මිනිස්සු ලංකාවේ පිරිලා. ඉස්සර හිටිය වල් බුත දේශපාලනඥයෝ එහේ නෑ සර්. අපේ නේරු ගාන්ධි වගේ නායකයෝ තමා එහේ ඉන්න ඔක්කොම නායකයෝ.. කා කොටා ගැනිලි පාතාල ප්‍රහාර එහේ නෑ සර්. ස්ට්‍රයික් උද්ඝෝෂණ ඔය මුකුත්ම නෑ. හැමෝම කැපවෙලා වැඩ කරනවා. හරියට ජපානේ මිනිස්සු වගේ.. ඔවුන් ලංකාව දියුණු කරවනවා. උන් හැම අතින්ම අපිට වඩා සැහෙන්න ඉස්සරහින් ඉන්නේ.. අපිට ඉස්සරහට ඔයිට වඩා දේවල් අහන්න ලැබේවි සර්."  මහාචාර්යතුමාගේ හඬේහි කලින් වූ ප්‍රතාපවත් ගති නැත. ඔහේ කියවාගෙන ගියේය.
 
"ඉතින් ප්‍රකාශ්.... දැන්වත් කියනවකෝ ඔය ක්‍රමේ මොකද්ද කියල...?" ජනාධිපතිතුමාට ප්‍රශ්න ගොඩක සිර වී ඇති බවක් හැඟී ගියේය.

"මේකයි සර්.. ඇත්තටම කිව්වොත් මේක අපේම ඉන්දියානු දෙයක්. ඒත් ලංකාව කලේ ඒකෙ තිබුන වටිනාකමින් ප්‍රයෝජන ගත්තා. අනම් එක්ක අපි ඒක අත ඇරියා.. ඒ තමයි සර් කේන්දරේ...."


කාමරය තුල හුන් සියල්ලෝම "කේන්දරේ.." කියමින් මුමුන්නට විය.
ඇත්ත මොකක් දැයි කිසිත් නොදන්නා ඔයුන්ගේ මිමිණිම ගණන් නොගත් ප්‍රකාශ් දිගටම කියවන්නේය. අවට පරිසරයද වැහිබරය. මහාචාර්යවරයාගේ මුහුනද වැහිබර අහසක් මෙන් කිසිදු හැඟීමක් නැත්තේය.

"මේක පටන් ගන්නේ 2080 දී විතර ලංකාවේ හිටිය උදාර සුදසිංහ කියන මහාචාර්යවරයා. උදාර ඉන්දියාවට ඇවිත් අවුරුදු 10ක් ජෝතිෂ්‍යය ඉගෙන ගන්නවා. අපේ නම් එක ගුරු කුලෙකින් ඉගෙන ගත්තොත් ආයේ වෙන කාවවත් ගාවට යන්නේ නෑනේ. ඒ උනාට මේ මනුස්සයා ඉන්දියාවේ තිබුණ හැම ගුරු කුලේකටම ගිහින් ජෝතිෂ්‍යය ඉගෙනගෙන තියෙනවා. ඔහුගේ කපටිකම කොච්චරද කියනවා නම් ඒ හැම ආචර්යවරයෙක්ම හිතලා තියෙන්නේ මෙයා මුලින්ම ඉගෙන ගන්නේ මගෙන් කියල..  අවුරුදු 10 අවසාන වෙද්දී ලංකාවට ගිහින් අර හැම ගුරු කුලේම ඉගෙනගනිපු දේවල් ගැන හොයල බලලා වඩා නිවැරදි ජෝතිෂ්‍යයක් උදාර හදාගෙන තියෙනවා.. "
අතට ගත් ලිපි ගොනුව පෙරලමින් මහාචාර්යතුමා කියවා ගෙන ගියේය.

 "ජෝතිෂ්‍යයක් කොහොමද සර් රටක් දියුණු කලේ..?" සරදම් සිනාවකින් ප්‍රකාශ් දෙස බැලු රාජේශ් පැවසිය.

"අන්න ඒක තමා මමත් කියන්නේ... අර නිවැරදි කියලා උදාර හදාගනිපු ජෝතිෂ්‍යය ලංකාවේ හිටිය දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවෝ පිරිසක් එකතුවෙලා උපන් වෙලාව දුන්නම 100% ක්ම නිවැරදි කේන්දරයක් බලාගන්න පුළුවන් software එකක් හදලා රජයට බාර දෙනවා. ඔවුන්ගේ රහසිගතභාවය කියන්නේ. ඉගෙන ගෙන ආපු උදාර විස්තර ටික දෙනකන් ඉංජිනේරුවෝ දන්නේ නෑ මෙහෙම දෙයක් ගැන.. ඒ අය හිතලා තියෙන්නේ කලින් හැදුවා වගේ සාමාන්‍ය වැඩක් කියලා.. ඒත් ඒ අයට මේකේ වගකීම පහදලා දුන්නම එයාලත් උදාර වගේම රහසේ වැඩේ කරලා."



රාජේශ් නාදන් බිම බලා ගෙන අසා සිටියේය.. රාජේශ්, තමාට වඩා උදාර කොච්චර බුද්ධිමත් දැයි සිතෙන්නට ඇතියි රාජේශ් දෙස් බැලු ජනාධිපතිතුමා නිහඩවම සිතුවේය.

මේ කතාව ඉවර උනාම අපිටත් මේක ක්‍රියාත්මක කරන්න විදියක් හදන්න යෝජනා කරන්න ඕනෙයි අගමැතිනිය ජනාධිපතිතුමාගේ කනට කෙඳිරිය.
තාමත් ප්‍රකාශ්ගේ කතාව නැවතී නැත.

"ලංකාව වටේ තියෙන ඉස්පිරිතාල වලට අර software එක දීලා දරු උපතක් වෙන වෙලාවට හරියටම නියම වෙලාව බලලා ඒ වෙලාවට දරුවාගේ කේන්දරේ හදනවා. ඉස්සර වගේ මාස ගානක් ගිහින් නෙමේ කේන්දරේ හදන්නේ. උප්පැන්න සහතිකේටත් කලින් තමා ලංකාවේ කේන්දරේ හදන්නේ. අර කේන්දරෙන් දරුවාගේ අනාගතය මොන වගේද කියල බලලා දරුවාගේ අනාගතේට හරි යන්න පසුබිම හදලා දරුවා ගැන සැලකිල්ලෙන් ඉන්නවා. අම්මල තාත්තල
අකමැතිත් නෑ.. ලංකාවේ මිනිස්සු කේන්දරේ ගැන පුදුම විදියට විස්වාස කරනවනේ.. ඒක නිසා දරුවට හොඳක් වේවි කියලා ඒ මිනිස්සුත් රජය කියන විදියට වඩා කරනවා.. ඔය වැඩේ වෙන්නේ මෙහෙමයි සර් " මහාචාර්යවරයා වතුර ටිකක් උගුරට හලා ගත්තේය.
"දැන් අපි හිතමු දරුවාගේ කේන්දරෙන් පෙන්නනවා දරුවා අනාගතේ ව්‍යාපාරිකයෙක් වෙනවා කියලා. ඒත් ඒ දරුවා ඉන්නේ දුප්පත් තැනක. ඒ දරුවට අවුරුදු 10 ඉඳලම රජයෙන් ව්‍යාපාර ගැන දැනුම දෙන්න සම්මන්ත්‍රණ වලට.... ප්‍රදර්ශන වලට..... සමුළු වලට.... සහභාගී කරවනවා... අතට සල්ලි දීලා ඒක කළමනාකරණය කරන හැටි උගන්නනවා. ලංකා රජය මගින් කරන ව්‍යාපාර වල පුහුණුවක් ලබා දෙනවා.. ව්‍යාපාර වලට ඕනේ කරන දැනුම ලබා දෙනවා..  ඉතින් සර් ඕවා ඔහොම වෙද්දී හැදෙන තරුණයා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.. ඔන්න ඔය වගේ ඉතින් ඔබතුමා හිතන්න අවුරුදු 10 ඉඳන්ම ඔය විදියට තමන්ගේ අනාගතේට වැඩ පිළිවෙලක් තියෙද්දී රටක් දියුණු නොවී තියේවිද...? ඔය කේන්දරෙත් එක්කම ලංකාවේ හිටියා ඔබතුමාගේ පියත් එක්ක සමීප සම්බන්දතාවක් තිබ්බ වේවැල්දෙණියේ සුමංගල හාමුදුරුවෝ මතකද...? උන්නාන්සේ තවත් දෙයක් ඔය වැඩ පිළිවෙලට අඳුන්වලා දෙනවා. අන්න ඒක තාම සර් භයානකම...."  

මහාචාර්යතුමාගෙන් ඇස් නලළේය. එහි ඇති භයානකකමට දෝ යටි තොලට දැමු හින් දාඩිය ටිෂු කොලයක් උරා ගත්තේය.

අන්න ඒ භයානකම දේ අහන්න අනිවාර්යයෙන්ම අන්තිම කොටසත් බලන්න එන්න.

අඩු පාඩු තියේ නම් කියලා යන්න.. මොකද ඒක තමා සහෝදරත්වය.

සැ. යු :- මේ කතාව මගේම කතාව වුනත් මේකේ පදනම මට යාලුවෙක් කියපු කතාවක් ආශ්‍රයෙන් මමම ගොඩ නැගුවක්. යාලුවත් ඒ කතාව කියවලා තිබුනේ පොතකින්. ඒත් ඒ පොතේ නමවත් කතුවරයාගේ නමවත් මතක නැති එක ලොකු පාඩුවක්.. ඒ ගැන සමා වෙන්න.


 


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...