මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Friday, August 1, 2014

ගීයකින් කෙසේ කියම් සිතුම් ලයේ...

ගිය බදාදත් සුපුරුදු විදියටම මුණුපොතේ රාජකාරියට හවස් වරුවේ වැඩ මුරේට වාර්තා කළා. හැබැයි චැට් එකට ආපු කොල්ලෙක් මැසේජ් එකක් එවනවා

"මචං මට call එකක් ගනින් හොඳ කොල්ලා වගේ...."
හදිස්සියක්ද දන්නේ නෑනේ. මාත් call
එකක් ගත්තා


"ටී.............න් ටී.............න්"
මට හලෝවත් කියන්න උනේ නෑ

" මචං සිකුරාදා මාතර ජනක සර්ට උපහාර උත්සවයක් තියෙනවා. ඒකට මචං සින්දුවක් හදල ඕනේ. මේ ලොකු ලොකු වචන දන්නා එපා. අර සියක් ආයු ලැබ වගේ ටයිප් එකට වගේ නම් එල. එහෙනම් පුළුවන්නේ. රෑට ලියලා එවහන් හොඳේ."
ඔක්කොම කිව්වම පස්සේ තමා මට කතා කරන්න හම්බුණේ

"මම ලියන්න බලන්නම්... "
ඔතනින් කතාබහ නම් ඉවරයි. ඒත් දෙයියනේ මේ හදිස්සියේ සින්දු ලියන්න මට පුළුවන්ය. මගේ හිත කිව්වා.. මමත් වැඩිය ගණන් නොගෙන් ඔහේ හිටිය. ඒ සැරේ ආයෙම චැට් එකට මැසේජ් එකක් එනවා

"මේ බන් උඹ අරක ලියන්නේ නැද්ද..?"
ඒ සැරේ තමා මටත් තේරුනේ. හොඳද නරකද මන්ද වචන ටිකක් එකතු කරලා chorous එකේ පද ටික චැට් එකේම යැව්වා.
සින්දුවේ තියෙන්නේ ඒ chorous එක නෙමේ. පොඩ්ඩක් වෙනස්. චැට් එකේම රිප්ලයි එනවා

අයියෝ බන් අපේ උන්ට "ඥානාලෝකය" කියන කෑල්ල කියව ගන්න බැරි වේවිද දන්නේ නෑනේ.. පොඩ්ඩක් "ඥානාලෝකය පතුරාලු පහන් ටැඹක් සේ" පේළිය අයින් කරලා වෙන එකක් දාපන්"
කොහොමින් කොහොම හරි මෙන්න මේ පද ටික ලිය උණා.

බොර දිය වතුරේ මහ මඩ වගුරේ
සුවඳ බෙදාලන සුදු නෙළුමක් සේ
අඳුර නැසූ නැණ මිණී පහනක් සේ
පින්බර ඇදුරිඳු ඔබයි මනු ලොවේ

කිරුළු දරන්නට රජුන් තනාලු
දිවි කතරේ ජය ටැඹ පෙන්වාලු
ගුණු සුවඳින් දු පුතුන් මවාලු
පියතුම ඔබ වේ ලොව සනහාලූ

අඳුරු ලොවට සඳ කිරණක් වූ සරු
සුමුදු සුවඳ මල් පෙන්වා ලොව තුරු
මතු දින දෙරණේ සවිය සැදු ගරු
පුදමි වඳිමි මා හද පේවී ගුරු

ඒත් ජීවිතේට හිතුනේ නෑ මෙහෙම අවස්ථාවක් ලැබේවි කියලා. කොහොම උනත් සින්දු නොවුණු පද රචනා හතරක් පහක් විතරක් තිබුණ මට සින්දුවක් ලියන්න ආරාධනාව කරපු මගේ මිත්‍ර ජයවර්ධනට ගොඩක්ම පිං

ජනක අබේවර්ධන සර්ට මේ ගීතය උත්තමාභිවන්දනවක්ම වේවා....!!

මොන දේ ලිව්වත් මට ආදරේ කරන ගෑණු ළමයට නොපෙනන ඉන්නේ නෑ. මොකද මම දන්නවා එයාගෙන් තමා හොඳම comment එක හම්බවෙන්නේ කියල. ළමයෙක්ද මන්ද..? මගේ හිටපු සිංහල ගුරුතුමිය නොහොත් මගේ අම්මා. එයා සැටිස් නම් තව දෙන්නෙකුට වගේ යවනවා. ඔන්ලයින් චැට් තියෙන්නේ නිකමටය නේද..? පුදුමේ කියන්නේ ඔය 3න් දෙනාම මේ සින්දුව වෙනුවෙන් කිසිම ප්‍රමාදයකින් තොරවම එක පාරටම කිව්වා අවුලක් නෑ ලස්සනයි කියලා. ඒ කියන්නේ වැඩේ ශේප්. කොහොම හරි මාරම කට්ටක් කාලා ඔය වචන සෙට් එක සිංදුවකුත් උණා. ඒක මම සින්දුව ලියන්න ගියා වගේ දහස් ගුණයක කට්ටක්. අද උදේම සින්දුව දෙන්න ඕනේ නිසා ඊයේ රෑ 2 වෙනකම්ම නිදිමරන් සින්දුව වෙනුවෙන් මහන්සි උණ සින්දුව කියපු ජවිඳු අයියටත් මියුසික් වැඩ වලින් මහන්සි උණ අංජන අයියටත් චමුපති අයියා රංගන අයියටත් ජයවර්ධන යසින්ත උඹල දෙන්නටත් ගොඩාක් ස්තුතියි.

කෙනෙක්ට පදයක් හදන එක ලේසි කියලද හිතාගෙන ඉන්නේ...?
ඒත් පද 12ක් හදන එක ඒ තරම් ලේසි නෑ. ඒ පද දොළහ සින්දුවක් කරන එක ඊටත් වඩා අමාරුයි. මම හිතන විදියට ජනක සර් වෙනුවෙන්ම විතරක් ලිය උණ මුල්ම සින්දුව මට ලියන්න ලැබුණ එකත් මම ලියපු වචන වලින් හැදුනු මුල්ම සින්දුව ජනක සර් වෙනුවෙන් වීමත් නම් මට කවදාවත් අමතක වෙන එකක් නෑ. ඒකයි මම ආපු ගමන්ම කිව්වේ...

"මම දන්නවා ඒක ලෝකේ තියෙන හොඳම සින්දුව නොවෙන්න බව......
ඒත් ඒක මට නම් කවදාවත් අමතක වෙන්නේ නැති වේවි... :)"

මුණු පොතෙන් like එකක් දානවට වඩා comment එකක් දාල හොඳයි කියනවට වඩා කෙනෙක්ගේ කටින් මගේ කනට තවත් කෙනෙක්ගේ අතින් මගේ අතට අත දීලා ලියපු සින්දුව හොඳයි කියල කියද්දී ඇහෙද්දී දැනෙන සතුට අද උපරිමෙන්ම වින්දා. සුදා මල්ලිව දන්න ගාල්ලේ කොල්ලෝ විතරක් නෙමේ හම්බන්තොටද මාතරද කියලවත් මම හරියට දන්නේ නැති අය ඇවිත් "සින්දුව නියමයි..... ගුඩ් ලක් මචං" මට හිතුණා මට දැනුණා සුදාගේ
සිතුවිල්ලක් අසාර්ථක වෙලා නෑ කියල.

ටික දෙනෙක් සින්දුව ගැන කියන්න කියපු නිසා මේ ටික ලියන්නම්
හැබැයි රසවත් වේවිද දන්නේ නෑ

මතකද සර්ගේ නිසදැසක් තියෙනවා
"කෑකැරුණු බොර දියට
සුපිපි නෙළුමක් ලෙසට
නුඹ හිමිය යම් දිනෙක
මේ විෂම ලෝකයට............."
ඔන්න ඕකේ තමා ආරම්භයක් ගන්න හිතුවේ. සර්නුත් අපි වගේම සමාජේ බොර දියේ මඩ වගුරේ ඉන්න කෙනෙක්ම තමා, ඒත් සර්ගේ වෙනස සර් ඒ මඩේ ඉඳන් මඩ ගඳ වලට එහා ගිය උතුම් සුවඳක් බෙදා ගෙන මඩේ නොගැවී ඉන්න කෙනෙක්. එහෙම නෑ කියලා කාටවත් කියන්න බෑ. නිකම්ම නිකන් පහනකටත් අදුර නසන්න පුළුවන්. ඒත් ඒ පහන මැණික් වලින් හදපු පහනක් නම් ඊට වඩා වටිනාකමක් එළියක් තියෙනවා නේද..? භෞතික විද්‍යාව දන්නා අයට ඕනේ නම් ආලෝක පරාවර්තනය වර්තනය අවධි කෝණය ගැන එහෙම හිතුවට වරදක් නෑ. අපි මැත්ස් කරපු අය විතරක් නෙමේ ගාල්ල මාතර හම්බන්තොට මැත්ස් බයෝ ආර්ට්ස් කොමර්ස් කරපු හැම දෙනාම දැන් දන්නවා ජනක සර් කියන්නේ මනුස්ස ලෝකෙට ඉපදුන පින්බර පින්වන්ත ගුරු උතුමෙක් බව. එහෙම අයට විතරයි මෙහෙම ආයාසයකින් තොරව පැසසුම් ප්‍රශංසා ලබන්නත් පුළුවන් වෙන්නේ..

සර් හැදුවේ නිකම්ම නිකන් ළමයි ටිකක් නෙමේ. අනාගතේ රට බාර ගන්න ඉන්න ඉංජිනේරුවෝ විතරක් නෙමේ නළුවෝ..... ඒ විතරකුත් නෙමේ රට බර ගන්න ඉන්න රජ පැටව් ටිකකුයි සර් හැදුවේ. ජිවිතේ දුෂ්කරයි.. ඒකයි කතරක් කියලා කිව්වේ ඒ කතරේදී ජය ටැඹක් කියන්නේ මොකද්ද කියල ආයේ අමුතුවෙන් මොනවා කියන්නද..? ඒකයි හැම ප්‍රශ්නෙකටම අපි සර් ගාවට දුවන් එන්නේ.. එතන තමා හොඳම විසදුම තියෙන්නේ. උගත් මෝඩයෙක් හදන එකට වඩා ගුණ සුවඳින් පිරි මිනිහෙක් හදන එක අමාරුයි. ලෝකයක් සනසවපු තාත්ත කෙනෙක් වගේ සර්නුත් ගුණ සුවඳින් පිරිච්ච ළමයි ටිකක් හැදුවා. ඒකයි සර්ගේ වෙනස

අඳුරු ලෝකයට ඕනෑම ආලෝක කිරණයක් කියන්නේ මාරම වටිනා දෙයක්. ඒ ඒ කිරණ දුර්වල උනොත් වැඩක් නෑ. ඉර එලිය සාරවත් උනත් අදික රස්නෙන් අපිව පිඩා කලොත් වැඩක් නෑ. ඒත් සාරවත් සිසිල් හඳ එලිය වගේ කරුණාවෙන් සර් අපිට අපේ කළුවර ලෝකෙට ආලෝකයක් උණා. ලෝකේ ඉහල අතු පතර වල තිබුණු සිහින සුමුදු සුවඳ මල් පෙන්නුවේ.... යථාර්තයක් කලේ සර්. වර්තමානයේ විතරක් නෙමේ. අනාගතෙත් ගරු කටයුතු ලෙස ශක්තිය සර් හදලා තිබ්බා. ඒකයි මම මගේ හදවත පිරිසිදු කර ගෙන පේ කර ගෙන ඒ ගුරු උතුමන්ව පුදන්නේ වඳින්නේ

සර් ගැන ආයේ අලුතින් කියන්න මට නම් මුකුත් නෑ. අඩුවක් පාඩුවක් තියේනම් comment එකකින් දන්වාවි කියලා හිතනවා

උත්තමාභිවන්දනා ජනක අබේවර්ධන ගුරු උපහාර උත්සවය මට ජිවිතේ හොඳම දවස උණා. මොකද අපේ සින්දුව විතරක්ම නෙමේ.... ඒකෙ තිබුණ මාතර කොල්ලෝ කෙල්ලොන්ගේ සංවිධාන ශක්තිය නැති නම් තවත් එක් උපහාරයක් විතරක්ම වෙන්න තිබ්බා. ආදරය ගුරු භක්තිය විනෝදය එකට එකතු කරපු උඹල හැමෝම වෙනුවෙන් සුදාගේ සිතුවලකින් මෙසේ ආචාර කර සිටින වගයි..
උඹලට ජය...!!
සර්ට තවත් චිරාත් කාලයක් නිදුක්ව නිරෝගිව දහස් සංඛ්‍යාත ගුණ සුවඳින් දූ පුතුන් මවන්නට වාසනාව ලැබේවා....!!

Monday, April 7, 2014

අපි එකම රෑනේ කුරුල්ලෝ (II)...

කියෙව්වෙ නැති නම් කියවලා එන්න........

අපි එකම රෑනේ කුරුල්ලෝ(I)...


 ඒ සිකුරදත් වෙනදා වගේම ඉර පෑව්වා. කිසි වෙනසක් නෑ. ඒත් මොන දේ කරන්නත් තව එක දවසයි. හෙට ස්පොර්ට්ස් ඩේ එක.. අල්පේශාක්‍ය මහේශාක්‍ය තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් මතක් නොවුණට අද දවස හිමීට ප්‍රශ්නයක් නැතිව ගෙවිලා යනවා නම් කියලා හිතුණ වාර අනන්තයි.. නොගිහින් බැරි නිසාම උදේ තිබ්බ ලෙක්චර් වලට හුඟක් අය ගියේ.. හවස් වරුවම මේ වෙනුවෙන් කැප කරන්න හිතාගෙන. ලෙක්චර් එකට ගියේ නැති සිතාරා වල කැන්ටින් එක මැද්දට ආවේ මොකද්දෝ හේතුවකට.. 

සිතාරා කෑම වල සල්ලි දුන්නද...


සිත් ඉස්කොලේ ප්‍රින්සිපල්ට කතා කලාද..

මේ සිතාරා. ටී ෂර්ට් එකේ සල්ලි කාටද දෙන්න ඕනේ..

මේ මට ලණුයි උණ ගසුයි ගන්න ඕනේ... 

හතර වටෙන් එන ඔක්කොම ප්‍රශ්න වලට සිතාරා උත්තර දෙනවා. එහාට මෙහාට හැරි හැරි අහන ප්‍රශ්න ඔක්කොන්ටම උත්තර දිපු සිතාරා කොනක තිබ්බ පුටුවක වාඩි වෙලා හති ඇරියා.



ඒ ජරමර අස්සේ හරියටම.. අවුරුද්දක් තිස්සේ නොදීපු මහපොලක් දෙන්න හරියටම 5ස් වෙනිදා ලේස්ති කරලා. මොනවා කරන්නද.. බැච් එකේ වැඩ කරන උන් හුඟක් අය එදාට ඒකේ. හැමොන්ටම දුකයි. ගොඩක් අයගේ මූණු මැලවිලා. අපේ සී.සී නෝනගේ අතින් ලියවුණ ඉල්ලීම් ගොඩක් අහක ගියා. උන්ට එදා යන්නම උණා. ඒ අස්සේ සූ එකේ එක්සෑම් එකක්. ඒ කියන්නේ බයෝ අයගෙන් ලොකු උදව්වක් එදාට ගන්න බැරි වේවි.. ඒත් මේ මොන එක්සෑම් එක අස්සෙත් නිවේදන කටයුතු ටික ගාණට ලස්සනට කරලා අපිට අඩුවක් නොකරපු නිර්මාණී... ඔයාට ගොඩාක් ස්තුතියි.. වැඩ කරන්න ඉන්න ජනතාව එකින් එක ඔහොම අයින් වෙවී යද්දී.. නඳුන්,

“මේ සුදා.. ටීම් එකකට තුන් දෙනා ගානේ අපේ බැච් එකේ උන් දාලා මට ලිස්ට් එකක් දෙනවද..??” 
කියලා අහනවා. කොහේ ඉන්න උන් දාන්නද..?? කොල්ලෝ එක ටීම් එකක ඉන්න කැමති වේවිද...?? කොහොමින් කොහොම හරි.. තුන් දෙනාගේ නම් ලියන්න කොලේ ගත්තා විතරයි සුනෙතුයි දමිතුයි පැනලා කිව්වා ටීම් එකකට දාන්න කියල. ආයේ වෙන කෙල්ලෝ මොකටද..?? එශානිවත් දැම්මා ඒකට. පැය එකොලහක දොලහක මාර කට්ටක් කාලා ඒත් හදා ගත්තේ ටීම් 8ක් විතරයි..

ඒක ඒතරම් වැඩක්ද නැද්ද කියලා කරලම බලන්න.. මොකද බයෝ පිසිකල් අය කලවම් වෙන්න උදේ ඉඳන් ඉන්න පුළුවන් අය.. පොඩි උන් එක්ක ෆිට් එකේ ඉන්න අය... අව්වේ ඉන්න පුළුවන් අය.. හොයලා ඔහොම ලිස්ට් එකක් හදන එක නම් සිරාම ගේමක්... ඔය අස්සේ ෆුඩ් එකේ අය හදපු බීම එක කූල් කරන්න ශීත්කරණ වලට දාන්න බෝතල් මදි.. කොහොමින් කොහොම හරි... අරෙහෙට මෙහාට දුවලා.. අමිලලගේ බෝඩිම් වලින... අයේශලාගේ ගෙදරින්.. තව ඔය එකී නොකී මෙකී අයවලුන් ගෙනත් දීපු බෝතල් වල බීම එක දාල යාන්තමට ඒ වැඩේත් අහවර කලා.. 

ලා අඳුරත් එක්ක සැරින් සැරේ වැටෙන වැස්ස සුදාගේ හිතට ගෙනාවෙ මහ පව්කාර සිතුවිල්ලක්.. 

"හෙට වැඩේ අවුලක් වේවිද...??" 
එක එක වාහේලා පොඩි උන්ගේ විකාර කරපු හිත් වලට හෙට දවස ගැන බය නැති කරන්න.. අයියලා අක්කලාට අන්තිම වතාවට ආරාධනා කරන්න... හෙට ටී ෂර්ට් එක ඇඳන් එන්න කියන්න... ඒක නැති අයට තියෙන ඇඳුමක් ඇඳන් හරි එන්න කියන්න… බස් එක පිටත් වෙන වෙලාව... තැන… කියලා මූණූ පොතේ පොස්ට් දාන්න වගේ පොඩි පොඩි වැඩ වගයක් තිබ්බට කඩ්ඩ අවුල් මට ඒවා ටිකක් ගේමක් තමා.. 




ගගනයවත් ඇදන් බොරලැස්ගමුව ඉස්කෝලෙට යන්න ගියේ.. අපේ උන්ට අපේ වැඩේට දෙන්න පුළුවන් සපෝර්ට් එකක් දීල එන්න. කෑලි කපන්න පුලුවන් තරමේ කලුවර වැටිලා තියෙන එතන වොට් හැටේ බල්බ් එකක් පත්තු වෙනවා ඈතට දැක්ක. ඒ වෙද්දිත් වැටෙන පොද වැස්සේ තෙමි තෙමි මදුරුවෝ තල තල තෙසරුලා මාලකලා එන්ට්රඈන්ස් එකේ වැඩ. සුනෙත් දමිත් කැන්ගා.. වේනු.. ශාමින්ද.. ෆහීර් අත්වැඩ...



යාන්තමට එළිය තිබ්බ තැනකට සෙට් වෙලා.. අපි දාන්න තිබ්බ පෝස්ට් ටික දාද්දී ප්රාභාත්, උවින්දලා තවත් අයිනකට වෙලා සෘජුෆෝම් කැපුවා. එදා රෑත් අපේ වටේට සීනියර් අයියලා ඇවිත් බලන් හිටියා. ඒ අපි වෙනුවෙන්…. 

ඒ ඔක්කොම වැඩ අස්සේ... හවස ධීරසිංහ අයියා කියපු දේ අපේ හිත් නොසන්සුන් කලා.. 

“ඇයි මල්ලි, ඔයාලා බෙල්ලන්විල ගිහින් පූජාවක් කලේ නැද්ද..?? ” 


මොන දේ උනත් හත් දෙයියනේ කියලා ඔළුවට අත තියා ගන්න අපේ උන්දැලාට දෙයියන්වත් අමතක උණා. 


හෙට උදේම පන්සල් යමු එහෙනම්……

මතු සම්බන්දයි.. තව එකම එක කෑල්ලක් මග...

අපි එකම රෑනේ කුරුල්ලෝ...

වල කැන්ටින් එකේ කොනක කහ පාට මේසේ වට කරන් සුනෙත්, සහන්. නඳුන්, තාරකා, හේශාලි කීප දෙනෙක් වාඩි වෙලා..

මේ.. ස්පොර්ට්ස් ඩේ එකේ වියදම් යන එව්වා කියන්නකෝ..

මියුරු හඬ කෙසේ වෙතත් කොනක වාඩි වෙලා හිටිය සිතාරා කියනවා. ඒ පාර මේසේ වටේ හිටිය අය එක එක්කෙනා එක එක වියදම් කියද්දි සිතරා අතේ තිබ්බ කොලේ අයිනක ඒවා ලියවෙනවා.

“................... දාහයි………….!!

මොකක්...?? මේ පොඩි ඉවෙන්ට් එකට ................ දාහක්.. ගිය අවුරුද්දේ අයියලා අක්කලා කියපු විදියට නැටුවා කරා මොකද වියහියදම් ගැන හෙව්වේ නෑනේ. හැමෝගෙම උඩ ගිහිපු ඇස් වල තිබ්බේ.. කොහෙන් මේ තරම් සල්ලියක් හොයන්නද..??” කියලා. ඒ ප්‍රශ්නේ තිබ්බ විදියටම ඔළුවේ තියන් එදා ආවත් හැමෝගෙම හිතේ සල්ලි ප්‍රශ්නේ හොල්මං කලා කියලා නම් සැකයක් නෑ.

අපේ ටී ෂර්ට් එක
නිල් පාට කොළ පාට එකතු කරලා හදපු ලස්සන ටී ෂර්ට් එකක් සුදාරකගේ (මං තුමා නෙමේ ) අතින් ඇඳිලා මුණු පොතෙන් දොරට වැඩපු වෙලාවේ කියා ගන්න බැරි සතුටක් ගොඩාක් අයගේ හිත් වලට ආවා. "ටී ෂර්ට් එක පට්ට... මටත් එකක් අරන් තියහන්……" වගේ කොමෙන්ට් වැටෙද්දි හිතට දැනුනේ පට්ට සතුටක්. ඒත්....... දෙයියන්ගේ මල්ලි.. මේ සැරෙත් වැට බඳීවිද...?? ............... ගාණක බජට් එකක් ටී ෂර්ට් වලට. සෙකන්ඩ් ඉයර් එකේ හිටි‍ය හුඟාක් අය නොදැකපු ටී ෂර්ට් එකකට සල්ලි දුන්නා. ඒත් මදි…… 

මොනවා කරන්නද...?? අම්මලා දුක් මහන්සියෙන් හම්බ කරලා බැංකු වල පරිස්සමට අරන් තියපු සල්ලි…. තවත් අය රස්සාවල් කරලා හම්බ කර ගනිපු සල්ලි….. ටී ෂර්ට් ටික එළියට ගන්න ලෝබ කමක් නැතුව දුන්නා. ටී ෂර්ට් ටික අපේ අතට ඇවිත් උණු උණු කැවුම් වගේ විකිණෙද්දි අපිට දැනුණ සතුට..... 200ක ඕඩර් එකක් තමන්ගේ උවමනාවට 500 වෙනකම් වැඩි කරපු ප්‍රභාත්ගේ මූණේ තිබ්බ එළිය……... පොටෝ එකකින් මිසක් අකුරු වලින් නම් කියා ගන්න බැරි වේවි.!!
ආරාධනා පත්‍ර ටික
කන්දක් තරමට කරන්න වැඩ තියෙන වෙලාවේ එක එක පාර්ශව වලින් එන ප්‍රශ්න කන්දරාවට වෙන උන් නම් පුළුවන් එකෙක් කර ගනින්කියලා දමලා ගහලා යද්දි අමිල නඳුන් එක්ක හයියට පිටි පස්සෙන් ගොඩක් උන් හිටිය එක ගැන ආඩම්බරයි පුතේ..!! එපාම කරපු වෙලාවක කිසිම නෑ බෑ කීමක් නැතිව ආරාධනා පත්‍ර ටික හදලා දීපු චමාලි, ඒකට උදව් කරපු හැමෝම.. ඉහළින් එන බලපෑම් එක්ක අපිට බොන්න බීම එක හදලා දීපු ෆුඩ් සයන්ස් සෙට් එක සිරා ඈ..... ඒක වචන වලට නොහැරුවට ගොඩක් අයගේ හිතේ ඒක තිබුණා. සැරින් සැරේ එනවයි කියන ප්‍රශ්න එක්ක මහානාම අයියලා ඇතුළු අපේ සීනියර් අයියලා අක්කලා අපි වටේ ඉඳන් නිදහසේ වැඩ ටික කර ගන්න දුන්නේ ලොකු සහයෝගයක්....


මේකයි කියලා තෝර ගන්න බැරි වෙන තරමට තරඟ අංග එකතු වෙද්දි සීරුවෙන් මාරුවෙන හොඳම තරඟ තෝර ගන්න ලොකු මහන්සියක් දෙන්න උණා. ලෝබ කමට වඩා ලැබුණු සල්ලි ටික අරපිරිමැස්මෙන් සිතාරාගේ පර්ස් එකෙන් එළියට ආවා. සමහර වගකිව යුතු අයටවත් හේතුවක් නැතිව සත පහක් නොදෙන තරමට සිතාරා දැඩි උණා. අරෙහෙට මෙහාට යවන ලියන ලියුම් ගොඩාක් ඉමේෂාගේ අතින් ලියවුණා. කෙටියෙන්ම කිව්වොත් අපේ බැච් එකේ නිල චීෆ් කලාක් තනතුරට ඉමේෂාට පත්වීම් හම්බුණා. පැය ගාණක විතරක් ජීවිත කාලයක් හිමි ඉරෙන ඉරන බව දැන දැනම ලක්මා,  නිරංජලා-මාලන්, ගීතාංජනගේ අතින් සුදු ඩිමයි කොළ උඩ පොස්ටර් මැවුණා.

ලක්මා

නිරංජලා-මාලන්

ගීතාංජන


වලේ කැන්ටින් එකේ කොන වාඩි වෙලා හිටිය මම ගාවින් ඇවිත් වාඩි උණ ප්‍රසාදි අක්කා මෙහෙම කිව්වා.

"මල්ලි... මෙච්චර කල් තිබ්බ ස්පොර්ට්ස් ඩේ එකට වැඩිම ඇවිත් තියෙන්නෙ 269.... පුළුවන් වේවිද ඊට වඩා ගෙන්නවන්න...... "

ප්‍රසාදි අක්කගේ මුණේ සුහදත්වය පිරුණ අභියෝගයක්....
මගේ මුණේ.......... පුංචි ප්‍රශ්නාර්තයක්........                                                                     


මතු සම්බන්දයි.. තව කෑලි දෙකක් මග... 

Saturday, July 6, 2013

දේදුන්නේ එන සමනලුනේ...




දැන් වෙලාව 6.30යි
දැන් වෙලාව 6.30යි. මම ප්‍රවෘත්ති කියන්න නෙමේ යන්නේ. 6.30 නම් 6.30. ඒ සුනිල් සර්ගේ හැටි..."
වේදිකාවේ කොනකින් මතු වෙච්ච රුවක් කියනවා ඇහුණා.. ඉස්සරහ පේලියක් අල්ල ගන්න 6.30ට කලින් ජ පුරේ බාශ එක ගාවට ගියේ 7ටවත් උත්සවේ පටන් ගනීවි කියලා හිතලයි. කොහොම උනත් 6.30ට තරු දොරට වඩම්මන්න හදනවා කියල ඇහුනාම රුපියල් 60ට ගත්ත ඕපන් කැන්ටින් එකේ මිරිස් වැඩි කොත්තුවෙන් දඟලන්න ගනිපු බඩ ටිකක් සන්සුන් උණා කියලා මට දැනුණා. කොහොම උණත් කිව්වා වගේම හරියටම 6.30ට වැඩේ පටන් ගත්තා.
 

අමිල සහය

නාන විධ බෝල බෝල එළි අතර පුංචි පුංචි තරු එළි අතර කෝට්-කලිසම්-සරම්-කුර්තා-ගවුම්-ඔසරි-සාරි රැසක් වේදිකාවේ දෙපැත්තේ පෙළ ගැහෙනවා. ඒ ආදරණිය විද්‍යාලීය මාතාව වෙනුවෙන් තම හඬ ඉඳුල් කරන්න. අපුර්ව නාදයකට වෙනස් විදියේ නර්තනයකින් චාමිකා අක්කලා ආයුබෝවන් කියනවා වේදිකාව නැවතත් තරු ආලෝකමත් උණ එළි වලින් මට පෙනුණා. දේශයේ තනු උල්පත රෝහණ වීරසිංහයන් වට කරගෙන දහසක් තරු වලට මියුරු නාදයන් එක් කරපු වාදක මණ්ඩලය දිළිසෙන ඇඳුම් ඇඳ ගෙන වාඩි වෙලා හිටියා. දැන් හරි වෙලාව තරු පායන්න...
 
විචී සමඟ බිනුරි

කසුන් අයියා තවත් අක්කා කෙනෙක් එක්ක සිංදුවක් කියලා ගියාට පස්සේ මනමාලයා වගේ ඇඳ ගත්ත විචී "නෙලන්න බැරි මලකට" එයාගේ ලොවට එන්න කියනවා කියලා රුක්ෂානි කට කොනකින් හිනා වෙලා අපේ පැත්ත බලලා අර දෙනෝ දාහක් ඉස්සරහ මයික් එකට හිමින් සැරේ කියනවා මට ඇහුණා. අනේ මම නම් දන්නෙත් නෑ ඕවා. කරුණාරත්න දිවුල්ගනේ දීපිකා ප්‍රියදර්ශනී එකට කියපු "නෙලන්න බැරි දුරින් පිපි" සින්දුවයි සනත් නන්දසිරි මහත්තයයි ලතා වල්පොල මහත්මියයි ගීත ලෝකෙට දායාද කරපු "දේදුන්නේ එන සමනලුනේ" සින්දුවයි කියපු විචියි-ඉස්සර විදියට ලොකු බෝරිච්චි අත් දාපු ඔසරියක් ඇඳ ගනිපු සහෝදරියි වේදිකාවෙන් බැහැල ආවා. සුපුන් අයියලා ජඩ්ඩා අයියලා දිල්මි අයේෂා මිනෝලි එරංගි අචල රජන්ත වගේම කොහෙද පැත්තක වැඩි වෙලා හිටිය අසින්ත හසිනි ජෝඩුවත් සුදු පාට අත් රතු පාට වෙනකන් අත්පුඩි ගැහුවේ උඹ අපේ එකෙක් කියලා අපිට දැනුණු නිසයි. වේදිකාවෙන් බැහැපු උඹ, "අයියෝ විචිත්‍ර ඔයා සින්දුව කෑවා" කියලා අත් දෙක මූණ ගාවට උස්සලා කවුරු හරි කියාවි කියලා හිතුවත් එහෙම උනේ නෑ.
රුක්ශානි
කොහොමින් කොහොම හරි සියලු සයන්ස්කාරයෝ නැසෙන සුළුය කිව්වට අපිටත් ඔය වේදිකාව නුහුරු නුපුරුදු බව කියන්න නිර්මණියි හසනි අක්කයිත් පෙළහර පාලා ගියා..
ටකරං ගැලවෙන්න වදින අත්පුඩි, හුස්ම හිර වෙනකන් වදින විසිල්, කෙල හිදෙනකන් නම කිය කිය කෑගහන සහෝදරත්වය තමන් සහෝදරත්වයට එහා ගිහින් සම්මානය තමන්ගේ ෆැකල්ටි එකට උස්සන් යන්න දරණ වෑයම නේද කියලා රතු වුණ අත් දිහා බලපු මට හිතුණා. එක එක මෝස්‌තරේ ඇඳුම් ඇද ගත්ත කොල්ලෝ කෙල්ලෝ හරි හරියට අඟර දඟර දදා සින්දු කියද්දී, මට හිතුණා-මට දැනුණා. විනිශ්චය දෙන්න පැමිණි ආදරණිය හඬ පෞර්ෂය නිරංජලා සරෝජිනී, ජානක වික්‍රමසිංහ, කිර්ති පැස්කුවෙල් වගේම හොඳම නිවේදක නිවේදිකාව තෝරන්න ආපු හිතුවක්කාර රසකාමියා උපුල් ශාන්ත සන්නස්ගල, සෝමරත්න දිසානායක හා තනුජා ජයවර්ධනයන් ලොකු අමාරුවක වැටුණා කියලා. ඔය ඔක්කොම වෙන අතරේ ජීවිතේට දැකලා තිබුනේ නැති සොඳුරු පන්හිඳ "ධම්මික සර්නුත්" කොහෙද ඉඳන් දුවං ඇවිත් ඉස්සරහ පුටුවක වාඩි වෙනවා දැක්කා.
 
අතරමං උණ විනිශ්චය මණ්ඩලය


අතරමං උණ විනිශ්චය මණ්ඩලය

ඔය ඔක්කොම වෙද්දී යාන්තම් නිවෙන පත්තු වෙන එළි රිදී පාට කණ්නාඩියක් දාපු දිගටි මුණ මට තවත් ආදරණිය මිනිසෙක් එහාට මෙහාට දුවමින් සීමිත ඉඩ හසරක අසීමිත සෞන්දර්යක් අරන් එන්න මහන්සි වෙනවා පෙන්නුවා. ඒ පහන් තරු වේදිකාව සොයා ගත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. පහන් තරුවට කලින් නල මුදු සුවඳේ උල්පතත් එතුමාම තමා. ‍තෝරගන්න කෙනෙක් හොයා ගන්න බැරුව අතර මං උණ විනිශ්චය මණ්ඩලේ වේදිකාව පිටිපස්සේ තිබුන කාමරයක් අස්සට රිංගුවා..
පහන් තරුවේ පහන් තරකාව

නොනිවෙන තරුවක්

ඔය අතරේදී වේදිකාවට ගොඩ උණේ ආචාර්ය වික්ටර් රත්නායකයන්. "බයිලා ගමුද රි මික්ස් කරලා" කිව්වට බශා එකේ වහල හෙල්ලෙන්න වැදුන අත්පුඩිය කිව්වේ ඩෙනිම් අඳින කොන උල් වෙච්ච සපත්තු දාන කොල්ලොන්ටත් කිටි කිටියේ තද උන කොට සායවල් අඳින හයි හිල්ස් දාන කෙල්ලොන්ටත් තාමත් සුභාවිත ගීතය තාම හිතෙන් අත අරින්න සුදානමක් නැති විත්තිය නෙමේද කියලා මට තප්පරේට හිතුණා.
සුනිල් ආරියරත්නයන්ගේ පන්හිඳෙන් හිත මිතුරු සුළඟට ගිගිරි ගීත රාවයට ලියවුණ සුභාවිත ගීතයන්ට මුරණ්ඩු කාර හිතුවක්කාර කෙල්ලෝ කොල්ලොන්ගෙන් ලැබුන අත්පොළසන් නාදයට පුංචි තිතක් තියන්න උනේ නිවේදකතුමා අතට තරඟ ප්‍රතිපල ආවට පස්සෙයි.
 

පායලා කඩන් වැටෙන තාරකා මණ්ඩල වල වගේ නලව නලව අතින් අතට මාරු නොකර හෘද ස්පන්දනය 150ට 200ට නගන්නේ නැතුව නිවේදකතුමා ප්‍රතිපල කිව්වා. තරහ අවසර ආයිබෝන්ඩ සුදාට හරියටම ප්‍රතිපල මතක නැති නිසා ඒ ගැන මුකුත් නොකිය ඉන්නම්. ඒ කොහොම උනත් සයන්ස්කාරයාට වේදිකාව අමුත්තක් නොවුණ බව පසක් කරමින් 1 වෙනි වසරේ නිර්මාණි වික්ටර් රත්නායකයන්ගෙන් ලබපු හොඳම නිවේදිකා සම්මානේ ආදරෙන් තුරුළු කර ගත්තා.. 
හොඳම නිවේදිකාව-නිර්මාණි
ඒ වෙනුවන් විතරක් නෙමේ විචි, රුක්ෂානි, කසුන් අයිය, හසනි අක්කා සයන්ස් එකට ජයග්‍රහණය ගන්න දරපු අසීමාන්තික පෙළහර වෙනුවෙන් අපි සයන්ස් එකේ හැමෝගෙන්ම උණුසුම්ම සුභ පැතුම් එක් කරන්නේ සැබෑ දිනුමක ඇත්තේ පරාජයන් ගොඩක ඉතිහාසයක් විත්තියත් මතක් කරලා. කඳුලක තරහවක ඉරිසියාවක රැල්ලක්වත් හොයාගන්න නොතිබුනත් හිතේ කොනක පුංචි දුකක් නැති වෙන්නේ නම් නෑ කියලා කියන්න එපා. 
හොඳම ගායකයා (කුමුදේශ්) - හොඳම ගායිකාව (රුවන්ති)
 
හොඳම නිවේදකයා (පසිඳු) - හොඳම ගී තනු රචකයා(අවන්ති)

පුම්බලා පුම්බලා අත අරින බැලුම් බෝලයකට වගේ බොරු සොබනෙත් වංක කමත් වෙනුවට දක්ෂතාවයත් සහෝදරත්වයත් නිහතමානීකමත් පහන් තරුවලට ඇති තරම් පුරවලා තිබ්බා. අඩියක විතර සරුව පිත්තල කෑලි නැති ප්ලාස්ටික් සම්මානයක් එක්ක පුංචි පහේ තෑග්ගක් විතරක් අයිති උණ පහන් තරු එස්.එම් එස් ගැනවත් නොලැබුණ කෝටියක් ගැනවත් මග ඇරුණු වාහනයක් ගැනවත් වද උණේ නෑ.
නිර්මාණි ඊයේ උදේ ලෙක්චර්ස් ඇඳන් ආපු ඇඳුමින්ම අදත් පොඩි වෙච්ච ෆයිල් ටිකක් ගුලි කරන් ඔඩිය පැත්තට යනවා මම දැක්කා. එයයි වෙනස...
යම් දිනෙක පායනු පිණිස

මක් නිසාද යත් පහන් තරු යනු පෑයු තරු නොව "යම් දිනෙක් පහන් වනු පිණිස වෙර දරණ තරු " බැවිනි.. අදට නවතින්නම්. විචී, රුක්ෂානි, නිර්මාණි, කසුන් අයියා, හසනි අක්කා යම් දිනෙක් පායන තෙක් තරු ඇස දහසක් බලන් ඉන්නවා කියලා නම් අමතක කරන්න එපා.

මේ....... අපි
මේ සොඳුරු නිශාන්තයේ කොටු කර ගත දසුන් පෙළහරක් 

පහන් තරු වේදිකාව
 

Monday, December 31, 2012

සමුගෙන්න ගොස් යලි හැරුණෙමි සත්තයි නුඹ යළි ඇවිදින් සෙවණැල්ලක් වී.....

සුභම සුභ නව වසරක් වේවා...!!

වැඩිය අනම් මනම් කියන්න බෑ. කාලෙකින් මුකුත්ම ලියන්න බැරි උණ නිසා හොඳට ලියවෙන එකක් නැති වේවි. ඒක නිසා යාන්තමට සිතුවිල්ලක් කටු ගාලා යන්නම්..

ගොඩක් අය හිතාගෙන ඉන්නේ ජනවාරි 1 වෙනිදා කියන්නේ අපේ ජිවිත අලුතින් පටන් ගන්න හොඳම දවස කියලා.අපිට ඕනේ ඕනේ විදියට ජිවිත පටන් ගන්න බෑ කියලා අපි දන්නවනේ. අඩු ගානේ අපි කැමති දවසක කැමති විදියකට ඉපදෙන්නවත් බෑනේ , ඉතින් තව මොන කතාද..?? ඒක නිසා අපිට ඕනේ ඕනේ විදියට අලුතෙන් ජිවිත පටන් ගන්න බැරි උණාට තියෙන ජිවිතේ පරණ මෝඩකම් අත් අරින්න හොඳම දවස හෙට කරගන්න පුළුවන් නම් එක හොඳ ආරම්භයක් වේවි....!!

මම දන්නවා මම වගේම ඔයාලත් පහුගිය අවුරුද්දේ ඇති තරම් මෝඩ වැඩ කරන්න ඇති.. ජිවිතේ සුළු හෝ මහ පරිමාණ වැරදීම් වෙන්න ඇති. ඒ විතරක්ම නෙමේ. තමන්ගේ ජිවිතේ ලබපු සාර්ථක පියවර ගොඩක් සටහන් වෙලා ඇති. අතීතයට වඩා හොඳ ගුරුවරයෙක් තවත් නෑ. මොකද තමන් තනියම ඉගෙන ගන්න පාඩමකට සම කරන්න පුළුවන් ඉගෙනීමක් නෑ . හැමෝම එහෙම තමා.මගේ දර්ශනය වන බෞද්ධ දර්ශනයේදී බුදුන් වහන්සේ අත්තකිලමතානු හා කාම සුඛල්ලිකානු යෝගය යන යෝග දෙකම තමන්ගේ ප්‍රතිපත්තිය නොවිය යුතු බව හා මැදුම් පිළිවෙත වඩාත් සුදුසු බවත් තීරණය කරන්න පදනම් උනේ අතීතය.. ඒකයි උන් වහන්සේ කිව්වේ මගේ ගුරුවරයා මමයි කියලා..

හැබැයි රංජනීයේ එක දෙයක්..මේක බාලගිරි දෝසය වගේ අද නෙමෙයි හෙට කිය කිය කල් දැම්මොත් නම් මේකත් නිකම්ම ගෙවිලා යාවි . ඒක නිසා හෙට කියන්නේ ජනවාරි පලවෙනිදා කියලා හොඳට හිතේ තියාගෙන හෙට උදේම අවදි වෙන්න.. වෙනස් වෙන්න සමාජේ තියෙන ඉඩ අඩුයි. කවුරු කොහොම කිව්වත් සමුගත්තත් මිටින් මුදා හැරලා බැලුවත් සත්තයි ඒ කාලය යළි යළිත් ඇවිදිල්ලා ඔයා එක්කම ඉඳීවි....  ඒකයි කිව්වේ අලුතෙන් ජිවිත පටන් ගන්න ගිහින් අමාරුවේ නොවැටී මේ තියෙන ජිවිතේ පුංචි පුංචි වෙනස්කම් කරලා අවසාන ප්‍රතිපලය ජයග්‍රහණය කරා ජිවිතේ ගෙනියන්න කියලා.. මොකද එතකොට වැරදෙන්න තියෙන ඉඩ අඩුයි.

 අනික් දේ තමා මහා ලොකු හීන දකිනවට වඩා පුංචි පුංචි හීන ගොඩක් දකින එක සාර්ථකයි.. පුංචි පුංචි හීන දැකලා ලස්සන වුණු ජිවිතයක් ගැන සතුටින් කතා කරන්න අපි අයෙත් මුණ ගැහෙමු....

අමතක කරන්න එපා... මිටින් මුදා හැර බැලුවත් සමුගෙන යළි හැර බැලුවත් කාලය නුඹ එක්කම ඉඳීවි... ඒක  නිසා වැරදි වලට තියෙන ඉඩ අඩු කරන්න 

 
එහෙනම් කලින් කරපු ඔක්කොම මෝඩකම් අත ඇරලා, ඒ පාඩමෙන් අලුතෙන් බුද්ධිමත් පුරුදු හදා ගෙන යහපත් සාර්ථක සතුටු දායක ආරංචි පිරුණ සාමය සැනසුම රජයන වසරක් බවට 2013 නව වසර පත් වේවා.....!!! 

Sunday, September 23, 2012

අතරමං මඟ

සවස් යාමය, හරස් වීදිය,
නිවෙස් පේලිය, හුඹස් ලෝකය,
රකුස් මානය, උකුස් කොණය,
සහස් බීතිය, මිනිස් දොණිය,

කුරා කුදු කලු, සුරා බේබදු,

නුරා මතිනිඳු, හොරා පරසිඳු,
සරා සළලිඳු, සිරා මරුබඳු,
සරා සඳු බඳු, සුරා රන් ලඳු,

දුර බැහැර සිට අගනුවර ආ,

යනෙන හැටි හරි මං නොදන්නා,
බියද වෙහෙසද දාඩියෙන් පා,
රුවැති තුණු ඔබ මොබ සරන්නා,

සිතට නිවනක්, ගතට අහරක්,

යනෙන විදියක් වතුර උගුරක්,
අමන පිරිසක්, පිරුණු පුරයක්,
සොයන සෙවනක්, තරුණ අඟනක්,

යනෙන මඟ වුව කියනු කොහොමා,

බියෙන් සැලෙතැයි බියෙන් වෙම්මා,
බිලිගනිද රුපු යකුන් නරුමා,
නිකම් ඉමි මම මමයි නිකමා.
  •  

Tuesday, September 18, 2012

රන් කහවණු සල්ලි සල්ලි


"සර් අපි නෙළුව ඉස්කෝලෙන් ඉගෙන ගෙන කැම්පස් ඉන්න අය. අපි එකතු වෙලා මේ අවුරුද්දේ කැම්පස් තේරුණු ළමයි එකතු කරන පොඩි සොසයිටියක් පිහිටෙව්වා "නෙළුව සරසවි මිතුරෝ" කියලා. ඒක එක එක දේශපාලන පක්ෂ වලට අයිති එකක් නෙමේ. ගොඩක් අය හිතන්නේ අපි කඩේ යනවා කියලා.එහෙම එකක් නෑ "

ඔව් ඉතින්....

"අපේ මුල්ම වැඩසටහන විදියට අපි කලේ ඉස්කෝලේ මුල්ම වතාවට ආකල්පමය වෙනසක් කරන්න කොහොමද ඒ ලෙවල් කරන්නේ කියලා උසස් පෙළ ළමයින්ට "සරසවියට පාර කියමු" කියන සෙමිනර් එක කරපු එක. අපේ අතේ සල්ලි තියා ගෙන කරපු වැඩක් නෙමේ. ඉතුරු කර ගනිපු කීය කීය හරි දාල අපි කලේ අපේ නංගිලා මල්ලිලාට කැම්පස් එන්න උනන්දුවක් ඇති කරන්න. ගාල්ලේ ලොකු ඉස්කෝල වල ඕවා නිතර නිතර කරාට දුප්පත් අපේ ඉස්කෝලෙට ඒක අමුතුම දෙයක් උණා. අපි එක්ක ගොඩක් ළමයි එකතු උණා. ඒකට හොඳම සාක්කිය අපි වැඩසටහන ඉවර කරද්දී අපිට ලැබුණු කොමෙන්ට්ස් කොළ ටික"

හ්ම්ම් ඉතින්....?

"ඊට පස්සේ අපිට ආරංචියක් ආවා අපේම කැම්පස් ඉන්න සහෝදරයෝ තමන්ට කැම්පස් එකෙන් පිට කරන්න ඕනේ කොර්ස් කර ගන්න බැරුව ඉන්න විත්තිය. සමහරු උපාධිය අත ඇරලා ජොබ් වලට යනවා කියන එක. ඒ විතරක් නෙමේ සමහරු විභාග වලට ගෙවා ගන්න සල්ලි නැතුව අසරණ වෙලා ඉන්න ඉන්න බව. ඔය ඔක්කොම කරන්න සල්ලි ඕනේ. තාම ඉගෙන ගන්න ළමයි වෙච්ච අපිට කොයින්ද සල්ලි. සර්ලා දන්නවනේ දෙන රස්සාවකට යන්න උපාධිය විතරක් මදි කියල. අනිවාර්යයෙන් සිමා චාර්ටඩ් මොනවා හරි කරලා තියෙනවා නම් ඉල්ලුමක් තියෙනවා.."

ඔව් ඒක ඇත්ත. අපේ ළමයත් ඔය කරනවා.. ඒක හොඳයිද දරුවෝ...?

"ඉතින් අපි තීරණය කලා නාට්‍යයක් ගෙන්නවන්න. ඒ තමා සර් "නරි බුරති". ගාණෙන් ඉහළ උණත් කැම්පස් ළමයි උන අපිට ගමට දෙකයි පනහේ නාට්‍යයක් ගෙන්නවන්න බෑ. ඉතින් අපි ඒකට සර් මෙච්චර මහන්සි වෙන්නේ. අපි දන්නවා සර්ලා අමාරුවෙන් හම්බ කරන්නේ. මෙතන අපේ වැඩසටහනේ ප්‍රපොසල් එක තියෙනවා.  මේ තියෙන්නේ අපි හදන්න ඉන්න ස්විනියර් එකේ විස්තර. සර්ලට පුළුවන් නම් අපිට ඇඩ් එකක් දීල පොඩි උපකාරයක් කරන්න.. "

කොහේ තියෙන සල්ලිද ළමයෝ... ඔය බොරු වැඩ නොකර වෙන මොනවා හරි කරන්න

"හොඳයි සර්... අපිට පුළුවන් උදව්වක් කරන්නකෝ.. ඔය දෙක තියා
ගන්න. අපි ගිහින් එන්නම්..."

ඔය තියෙන්නේ මේ දවස් ටිකේම අපේ කටින් පිට වුණු වචන ටික. දැන් අපි ගැන දැන ගන්න ඇතිනේ. වැඩි විස්තර පින්තුර කෑලි එක්ක හොඳ පොස්ටුවක් දාන්නම්.. මේ ඊට කලින් දාන කටු සටහන නොහොත් අහක දාන සිතුවිල්ලක්
   අපේ වැඩේ ගැන ඇහුවම ගොඩක් අය නිකම්ම උදව් කරන්න කැමති උණා. සමහරක් ලියුම් හෙඩ් ඔෆිස් යවලා පරක්කු වෙන නිසා එයාල එකතු වෙලා සල්ලි දීපු අවස්ථා තිබුණා. සමහර ඔෆිස් වල නෙළුවේ වැඩ කරන කිසිම කෙනෙක් නෑ. ඒත් ඒ අය අපි ගැන ලොකු විස්වාසයක් තිබ්බා. ඔයාලට කැමති විදියට ඇඩ් එක දා ගන්න. නොදැම්මත් කමක් නෑ කියලා කියපු අයත් හිටියා. අර පොස්ටුවෙම ස්තුති ලිපියත් දාන්නම්.

 අපේ හද හඳුනනවා කියන බැංකුවට විතරක් අපේ හඬ තේරුම් ගන්න බැරි උණා. අපිට ඒ ගැන මුකුත්ම කියන්න බැරි ඔවුන් ඉන්නේ රාජකාරි පරිසරයක. රුපියලක් හරි මිස් උනොත් අතින් දාන්න ඕනනේ.

ඕව විතරක්ම නෙමේ. කටුක විතරක්ම නෙමේ රසබර අත්දැකීම් ගොඩක් එකතු උණා. ඒවා පස්සේ හිමිට කියන්නම්කෝ.

නෙළුවේ කඩවල් විතරක් නෙමේ. ගාල්ලේ මතුගම මොරවක  ප්‍රදේශ වල වෙළඳසැල් හිමියන්ගෙන් අපිට ලොකු සහයක් දුන්නා. කිසිම කරදරයකින් තොරව නෙළුවේ අපේ වාසනාවට ආපු ලංකේශ්වර දොස්තර මහත්තයා, ICBT කැම්පස් එකේ පවිත්‍රා මිස්, ලකී ලංකා එකේ කල්ප අයියා නම් වශයෙන් නොකිව්වත් අපිට ගාල්ලේ උගන්නපු ගුරුවරු කිසිම ලෝබ කමක් නැතුව සල්ලි දුන්නා. 


 සමහරු ඇඩ් එකවත් නොදී ලොකු මොණර කොළ දීලා තිබුණා. සල්ලි වලට යට නොවුණු උගත් බුද්ධිමත් හැමෝම අපිට උදව් කළා. ඒ උදව්වට ස්තුති කරන්න මට සිංහල හෝඩියේ අකුරු මදි. ඉංග්‍රීසි බැරි නිසා කරන්න දෙයක් නෑ.  මේ ටික නොකිව්වොත් මේක කියවන අපේ කට්ටිය මාව කාවී උඹ ලියන්න ඕනේ ඒවා ලියලා නෑනේ මි හරකෝ කියලා.

සමාවෙන්න මේ මඩ ගැහීමක් නෙමේ.

සල්ලි දෙන්න බැරි නම් කෙලින්ම කිව්වා නම් අපේ කිසිම තරහක් නෑ. අපිත් දන්නවා ඒ හැමෝම එක රුපියලක් හම්බ කරන්න කොච්චර මහන්සියක් වෙනවද කියලා. අපි ඒක නිසාම මුලදීම හිතුවා
පොඩි කඩවලට යන්නේ නෑ කියලා. ඒත් අපිට වැරදුනේ එතැනදී. ගොඩක් පොඩි කඩ අපිව විස්වාස කළා. පුළුවන් හැටියට උදව් කළා.

 මහා ලොකු බිස්නස් කාරයෝ  මුන් පොඩි උන් කියලා අපිව අතහැරලා දාද්දි අපේ හයිය තිබුනේ පොඩි මිනිස්සු දීපු රුපියල් සත උඩ. මම හොඳටම දන්නවා අපේ කවුරුවක්වත් එහෙම කතා අහපු අය නෙමේ. අපේ වැඩේ වෙනුවෙන් අපි හැමෝම ඒ කුණු බැනුම් ඇහුවා ලොකු බිස්නස්කාරයොන්ගෙන්. සල්ලි දීපු නැති නිසා බනිනවා නෙමේ. සල්ලි දුන්නා. ඒත් අපිට ඒ කියපු කතා අමතක වේවිද..?

මට මතකයි අපේ බජට් එක ටිකක් ලොකු ගාණක්. එක ලෝයර් කෙනෙක් ඇහුව ඇයි මේ ඔයාල මෙච්චර ලොකු බජට් එකකට සල්ලි එකතු කරන්නේ. කෙලින්ම ඒ සල්ලි අරමුදලට දැම්මා නම් හරි නේද..? කියලා. ඇත්තටම මට ඒ වෙලාවේ එතුමියට නඩු බාර දෙන්න ආපු අය ගැන පොඩි දුකක් හිතුණා. මෙච්චර මෝඩ තර්කයක් කරන්න ඒ මිස් කොහොම කට හද ගත්තද කියලා.

 අපිට පුළුවන් බස් වලට නැගලා සින්දු  කියන්න.මිනිස්සු ඉස්සරහට ගිහින් කැට හොලවන්න. ඒත් ළමයෙක්ගේ පින්තුරයක් අරන් බස් එකට නගින සමහර වංචාකාරයෝ එක්ක මිනිස්සු අපිට සල්ලි දේවිද...? එකෙන් පාඩුව උනේ අපිට විතරක්ම නෙමේ. හද්ද අසරණ වෙච්ච අතේ සතේ නැතුව තමන්ගේ දරුවාගේ අම්මගේ අසනීපයක් හොඳ කර ගන්න ලක්ෂ ගාණක ඔපරේෂන් එකක් කරන සතෙන් සතේ එකතු කරන අසරණ මිනිස්සු. කොහොම උනත් දැන් අපේ වැඩෙන් 60%ක් විතරම සාර්ථකයි. සාර්ථක ඉතුරු 40% ගැන ළඟදීම කියන්නම්. 

ප.ලි. අපි දන්නවා රුපියල් 1000ක් වියදම් කරන එකට වඩා එක රුපියලක් හම්බ කරන එක අමාරු බව. ලෝකේ එක එක මිනිස්සු ඉන්නවා. ඒ අයගේ දහම් ගැට වලට අහුවෙලා ඔබත් නන්නත්තාර වෙලා ඇති. මම කියන්නේ නෑ අපිට සල්ලි දෙන්න කියලා. ඒත් එක ගමේ ඉන්න උදේට හවසට මුණ දකින එක ගමේ  දානෙට මරණෙට දුවන අපිට සමහරක් මිනිස්සු කියපු දේවල් ටිකක් බැරෑරුම් වැඩි උණා. අපි වචනයක්වත් කිව්වේ නෑ. සමහර තැන් වලින් සල්ලි දෙන්න බෑ කිව්වා. බිස්නස් පාඩුයි කියල. අපිට එහෙම කිව්වට දුක නෑ. ඒත් ඔය බොරු වැඩ වලට දෙන්න සල්ලි නෑ කියපු එක නම් හිතේ පතුලේම රැඳුනා. 
ගමේ උගත් ගොඩක් මිනිස්සු සල්ලි වලට වඩා අපිත් එක්ක හිතින් ලං උණා. මේ කුක්කොන්ට කරන්න පුළුවන් වැඩක්ද කියල අපිව අත අරිද්දි සමහර යන්තම් එදා වෙලා හොයා ගන්න සල්ලි එකතු කරපු මිනිස්සු අපේ පිටි පස්සේ හයියට හිටියා. ඒ සල්ලි වලට වඩා අපේ අරමුණ දැන ගනිපු මිනිස්සු.  සමහරු සල්ලි වලටත් වඩා අපේ සංවිධානෙන් තෝර ගනිපු උසස් පෙළ හදාරන අය වෙනුවෙන් ටියුෂන් පන්ති වල ෆ්‍රී කාඩ් දෙන්න එකතු උණා. අපිට පාර්ට් ටයිම් ජොබ් දෙන්න එකතු උණා. ශිෂ්‍යත්ව දෙන්න ඉදිරිපත් උණා. 
අපි දැක්කා අපිට දෙන්න සල්ලි නෑ කියපු මිනිස්සු  සල්ලි මිටි බැඳ ගෙන ගිහින් හවස බැංකුවට දානවා. සුදා මල්ලි උණත් ටෙලි නාට්‍යයක සල්ලි බ්‍රිෆ් කේස් එකෙන් ඇරුණම ඇස් පණා පිට එච්චර සල්ලි ගොඩක් දැක්කේ එදා. ඒ අපි බැංකුවෙන් ඇඩ් එක ගන්න ගිහින් ඉද්දි. අපි කාත් එක්කවත් තරහ නෑ. 
අපි මේ වැඩේ කොහොම හරි කරනවා. ඒත් අනාගතේ ලෝකේ බාර ගන්න ඉන්න ගමට ඇවිත් වැඩ කරන්න ඉන්න අපේ හිත් වල වර්තමානයේ ඉන්න ගමේ මිනිස්සු ගැන නොපහන් හැඟීමක් මතු කරපු එක නම් එච්චර හොඳ දෙයක් නෙමේ. සල්ලි වලට ලෝකේ කරන්න බැරි දෙයක් නැති විත්තිය ඇත්ත. ඒත් සල්ලි කියන්නේ ජීවිතේම නොවන බව ඒ මිනිස්සුන්ට තේරෙද්දී ගොඩක් පහුවෙලා තියේවි.. 

දොස්තර ඉංජිනේරු කළමණාකාර නීතිඥ නෝනලා මහත්තයලා අස්සේ සුදා මල්ලි

ප.ප.ලි- සුදා මල්ලි සර්ව සාධාරණ සුදු චරිතයක් නොවන්නේ ය. පැහැදිලිව දන්වා සිටින වග නම් හෙතෙම අළු කැරට්ටුවක් සහිත වූවෙකි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...