මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Friday, March 16, 2012

එන්න අපි දුවමු..

සමාවෙන්න ඕනේ පරක්කු උනාට.ටික කාලයක් නිහඩවම හිටියනේ.. ඒත් ඔන්න මට අලුත් දෙයක් හිතුණා.. මේ දේ නම් සුදාගේ ඇස් දෙකටම දැකපු දෙයක්.. ඒක නිසා ඒ ගැන කියන්න කලින් දැකපු දේ ගැන කියන්න ඕනනේ..
මේ ගිය අඟහරුවාදා… පන්ති ගිහිල්ල එන ගමන් 62-7372 කරාපිටිය ගාල්ල ලංගම බස් රථයේ මම හිටියා.. මහන්සි ඇතුව හෝ නැතුව මම නම් බස් එකකට නගින්නෙම ආසනයක් බලාගෙන. මම නැග්ගේ ස්ටෑන්ඩ් එකෙන් නිසා මට නම් ආසනයක් හම්බුනා.ඒත් ඉතින් දකුණු ලකේ අග නගරේ ගාල්ලේ අය දන්නවනේ ඔය පාරේ යන බස් ස්ටෑන්ඩ් එකේ ඉඳල පුස්තකාලේ හරියට එන්න යන වෙලාව.. මමත් ඔහේ වාඩි වෙලා පාර දිහා බලාගෙන ආවා.. පුස්තකාලේ ගාව නැවත්තුවම එතැනදී ක්‍රිස්තියානි ආගමේ කාන්තා පුජ්‍ය පක්ෂය ලෙස හැඳින්වෙන කන්‍යා සොයුරියක් සරල සිංහලෙන් කිව්වොත් සිස්ටර් කෙනෙක් තවත් පොඩි දරුවෙක් එක්ක ඉස්සරහ දොරින් නැග්ගා. මෙතුමිය රියදුරු ආසනය පිටිපස්සේ තියෙන පුජ්‍ය පක්ෂය සඳහා වෙන් කරලා තිබෙන ආසනය වෙත ඇවිත් හිට ගත්තා. ඒත් මම දැකපු විදියට එතන හිටිය කව්රුවත් ඇයට ආසනයක් දෙන්න උත්සහ කලේ නෑ.. සාමාන්‍යයෙන් කාන්තා පුජ්‍ය පක්ෂය සඳහා දෙන්නේ දොර පැත්තේ තියෙන ආසනයක්.. ඒත් ඒ පැත්තෙන් කව්රුවක්වත් ආසනයක් දෙන්න ඉදිරිපත් උනෙත් නෑ.. ඇය අසරණව වටපිට බලලා ඉදිරිය බලා ගත්තා.. මොනවා කරන්නද කියල හිතෙන්න ඇති…? (සමා වෙන්න ඕන ඒත් මේ ගැන නොකියම බෑ.. ඔය බස් එකේ කන්‍යාරාමයේ(Convent) නිල ඇඳුම දරපු සහෝදරියොත් ටිකක් හිටියා.. ඒත් ඒ අයගේවත් මම නැගිටින්න උත්සහයක්  ගන්න බවක් නම් මම දැක්කේ නෑ. ). මම බෞද්ධාගමේ..එහෙමයි කියල සිස්ටර්ට නැගිටලා යන්න දෙන්න තරම් අකාරුණික වෙන්න මට උගන්නල තිබුනේ නෑ. මම ඇයට ආසනය දෙන්න නැගිටලා ඉදිරියට යද්දීම තවත් අක්කා කෙනෙක් නැගිටලා  ආසනය දෙන්න ඉදිරිපත් උණා..ඔසරිය ඇඳපු අක්ක කෙනෙක්.. ආගම කෙසේ වෙතත් මට නියම සිංහල කෙල්ලක් කියල නම් දැනුණා. මම එතුමියට කතා කරා.. කොහොම උනත් අර අක්කා දීපු ආසනයේ තමා සිස්ටර් වාඩි උනේ. මගේ ආසනයේ වාඩි නොවීම ගැන මට තරහක්වත් දුකක්වත් ඇති උනේ නෑ.. මොකද උදව්ව කලේ හිත සතුටින් මිසක් වැඩර් වෙන්න ඕන කමකින් නෙමේ නිසා වෙන්න ඇති.. මම ඒ දෙන්නගෙන්ම දැක්කේ මනුස්සකම පිරුණු හිනාවක්… ඒ දෙන්නගෙන්ම මිස් ශ්‍රී ලංකා යන්න තරම් ලස්සනක් තිබුනේ නෑ.. ඒත් ලොවක් දණ ගස්වන්න පුළුවන් තරමේ අහිංසක දයාබර හිනාවක් නම් තිබුණා කියල මට හිතුණා.. මට එහා පැත්තේ ආසනයෙයි එතුමිය හිටියේ.. මම නොකියම බහින්නයි හැදුවේ… ඒත් එතුමිය මම දිහා බලලා
“දෙවි පිහිටයි  දරුවෝ”
කියනවා නම් ඇහුණා. ඇත්තමයි ඒ වගේ සතුටක් නම් මට කවදාවත් දැනිල තිබුනේ නෑ… මම බස් එකෙන් බැස්සේ පුදුමාකාර සතුටකින්..
ඔන්න ඕකයි කතාව. කතාව කිව්වට විතරක් මදිනේ පසුවදනකුත් ඕනනේ….
මම අයෙත් වතාවක් පැහැදිලිවම කියනවා මම බෞද්ධයෙක්.. ඉර බැහැගෙන ගිය අදත් ,හඳ පායලා තියෙන මේ රෑත්, ආපහු ඉර පායන හෙටත් මම බෞද්ධයෙක්ම තමා.. ඒත් ඒ උප්පැන්නෙට නම් නෙමේ. මට ඕන උනේ අර්ථාන්විත බෞද්ධයෙක් වෙන්නයි.. හැම ආගමකටම ගරු කරන ආදරය කරන මිනිහෙක් වෙන්නයි. නිකමට හිතන්න අපේ ආගමේ ඉන්න දස සිල් මාතාවකට ඔහොම උණා නම් ඇය මොන තරම් අසරණ වේවිද…? තමන් උපමා කරන් හැසිරෙන්න කියලයි  බුදු හාමුදුරුවෝ කිව්වේ. ඒ වගේම අමතක කරන්න එපා බුදු සමිඳු 100% පූර්ණ නිදහසක් දුන්නා ආගමික නිදහස වෙනුවෙන්..  පන්සලක් පල්ලියක් බෝධියක් දැක්කම නැගිට නැගිට වඳින මිනිස්සු ඉන්න අපේ රටේ අර සිස්ටර්ට ආසනයක් දෙන්න කෙනෙක් නැති උන එක ගැන නම් මට කණගාටුයි.. බිම පෙරලි පෙරලි වඳින කෙනෙක් නොවී ඇත්ත ඇති සැටියෙන් දකින්නයි ඕන කලේ.. මේ බෞද්ධයා ක්‍රිස්තියානි කිරීමේ ව්‍යාපෘතියක  ප්‍රචාරක සටහනක් නම් නෙමේ.. මම කියන්නේ මෙච්චරයි..  ලෝකේ දරුණුයි.. අපි හැමෝම තැලිලා මිරිකිලයි ඉන්නේ.. ඒක නිසා උදව්වක් ඕන තැනදී ඔබේ දෑත් දිගු කරන්න මැලි වෙන්න එපා.. ඒ අත කළුද සුදුද වයසකද තරුණද ගැහැනුද පිරිමිද කියල බලන්න එපා.. එක කරුණාවන්ත බැල්මකින් දිගු කරන දෑත තිරිසන් බැල්මක් දුටු විගස ආපස්සට ගන්න අමතක කරන්නත් එපා.. නැතිනම් ඔබ අපායටම ඇදල දාලා මිසක් ඔවුන් නවතින එකක් නැති වේවි… ඔබේ උදව්වයි දයාවයි ආදරයයි පිරුණ ලෝකය මිට වඩා හුඟක් ලස්සන ලෝකයක් බව මට විස්වාසයි.. එන්න ඔබත් ඒ ලෝකේ ඇවිද යන්නට.. හිමින් ගියොත් පමා වේවි..



“එන්න අපි අත් වැල් බැඳන් ඒ ලෝකෙට දුවමු..”


http://nutz.me/2012/03/%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%94/

Friday, March 9, 2012

විනාඩි 5 ක් දෙන්න

වෙලාව එහෙමත් නැතිනම් කාලය.


කාලය විවිධාකාරයිනේ.හොඳ කාලය,නරක කාලය,තව තියෙනවා... අපිට හොඳ උනත් නරක උනත් කාලය ගෙවිල යනවා.තවත් කෙනෙක්ට නරක කලෙකදී අපිට හොඳ කාලයක් වෙන්න පුළුවන්.ඔය කාලය කන කෙනාට තමා කාලකන්නියා කියන්නේ..


සිංහල අපි කියනවනේ කාලය රන් හා සමානයි කියල.මේ වෙද්දී ඒක සම්පුර්ණයෙන්ම බොරුවක් වෙලා.මේ ලෝකේ තියෙන අමිලම දේ තමා කාලය කියන්නේ.නැති උන රත්තරන් උනත් සල්ලි තියේනම් ආපහු ගන්න පුළුවන්.ඒත් නැති උන කාලයක් කිසිදාක ආපහු ගන්න බෑ නේද..?ගෙවෙන හැම තත්පරයක්ම ජිවිතයට අත්දැකීමක් එකතු කරලයි නැති වෙන්නේ.එකී කාලයට අවුරුද්ද,මාසය,සතිය.දවස,පැය,විනාඩිය,තත්පරය කියල වටිනාකම් දීල තියෙන්නේ.අමතක කරන්න එපා ලෝකේ සමහරුන්ට තත්පරෙන් 10න් එකත් වටිනවා.ඒ කියන්නේ ඇහිපිය ගහනවටත් වඩා අඩු කාලයක්.ඔබට ලැබිල තියෙන්නේ බොහොම සීමිත කාලයක්.ඒක තත්පර වලින් ගත්තොත් කල්පයක් වගේ.ඒත් දශක විදියට ගත්තොත් උපරිම 10යිනේ.ඒක නිසා ගෙවෙන හැම තත්පරයෙන්ම වැඩ ගනිමු.

ඔය ලංකාවේ ව්‍යාපාරික ලෝකයේ ඉහල ඉන්න බොහොමයක් අය කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිපු අය.අපේ සමකාලීනයෝ ගත්තොත් ඔය කාලයෙන් උපරිම ප්‍රයෝජන අරන් තියෙන අය තමා පහුගිය උසස් පෙළ වලදී උසස් ලෙසම ප්‍රතිපල අරන් තියෙන්නේ.එයාල කියාවි අපි අරක කලා මේක කලා කියල.එත් අමතක කරන්න එපා එයාලගේ කාලයේ දිශානතිය තිබුනේ A3 ක් කියන අරමුණ වෙනුවෙන් බව.ඔය මොන දේ කලත් එයාලගේ ඒ දිශානතිය වෙනස් වෙලා නෑ.විභාගේ අන්තිම දවස වෙනකනුත්.(අහලා බලන්න) අපි කාලය කොච්ච්චර අපතේ යවනවද කිව්වොත් ජිවිත කාලෙන් හරි අඩක්ම අපි නින්ද සඳහායි වැය කරන්නේ.ඉතුරු කාලයේත් අපි බලන් හිටියොත් කාලය ඔහේ ගලා ගෙන යාවි.එත් අපි එතනමයි නේද..?ජපානයේ මිනිස්සුන්ගෙන් දුම්රියේ යද්දීත් (45km යන්න පැයක් යන දුම්රි තියෙන්නේ ලංකාවේ), දුම්රියක් එනකනුත් පොතක් කියවන දසුනක් දකින එක හරිම සුලබයි.අනික එහෙ මිනිස්සු මෙහෙ වගේ "cat walk " එකෙන් ලතාවට පැද්දී පැද්දි භූතයෝ වගේ යන ගමනක් නෙමේ තියෙන්නේත්.ඔවුන් ඒ ඇවිදින වෙලාව පවා අවම කරලා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.ඒ ඔවුන්ගේ ජිවන රටාව.ඉතාම පැහැදිලියි ඒක ඔවුන්ගේ සංවර්දනයට ප්‍රධාන හේතුවක් කියල.6S,5S නෙමේ ලංකවට ඕනේ.කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදියක් දවසක කියල දෙන්න පුළුවන් නම් ඊට පහුවෙනිදට ලංකාව කොතනද කියල ඔබට වත් හිතා ගන්න බැරි වේවි.මේ facebook උනත් කරන්නේ කාලය කා දැමීමක් නෙමේද?. facebook නරකයි කියනවා නෙමේ. එත් බලන්න ඒක නිසා අපිට දවසට කොච්චර කාලයක් නාස්තියක් වෙනවද කියල..

කාලය නවත්තන්න අපිට බැරි වේවි. එත් අපේ හිත නවත්ත ගෙන තොණ්ඩුව දාන්න නම් පුළුවන් වේවි.(අවවාදයට වඩා ආදර්ශය උතුම් කියල මමත් ඒක පිළිපදිනවා) අමතක කරන්න එපා.නැති වෙන්නේ අපේ කාලය, අපේ සංවර්ධනය කියල;

තවත් දෙයක් කාලයට අර්ථයක් දෙන්න. සිදු වූ දේ,දුටු දේ,ඇසු දේ අමතක වේවි.. එත් ඒ කාලය නිසා ඇති වූ හැඟීම කාලයක්ම තියේවි.
මේ ආරාධනය වඩා යහපත් හැඟීමක් වෙනුවෙනුයි :)

අහන් ඉන්න..


අහගෙන ගෙන ඉන්න පුලුවන්ද...? ඊයේ දවල් ඉඳන් මගේ හිත මොනවද මුමුණනවා.. අහන් ඉන්නවා නේද...?සමහර මගේ යාළුවෝ දන්නවා ඇති පොඩි උවමනාවක් වෙනුවෙන් මම ඊයේ කොළඹ ගියා කියලා.මේ අවුරුදු 20ටම මට මේ වගේ සිද්ධියක් අත්විඳින්න උන පළවෙනි අවස්ථාව.මේ ඒ ගැන මගේ හිත මුමුණන දේයි.

කොළඹ ගිය අතරේ මම මගේ පොඩි උවමනාවකට ප්‍රසිද්ධ පොත් සැලකටත් ගියා.එතන මට ඕන පොතත් අරන් පඩිපෙළ බහිද්දී මම දැක්කේ ඇස් වලින් ලෝකය දකින්නේ නැති තරුණියක්.හැබැයි ඒ කාන්තාව මුළු ලෝකයම දකින විඳින කෙනෙක් කියලා මට පස්සේ තේරුණා (එත් ඒ කාන්තාව පොට්ටවත් කණෙක්වත් නෙමේ කියලා මම කියන්නේ ඒකයි) එයාට පඩිපෙළ බහින්න අමාරුවෙන් හිටියේ මම එයාගෙන් ඇහුවම උදව් කරන්නද කියල එයාගේ මුණේ ලාවට හිනාවක් ගියා.

"එත් අනුකම්පාවෙන් නම් එපා..."

එයා කිව්වා.එයාට පාර පනින්නත් ඕනේ වෙලයි තිබුනේ.එතන ටිකක් ජනාකීර්ණ වාහන අධික මංසන්ධියක්.ඒක නිසා මමත් එයාට පාර මාරු වෙන්න උදව් කලා.උත්පලා ටෙලි නාට්‍යයේ උත්පලා තරම්වත් Fanna Film එකේ අන්ධ කාන්තාව තරම්වත් ලස්සනක් මම එයාගෙන් දැක්කේ නෑ.ඒත් මට පුදුම හිතුණා එයා ආර්ථික විද්‍යාව පිලිබඳ ගෞරව උපධිදාරිනියක් කිව්වාම.ඒ අක්කා මට ස්තුතියි කරලා යන්න ගියා.ඒත් ඒ මගේ හිතින් නම් නෙමේ,ඒ අනුකම්පාවක්වත් ආදරයක් නිසාවත් නෙමේ.අන්තිමටම ඇස් පේන මට ඒ අක්කා කිව්වේ

"මල්ලි විශ්ව විද්‍යාලය හැමදේම තියෙන තැනක්.අපිට ඕන දේ විතරක් ගන්න පුළුවන් නම් අපි දක්ෂයි.ඇස් නොපෙනෙන මම ඒවයින් හොඳම දේ තෝරලා ගත්තනම්,මල්ලිට වරදින්න විදියක් නෑනේ.පරිස්සමින් යන්න"

කියල විතරයි.එත් කොළොඹ ඉඳන් ගාල්ලට එනකම්ම මට හිතුනේ ඇත්තටම අපි දෙන්නගෙන් අන්ධ කව්දැයි කියල.ඒ අක්කට කවදාවත් Facebook එන්න හම්බ වෙන්නේත් නෑ.Requset දාල comfirm කරාම චැට් කරන්න වෙන්නෙත් නෑ.එත් ඒ අක්කට අඩු මොනාද....? අක්කේ නුඹේ ඇස පේනවා.පාට පාට එළි වලට අහුවුණ අපියි අන්ධ....

ඔය සිද්ධිය උනේ දවල්..මේ ඊයේ රෑ උණ සිදුවීමක්.එක්තරා නාලිකාවක සංගීත නිර්මාණ සඳහා සම්මාන ප්‍රදානය කලා කියල දන්නවානේ.ඒක වැඩක් ඇති දෙයක් නැති නිසා මම බැලුවේ නැති උනත් මමත් ඕක යන්තම් දැක්ක.ඒකෙදි හොඳම නිර්මාණකරුවා විදියට තේරුනේ මේඛලා ගමගේ නම් ගායිකාවයි.ඒත් ඇස් පෙන්නේ නැති කලාකරුවෙක්.එයා ජනප්‍රියම තරුව නොවෙන්න පුළුවන්.කෑලි කැපිය හැකි ගණ අඳුරකින් පිරුණ ඇගේ ලෝකයෙන් ලාංකීය සංගීත කේෂ්ත්‍රයේ හොඳම කලාකාරිනිය වෙනවා කියන එක නම් ලේසිපාසු වැඩක් නෙමේ.අනික ඒ තුට්ටු දෙකේ සිල්ලර නිර්මාණයක් සඳහාත් නෙමේ.ඔබ ඒ ගීතය රස විඳලා ඇති අනන්තවත්.මම දකින මෑත කාලීන විශිෂ්ටතම නිර්මාණය කියල කියන්න පුළුවන්.ඒ තරම් උසස් නිර්මාණයක්.ඔසරිය ඇඳලා අම්මත් එක්ක වේදිකාවට ඇවිත් සම්මානය අරන් නිර්මාණය කරන්න උදව් කරපු අයට ස්තුතියි කරපු විදිය හරිම පුදුමයි.ගවුම් කෑල්ලක් නාන රෙද්දක් ඇඳන් එන්නේ නැතුව සිංහල කාන්තාවක් වගේ ඔසරියක් ඇඳන් ආපු මේඛලා අක්කේ නුඹ දිනුවේ ඒ වෙලාවේ නැගිටලා අත්පොලසන් දුන්න ප්‍රේක්ෂක ජනතාව විතරක් නෙමේ නුඹට පෙන්නේ නැති මුළු ලෝකයත් එක්ක බව නම් කියන්නම ඕනේ.ඇස් පෙන්නේ නැති අක්කා ඔය පද පේලි ටික ඇඟිලි තුඩු වලින් බ්‍රේල් ක්‍රමයට එක පාරක් කියවද්දී අපිට ඇස වලින් බලලා දෙපාරක් කියවන්න බැරි කමක් නෑ.මම දන්නවා නුඹත් උපාධිදාරිනියක් කියල....

ඇස් නොපෙනෙන නුඹලා ගන්න වීර්යයි ඇස් පේන අපි ගන්න වීර්යයි එකම තරාදියකින් නම් කිරන්න බැරි වේවි.නුඹලාගේ වීර්යය ඒ තරම් බරයි අක්කේ. අනුකම්පාවේ ඇඟිලි ගුලි ගැහුණු දයාබරත්වයේ දෑත් ඔවූනට ශක්තියක්.ඒ දෑත් දිගු කරන්න ලජ්ජා වෙන්නවත් අමතක කරන්නවත් එපා.මේත් අපේ ලෝකයම දිනන්න පාරමිතා පුරන අක්කලා අයියල නංගිලා මල්ලිලා බව නම් එක තත්පරයකටවත් අමතක කරන්න නම් එපා.
"සිලි සිලියේ හමන සුළග කොඳුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය නුඹටයි නුඹගෙයි"

Tuesday, March 6, 2012

නමෝ නමෝ බුද්ධ දිවාකාරය

අලුතෙන් පදිංචි වෙන්න යන ගෙදරකට උනත් ඉස්සෙලම ගේ ඇතුලට අරගෙන යන්නේ බෞද්ධ අපි, බුදු පිළිමයක් නේ. මාත් මගේ blog  එකට ඉස් ඉස්සෙල්ලම ඒ සම්ප්‍රදාය රැක ගෙන බුදු පිළිමයක් අරගෙන ගොඩ උනා... එහෙනම් අවසරයි සුදාගේ සිතුවිල්ලක් අරගෙන අනාගතයට පය තබන්න......

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...