මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Saturday, July 6, 2013

දේදුන්නේ එන සමනලුනේ...




දැන් වෙලාව 6.30යි
දැන් වෙලාව 6.30යි. මම ප්‍රවෘත්ති කියන්න නෙමේ යන්නේ. 6.30 නම් 6.30. ඒ සුනිල් සර්ගේ හැටි..."
වේදිකාවේ කොනකින් මතු වෙච්ච රුවක් කියනවා ඇහුණා.. ඉස්සරහ පේලියක් අල්ල ගන්න 6.30ට කලින් ජ පුරේ බාශ එක ගාවට ගියේ 7ටවත් උත්සවේ පටන් ගනීවි කියලා හිතලයි. කොහොම උනත් 6.30ට තරු දොරට වඩම්මන්න හදනවා කියල ඇහුනාම රුපියල් 60ට ගත්ත ඕපන් කැන්ටින් එකේ මිරිස් වැඩි කොත්තුවෙන් දඟලන්න ගනිපු බඩ ටිකක් සන්සුන් උණා කියලා මට දැනුණා. කොහොම උණත් කිව්වා වගේම හරියටම 6.30ට වැඩේ පටන් ගත්තා.
 

අමිල සහය

නාන විධ බෝල බෝල එළි අතර පුංචි පුංචි තරු එළි අතර කෝට්-කලිසම්-සරම්-කුර්තා-ගවුම්-ඔසරි-සාරි රැසක් වේදිකාවේ දෙපැත්තේ පෙළ ගැහෙනවා. ඒ ආදරණිය විද්‍යාලීය මාතාව වෙනුවෙන් තම හඬ ඉඳුල් කරන්න. අපුර්ව නාදයකට වෙනස් විදියේ නර්තනයකින් චාමිකා අක්කලා ආයුබෝවන් කියනවා වේදිකාව නැවතත් තරු ආලෝකමත් උණ එළි වලින් මට පෙනුණා. දේශයේ තනු උල්පත රෝහණ වීරසිංහයන් වට කරගෙන දහසක් තරු වලට මියුරු නාදයන් එක් කරපු වාදක මණ්ඩලය දිළිසෙන ඇඳුම් ඇඳ ගෙන වාඩි වෙලා හිටියා. දැන් හරි වෙලාව තරු පායන්න...
 
විචී සමඟ බිනුරි

කසුන් අයියා තවත් අක්කා කෙනෙක් එක්ක සිංදුවක් කියලා ගියාට පස්සේ මනමාලයා වගේ ඇඳ ගත්ත විචී "නෙලන්න බැරි මලකට" එයාගේ ලොවට එන්න කියනවා කියලා රුක්ෂානි කට කොනකින් හිනා වෙලා අපේ පැත්ත බලලා අර දෙනෝ දාහක් ඉස්සරහ මයික් එකට හිමින් සැරේ කියනවා මට ඇහුණා. අනේ මම නම් දන්නෙත් නෑ ඕවා. කරුණාරත්න දිවුල්ගනේ දීපිකා ප්‍රියදර්ශනී එකට කියපු "නෙලන්න බැරි දුරින් පිපි" සින්දුවයි සනත් නන්දසිරි මහත්තයයි ලතා වල්පොල මහත්මියයි ගීත ලෝකෙට දායාද කරපු "දේදුන්නේ එන සමනලුනේ" සින්දුවයි කියපු විචියි-ඉස්සර විදියට ලොකු බෝරිච්චි අත් දාපු ඔසරියක් ඇඳ ගනිපු සහෝදරියි වේදිකාවෙන් බැහැල ආවා. සුපුන් අයියලා ජඩ්ඩා අයියලා දිල්මි අයේෂා මිනෝලි එරංගි අචල රජන්ත වගේම කොහෙද පැත්තක වැඩි වෙලා හිටිය අසින්ත හසිනි ජෝඩුවත් සුදු පාට අත් රතු පාට වෙනකන් අත්පුඩි ගැහුවේ උඹ අපේ එකෙක් කියලා අපිට දැනුණු නිසයි. වේදිකාවෙන් බැහැපු උඹ, "අයියෝ විචිත්‍ර ඔයා සින්දුව කෑවා" කියලා අත් දෙක මූණ ගාවට උස්සලා කවුරු හරි කියාවි කියලා හිතුවත් එහෙම උනේ නෑ.
රුක්ශානි
කොහොමින් කොහොම හරි සියලු සයන්ස්කාරයෝ නැසෙන සුළුය කිව්වට අපිටත් ඔය වේදිකාව නුහුරු නුපුරුදු බව කියන්න නිර්මණියි හසනි අක්කයිත් පෙළහර පාලා ගියා..
ටකරං ගැලවෙන්න වදින අත්පුඩි, හුස්ම හිර වෙනකන් වදින විසිල්, කෙල හිදෙනකන් නම කිය කිය කෑගහන සහෝදරත්වය තමන් සහෝදරත්වයට එහා ගිහින් සම්මානය තමන්ගේ ෆැකල්ටි එකට උස්සන් යන්න දරණ වෑයම නේද කියලා රතු වුණ අත් දිහා බලපු මට හිතුණා. එක එක මෝස්‌තරේ ඇඳුම් ඇද ගත්ත කොල්ලෝ කෙල්ලෝ හරි හරියට අඟර දඟර දදා සින්දු කියද්දී, මට හිතුණා-මට දැනුණා. විනිශ්චය දෙන්න පැමිණි ආදරණිය හඬ පෞර්ෂය නිරංජලා සරෝජිනී, ජානක වික්‍රමසිංහ, කිර්ති පැස්කුවෙල් වගේම හොඳම නිවේදක නිවේදිකාව තෝරන්න ආපු හිතුවක්කාර රසකාමියා උපුල් ශාන්ත සන්නස්ගල, සෝමරත්න දිසානායක හා තනුජා ජයවර්ධනයන් ලොකු අමාරුවක වැටුණා කියලා. ඔය ඔක්කොම වෙන අතරේ ජීවිතේට දැකලා තිබුනේ නැති සොඳුරු පන්හිඳ "ධම්මික සර්නුත්" කොහෙද ඉඳන් දුවං ඇවිත් ඉස්සරහ පුටුවක වාඩි වෙනවා දැක්කා.
 
අතරමං උණ විනිශ්චය මණ්ඩලය


අතරමං උණ විනිශ්චය මණ්ඩලය

ඔය ඔක්කොම වෙද්දී යාන්තම් නිවෙන පත්තු වෙන එළි රිදී පාට කණ්නාඩියක් දාපු දිගටි මුණ මට තවත් ආදරණිය මිනිසෙක් එහාට මෙහාට දුවමින් සීමිත ඉඩ හසරක අසීමිත සෞන්දර්යක් අරන් එන්න මහන්සි වෙනවා පෙන්නුවා. ඒ පහන් තරු වේදිකාව සොයා ගත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. පහන් තරුවට කලින් නල මුදු සුවඳේ උල්පතත් එතුමාම තමා. ‍තෝරගන්න කෙනෙක් හොයා ගන්න බැරුව අතර මං උණ විනිශ්චය මණ්ඩලේ වේදිකාව පිටිපස්සේ තිබුන කාමරයක් අස්සට රිංගුවා..
පහන් තරුවේ පහන් තරකාව

නොනිවෙන තරුවක්

ඔය අතරේදී වේදිකාවට ගොඩ උණේ ආචාර්ය වික්ටර් රත්නායකයන්. "බයිලා ගමුද රි මික්ස් කරලා" කිව්වට බශා එකේ වහල හෙල්ලෙන්න වැදුන අත්පුඩිය කිව්වේ ඩෙනිම් අඳින කොන උල් වෙච්ච සපත්තු දාන කොල්ලොන්ටත් කිටි කිටියේ තද උන කොට සායවල් අඳින හයි හිල්ස් දාන කෙල්ලොන්ටත් තාමත් සුභාවිත ගීතය තාම හිතෙන් අත අරින්න සුදානමක් නැති විත්තිය නෙමේද කියලා මට තප්පරේට හිතුණා.
සුනිල් ආරියරත්නයන්ගේ පන්හිඳෙන් හිත මිතුරු සුළඟට ගිගිරි ගීත රාවයට ලියවුණ සුභාවිත ගීතයන්ට මුරණ්ඩු කාර හිතුවක්කාර කෙල්ලෝ කොල්ලොන්ගෙන් ලැබුන අත්පොළසන් නාදයට පුංචි තිතක් තියන්න උනේ නිවේදකතුමා අතට තරඟ ප්‍රතිපල ආවට පස්සෙයි.
 

පායලා කඩන් වැටෙන තාරකා මණ්ඩල වල වගේ නලව නලව අතින් අතට මාරු නොකර හෘද ස්පන්දනය 150ට 200ට නගන්නේ නැතුව නිවේදකතුමා ප්‍රතිපල කිව්වා. තරහ අවසර ආයිබෝන්ඩ සුදාට හරියටම ප්‍රතිපල මතක නැති නිසා ඒ ගැන මුකුත් නොකිය ඉන්නම්. ඒ කොහොම උනත් සයන්ස්කාරයාට වේදිකාව අමුත්තක් නොවුණ බව පසක් කරමින් 1 වෙනි වසරේ නිර්මාණි වික්ටර් රත්නායකයන්ගෙන් ලබපු හොඳම නිවේදිකා සම්මානේ ආදරෙන් තුරුළු කර ගත්තා.. 
හොඳම නිවේදිකාව-නිර්මාණි
ඒ වෙනුවන් විතරක් නෙමේ විචි, රුක්ෂානි, කසුන් අයිය, හසනි අක්කා සයන්ස් එකට ජයග්‍රහණය ගන්න දරපු අසීමාන්තික පෙළහර වෙනුවෙන් අපි සයන්ස් එකේ හැමෝගෙන්ම උණුසුම්ම සුභ පැතුම් එක් කරන්නේ සැබෑ දිනුමක ඇත්තේ පරාජයන් ගොඩක ඉතිහාසයක් විත්තියත් මතක් කරලා. කඳුලක තරහවක ඉරිසියාවක රැල්ලක්වත් හොයාගන්න නොතිබුනත් හිතේ කොනක පුංචි දුකක් නැති වෙන්නේ නම් නෑ කියලා කියන්න එපා. 
හොඳම ගායකයා (කුමුදේශ්) - හොඳම ගායිකාව (රුවන්ති)
 
හොඳම නිවේදකයා (පසිඳු) - හොඳම ගී තනු රචකයා(අවන්ති)

පුම්බලා පුම්බලා අත අරින බැලුම් බෝලයකට වගේ බොරු සොබනෙත් වංක කමත් වෙනුවට දක්ෂතාවයත් සහෝදරත්වයත් නිහතමානීකමත් පහන් තරුවලට ඇති තරම් පුරවලා තිබ්බා. අඩියක විතර සරුව පිත්තල කෑලි නැති ප්ලාස්ටික් සම්මානයක් එක්ක පුංචි පහේ තෑග්ගක් විතරක් අයිති උණ පහන් තරු එස්.එම් එස් ගැනවත් නොලැබුණ කෝටියක් ගැනවත් මග ඇරුණු වාහනයක් ගැනවත් වද උණේ නෑ.
නිර්මාණි ඊයේ උදේ ලෙක්චර්ස් ඇඳන් ආපු ඇඳුමින්ම අදත් පොඩි වෙච්ච ෆයිල් ටිකක් ගුලි කරන් ඔඩිය පැත්තට යනවා මම දැක්කා. එයයි වෙනස...
යම් දිනෙක පායනු පිණිස

මක් නිසාද යත් පහන් තරු යනු පෑයු තරු නොව "යම් දිනෙක් පහන් වනු පිණිස වෙර දරණ තරු " බැවිනි.. අදට නවතින්නම්. විචී, රුක්ෂානි, නිර්මාණි, කසුන් අයියා, හසනි අක්කා යම් දිනෙක් පායන තෙක් තරු ඇස දහසක් බලන් ඉන්නවා කියලා නම් අමතක කරන්න එපා.

මේ....... අපි
මේ සොඳුරු නිශාන්තයේ කොටු කර ගත දසුන් පෙළහරක් 

පහන් තරු වේදිකාව
 

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...