මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Friday, August 31, 2012

කාලො අයං තෙ

රැස්කළේ නැත මිල මුදල්
එකතුකලේ නැත ඉඩකඩම්
පැතුවේ නැත මම ඉහල තනතුරු
ඉන්ට සිතුවේ සදා උපගුරු...

ගුණ නැණ බෙලෙන් යුතු
දු පුතුන් රටට දායාද ලෙස
එක්කරන්නට සැම විටම
සිතුවෙමි වෙහෙසුනෙමි

අයිතිවාසිකම් පසුපස
හඹා නොගියෙමි කිසිවිටක
යුතුකමට වගකීමට
දුනිමි මුල්තැන හැමවිට

නිදහස් කාලය තුල
ගුරු විවේකාගාරයට
නොමැත මගේ පය එසවුනේ
එවැනි හැම මොහොතකම
ආදර මගේ දරුවනේ

නුඹලා වෙතය මා පිය නැගුවේ
මගේ දරුවන් දෙදෙනා
මගේ ළඟ නැති අඩුව
පිරිමසා ගත්තේ මා
නුඹලාගෙනි දරුවනේ

හැදුණු විට අසනීපයක්
නැගුණු විට ගැටළුවක්
සොයා මා වෙත
නුඹලා ආවේ පතා පිළිසරණක්
ඒ හැම මොහොතකම
මට හැකි ලෙසින්
නුඹලාගේ සිත්
සුවපත් කිරීමෙන්
ලැබුවෙමි නිරාමිස සතුටක්

මගේ ගුරු දිවිය තුල
අහිංසකයන් මෙන්ම
දඩබ්බරයන්ද
වසවර්තියන්ද හමුවිය
ඒ සියලු දෙනා වෙත
කිසිදු වෙහෙසක් නොමැතිව
සිප් සතර දීමට
ගතිමි වෙහෙසක් හැමවිට

ඉතින් ආදර දරුවනේ
නුඹලාගෙන් වෙන්ව
නික්ම යන්නට කැදැල්ලට
කාලය එළඹ ඇත
පතමි මම
නුඹලාට චිර ජීවනය

මට වැඩි අසුන්වල සිසුවන් තබනු              රිසින්
මෙහෙවර කලෙමි මම මට හැකි පමණ   ලෙසින්
මෙහෙවර පලදර ඇත මහා මෙරට            උසින්
මරණෙට යා හැකිය තුටු කදුලැලි පිරිණු    ඇසින්

ගුරු හොරු ගොඩක් මැද්දේ ගුරුවරුන්ට වඩා ඉක්ම වූ ගුරු+උතුම් වරු අඩුවෙන් හම්බෙනවනේ.. මේ එහෙම එක්කෙනෙක් ගැන.. කවුද කියලා අද හෙටම ලියන්නම්.. මේ එතුමිය විශ්‍රාම ගිහිපු දවසේ උගන්නපු පන්ති වල එදා පීරියඩ් එක ඉවර වෙද්දී නංගිලා මල්ලිලාට දීපු කොලයක්.... මෙච්චරයි තියෙන්නේ...
මෙතුමිය වැඩ කලේ මම මුලින් ගිහිපු නෙළුව ජාතික පාසලේ...
අවුරුදු 33 ක්.
ඉස්කෝලෙට ආවේ 1975-07-01
ඉස්කෝලෙන් ගියේ 2011-02-05

සැ.යු. පින්තුරේ ඉන්නේ නම් එතුමිය නෙමේ.. මේ අර ගුගල් මාමගේ පෙට්ටගම අවුස්සලා හොයා ගනිපු එකක්.. ෆොටෝත් එක්කම විස්තරේ ළඟදීම........

Wednesday, August 29, 2012

අමතක මං



ඇලේ දොලේ දුව පැන්නේ
ගං වතුරේ ඔරු පැද්දේ

කෙකටිය මල් දම් ගෙතුවේ

මහත්තයෝ මතක නැද්ද මං


පොලු ගහලා අඹ කැඩුවේ

කුරුම්බා බි ගුටි කෑවේ

අත්වැල් බැඳ සිනාසුනේ

මහත්තයෝ මතක නැද්ද මං


වැවේ පිපුණු මල් නෙළුවේ

ඒ මල් සිරිපා පිදුවේ

දොහොත් මුදුන් දී වැන්දේ

මහත්තයෝ මතක නැද්ද මං


වෙල් දෙණි වල උඩ පැනලා

සමනල් තටුවක නැගලා

කවි ගී වරම් කියලා

මහත්තයෝ මතක නැද්ද මං


පාඩම් පොත් හොඳට බලා

සිස්සත්වය පාස් වෙලා

සිදාදියට පිය නගලා

මහත්තයෝ මතක නැද්ද මං


මහා විභාග පාස් වෙලා

ජිවක වෙදදුරෙකු වෙලා

මතක පොතෙන් මා මැකිලා

මහත්තයෝ එදා හිටිය සුදු බණ්ඩා මං

Friday, August 24, 2012

නොබෙල් කේන්දරේ(අවසාන කොටස)

මහාචාර්යතුමාගෙන් ඇස් නලළේය. එහි ඇති භයානකකමට දෝ යටි තොලට දැමු හින් දාඩිය ටිෂු කොලයක් උරා ගත්තේය.
 

ඔය ඔක්කොම ටික දැන ගන්න තිබ්බා මෙන්න මේවට ගියා නම්..

"භයානක කම කියන්නේ...? ලංකාව යුද්දෙකටවත් ලෑස්ති වෙනවද..? " අනික් හමුදාවේ ප්‍රධානින් දෙස බැලු හමුදාපති යුරේන්ද්‍ර සිං  ප්‍රතාපවත් හඬින් මහාචාර්යවරයාගෙන් ඇසිය.
 
"දැන්ම නම් ඒක ගැන කියන්න බෑ.... ඒත් ඔවුන් යුද්දයක් කලත් අපිට ඒකෙන් දිනන්න බැරි වේවි...?? මොකද උන් අර කේන්දරෙටත් වඩා පිළිගනිපු බලගතු දෙයක් කරනවා. කේන්දරේටත් වඩා ඒ දේ නිසා තමා මිනිස්සු ඔච්චර දියුණු වෙන්නේ....."තත්වයේ ඇති බරපතලකම නිසා කිසිවෙක් සිනාසුනේ නැත. මුව සෙලෙව්වේද නැත.

"වේවැල්දෙණියේ සුමංගල හාමුදුරුවෝ රජයට බල කරලා ඉල්ලලා භාවනාව සමාජගත කරලා, උන්නාන්සේ මිනිස්සුන්ව කුලප්පු කරලා මේකට ඇබ්බැහි කලා.... සුද්දගේ අරක්කු වලට වඩා මේක බලගතුයි සර්... අවුරුදු 5හේ පොඩි උන්ගේ ඉඳන් පණ අදින මහල්ලා වෙනකම්ම  භාවනා කරනවා.. කොල්ලෝ කෙල්ලෝ භාවනාව විතරක් නෙමේ.. යෝගත් කරනවා.. හැම තැනම උදේ පාන්දර දවස් පටන් ගන්නේ පැයක් විතර භාවනා කරලා... මේක නිසා මිනිස්සු නිරෝගී.. අනික් දේ තමා සර් හැමෝන්ගෙම හිත හරි ඉක්මනට එක අරමුණකට ගන්න පුළුවන්. ඒකනේ ඔය කණ්ඩායම් තරඟත් ලංකාවේ ඈයෝ දිනන්නේ. ඒ විතරක් නෙමේ... හොඳම හරිය මේක....."
ඇස් ලොකු කරන් අහන් ඉන්න අගමැතිනියත් මුව අය අසා සිටින ජනාධිපතිතුමත් දෙස බලමින් මහාචාර්යවරයා කතා කළේය. 
 

"අනිත් අයගේ හිත පාලනය කරන්නත් පුළුවන් උනාට පස්සේ අර හැමෝම වගේ අනුන්ගේ හිත කියවන්න මිනිස්සු පුරුදු උණා. කියවන්න බැරි මිනිස්සු තමන්ගේ රහස් දැන ගනී කියලා බයේ එකට එක කරන්න උනුත් භාවනා කරලා හිත දියුණු කර ගත්තා.. දියුණු කරපු හිතකට ඇතුළු වෙන්න අමාරුයි සර්...  අපේ වගේ චංචල හිත් වලට ඇතුළු වෙන එක උන්ගේ අවුරුදු 10 පොඩි එකටත් මහා කජ්ජක් නෙමේ.." අතේ තිබු ලිපි ගොනුව පසෙකින් තබන ගමන් මහාචාර්ය වරයා පැවසුවේය.

"හිත් පාලනය කරන එක නම් භයානකයිනේ.. ඉතින් එහේ ජනාධිපති එහෙම මුලින්ම විරුද්ධ වෙලා නැද්ද..?" 
බැරෑරුම් මුහුණින් ඉන්දීය ජනාධිපති විමසුවේය. 
.
"නෑ සර්.. මේ ක්‍රමය මුලින්ම කරලා තියෙන්නේ ජනාධිපතිතුමා. එතකොට බයක් වෙන්න දෙයක් නෑනේ. අනික සර් ඔය භාවනාවේ පොඩි පොඩි දේවල් ටිකක් ලැබුණාම තමා හිත් පාලනය කරන්න පුළුවන්.. තව දුරත් ඒක දිගටම භාවනා කරද්දී ඒ ආසාව නැති වෙලා යනවා..... හිත් පිරිසිදු වෙනවා.... හමුදාවේ විශේෂ බලකායක් හදලා ඒ අයට යුද්දෙදි ගන්න පුළුවන් ප්‍රයෝජන ගන්නවා. CID එක අනිත් එක... ඊට එහාට හිත් පාලනය කරන්න මිනිස්සු යන්නේ නෑ.. ඒත් සැක හිතුනොත් නම් හොයලා බලනවා..  අවුරුදු  20ක් 30ක් තමන්ගේ අරමුණකට දියුණු කරපු හිතක් ඇතිව යන අය ගැන තවත් මොන කතාද සර්.... දැන් ලංකාවේ උන් ආගම එක්ක වැඩියි.. ආගම් භේද නෑ.. ක්‍රිස්තියානි එකා පල්ලිත් යනවා.. පන්සලුත් යනවා.. බුද්ධාගම්කාරයත් ඒ වගේම තමා... උන් හැමෝම එකම විදියට හිතන්නේ.. දුප්පත් පෝසත් භේදේ නම්  තියෙනවා.. ඒක නැති වෙන්නේ නෑනේ.... ඒත් උන් ඒක ගැන ගැන ඉරිසියා කරන්නේ නෑ. හිත් දියුණු නිසා ලැබෙන දෙයින් සෑහීමකට පත් වෙනවා.."
ජනාධිපති තුමාට උත්තර දෙමින් මහාචාර්යවරයා  කිවේය.


"මේ ප්‍රකාශ්... අපිටත් බැරිද ඔය ක්‍රමේ පොඩ්ඩක් ක්‍රියාත්මක කරලා බලන්න.. "
අගමැතිනිය ජනාධිපති දෙස බලා ඇසුවේය.

"අම්මෝ යුද්ධයකද කියලා දෙගිඩියාවෙන් හිටියේ.. දැන් නම් ඉතින් කමක් නෑ... ඔව් ඔව් අපිත් මොකක් හරි කරන්න ඕනේ.."
සැනසිලි දායක හැඟීමක් හිතට නංවා ගෙන මද සිනහවක් පා ජනාධිපතිතුමා කිවේය.

"ඔන්න ඔය ටික තමා අරුන්ගේ දියුණුවට හේතුව.. අපිටත් මොකක් හරි කරන්න බැරි වෙන එකක් නෑ.. මට අමතක උනානේ නිවාඩුව ගැන කියන්න... මම හිටියේ උදාරගේ පුතෙක් ලහ. මිනිහත් මහාචාර්ය කෙනෙක්. කැලණිය විශ්ව විද්‍යාලේ.. හරිම හොඳයි. මිනිහා තමා මට ඔය ඔක්කොම විස්තර කිව්වේ. ඒකනේ මට වැඩි දවසක් නොගියේ.. දැන් එහේ සුද්දෝ වැහි වැහැල.. ඇයි සර් උන් කියනවනේ මුන් සිංහලයෝද කියලා හිතා ගන්නවත් බැරිලු.. සම්පුර්ණෙන් වෙනස් වෙලාලු.. මටත් මාර විදියට සැලකුවා. හරියට එදා ඉඳන් දන්නා යාලුවෙක් වගේ.. අපි ගියා එහේ බලන්න රෙපයාර් කරපු සිගිරි රජ මාලිගාව.... මාර ලස්සනයි.... දළදා මාලිගාව.... අනුර්ධපුරේ ට්‍රිප් එකකුත් ගියා.. උන් කොච්චර දියුණු උනත් සම්ප්‍රදාය කඩලා නෑ සර්.. උන් සිරිපාදේ අදටත් යන්නේ අර එදා තිබුණු කැලේ මැද්දෙන්මයි.. ඔය තේ එක බොන්න.. නිවිලා යාවි.. පොඩ්ඩක් ඉන්නකෝ මම ගනිපු ෆොටෝ පෙන්නන්න.."  


මහා භයානක තත්වයක් නැති නිසා නැවතත් සිනහවෙන් පිරි ගිය කාමරය මීට ස්වල්ප මොහොතකට පෙර සිදු කෙරුණු රහස් කතාව අමතක කළේය. අගමැතිනියගේ මිණි ගෙඩි සොලවන විට ඇසෙන නාදය වැනි කෙඳිරිලි සිනහව කාමරයේ අහු මුල්ලකම ගැටී දෝංකාර දුන්නේය. මහාචාර්ය රාජේශ් රස කතා කියද්දී හමුදාපති යුරේන්ද්‍ර සිං තමාගේ අතීත කතා හාරා අවුස්සනට විය. කෝප්ප තුල වූ තේ පමණක් නොව පිරිසි මත තිබු ලංකාවෙන් ගෙනෙන ලද පැණි වළලු,කැවුම්, කොකිස් ද ඉවර වෙමින් තිබුණේය. 

 අල්මාරිය අසල තැබූ ලැප්ටොප් පරිගණකය ගැනීමට අනික් පසට හැරුණු මහාචාර්යවරයාගේ වෙනස් වීම කිසිවෙකුටත් ඇස නොගැටුනේය..මහාචාර්යවරයා මල මිනියක් මෙන් සුදුමැලි විය. ඇවිදින්නන් වාලේ ඇවිදින්නෙක් සේ දිස් විය. අත පය ඔහේ විසි විය. පරිගණකය මේසය මත තබා පිරිස් දෙස මලානික බැල්මක් හෙළිය.
 "ඕක ඉක්මනට දානවකෝ ප්‍රකාශ්..." තවමත් ඔහුගේ වෙනසක් නොදුටු අගමැතිනිය කලබලයෙන් පැවසුවේය.

නැවතත් මලානික බැල්මක් ඉදිරියට හෙලු මහාචාර්ය වරයා.
. "මම මේ ඔක්කොම හොයා ගත්තා.. ඔවුන් මට සැලකුවා තමන්ගේ එකෙක්ට වගේ.. ඒත් මම උන්ට ද්‍රෝහී උණා.. අනේ මට සමාවෙන්න මට මේක නොකර ඉන්න විදියක් නෑ.... මටත් උන්ට යටත් .........." කියන්නට තැනු දේ කියන්නට ඉඩ ලැබුනේ නැත. 

ඔහුට පමණක් නොව කිසිවෙකුට කිසිවක් කියන්නට හැකියාවක් ලැබුනේ නැත. මහාචාර්යවරයා තම බෑගය මත තිබු සුරතෙහි මහපට ඇඟිල්ල අසලම වූ බොත්තම තද කළේය.. 

...................................................................................................................................................................

"ඉන්දීය ජනපති ඇතුළු මහ මොළ රැසක් මරුට... "  " ඉන්දීය ජනාධිපති ඇතුළු ප්‍රභූ පිරිසක් ඉලක්ක කල ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකා රජය තරයේ හෙලා දකි....." පසු දින පුවත් පත් බලමින් සිටි උදාරගේ පුත් පුර්ණගේ නෙත ගැටුනේය.

" අනුන්ගේ කිල්ලෝට වල හුණු බලන්න එනවට ඕවා හොඳ පාඩම්.... "  පුර්ණ තොල් මැතිරුවේය. ඒත් සමගම අල්ලපු ගෙදර ක්‍රියාත්මක කර තිබු ගුවන් විදුලි යන්ත්‍රයේ හඬ පුර්ණට ඇසුණේය...
 

"ඔබ හට අත පොවනට උන් මුන් හට
ඉඩ තොතබමු ලංකා.......
අවහොත් මෙහි උන් ලුහු බඳවා
ගොළු මුහුදේ ඔබමු ලංකා....
දිය ගොඩ අහසේ සැම තැන ඔබගේ
නම කියවමු ලංකා.....
අවසාන ඔබ හට පොහොරව මේ කය
මෙහිම හොවමු ලංකා......"

ලංකා..... ලංකා......



කතාව නම් ඉවරයි....
හොඳ නරක... අඩු පාඩු..... තියේ නම් කියලා යන්න.. මොකද ඒක තමා සහෝදරත්වය.

සැ. යු :- මේ කතාව මගේම කතාව වුනත් මේකේ පදනම මට යාලුවෙක් කියපු කතාවක් ආශ්‍රයෙන් මමම ගොඩ නැගුවක්. යාලුවත් ඒ කතාව කියවලා තිබුනේ පොතකින්. ඒත් ඒ පොතේ නමවත් කතුවරයාගේ නමවත් මතක නැති එක ලොකු පාඩුවක්.. ඒ ගැන සමා වෙන්න.


 
 

Wednesday, August 22, 2012

නොබෙල් කේන්දරේ (2)


'' ඔව්... ඔව්... මට මතකයි, ඉතින් දැන් මොකද වෙලා තියෙන්නේ.." 
ජනාධිපතිතුමාගේ ඉක්මන් හඬ එතුමාගේ නොඉවසිලිමත් භාවය මොනවට පැහැදිලි කළේය.

කියෙව්වේ නැතිනම් ඉක්මනට ගිහින් කියවල එන්න.. දෙක තිබුනට එක නැතිනම් වැඩක් නෑනේ.. නෙහ්....? 
ඔන්න එහෙනම් යමු.... 

"පොඩ්ඩක් ඉන්න සර්, ඔය අතරේදී තමා මට මාස 6කටත් කලින් සප්ත වාර්ෂික නිවාඩුව දීලා මේ වැඩේ ගැන කතා බහ කරලා ලංකාවට යැව්වේ. මම මේ ආවේ මගේ නිවාඩුවෙන් භාගයකින් පස්සේ.. මොකද මම හොයා ගත්තා ඇයි ලංකාව මෙච්චර ඉක්මනට දියුණු උණේ කියලා. ඉතින් තවත් එහේ ඉන්න එක තේරුමක් නෑනේ. ඒත් සර් උන් ඒ ක්‍රමෙන් අවුරුදු ගානක් තිස්සේ භාරත මාතාවගේ වාසනාවට බිහි කරපු කපිල් දේව්ලා රාහුමන්ලා ලතා මන්ජෙශ්කාර්ල විතරක් නෙමේ රවින්ද්‍රනාත් තාගෝර්.. රවී සංකර්ලා වගේ ලෝකේ වෙනස් කරපු මිනිස්සු ලංකාවේ පිරිලා. ඉස්සර හිටිය වල් බුත දේශපාලනඥයෝ එහේ නෑ සර්. අපේ නේරු ගාන්ධි වගේ නායකයෝ තමා එහේ ඉන්න ඔක්කොම නායකයෝ.. කා කොටා ගැනිලි පාතාල ප්‍රහාර එහේ නෑ සර්. ස්ට්‍රයික් උද්ඝෝෂණ ඔය මුකුත්ම නෑ. හැමෝම කැපවෙලා වැඩ කරනවා. හරියට ජපානේ මිනිස්සු වගේ.. ඔවුන් ලංකාව දියුණු කරවනවා. උන් හැම අතින්ම අපිට වඩා සැහෙන්න ඉස්සරහින් ඉන්නේ.. අපිට ඉස්සරහට ඔයිට වඩා දේවල් අහන්න ලැබේවි සර්."  මහාචාර්යතුමාගේ හඬේහි කලින් වූ ප්‍රතාපවත් ගති නැත. ඔහේ කියවාගෙන ගියේය.
 
"ඉතින් ප්‍රකාශ්.... දැන්වත් කියනවකෝ ඔය ක්‍රමේ මොකද්ද කියල...?" ජනාධිපතිතුමාට ප්‍රශ්න ගොඩක සිර වී ඇති බවක් හැඟී ගියේය.

"මේකයි සර්.. ඇත්තටම කිව්වොත් මේක අපේම ඉන්දියානු දෙයක්. ඒත් ලංකාව කලේ ඒකෙ තිබුන වටිනාකමින් ප්‍රයෝජන ගත්තා. අනම් එක්ක අපි ඒක අත ඇරියා.. ඒ තමයි සර් කේන්දරේ...."


කාමරය තුල හුන් සියල්ලෝම "කේන්දරේ.." කියමින් මුමුන්නට විය.
ඇත්ත මොකක් දැයි කිසිත් නොදන්නා ඔයුන්ගේ මිමිණිම ගණන් නොගත් ප්‍රකාශ් දිගටම කියවන්නේය. අවට පරිසරයද වැහිබරය. මහාචාර්යවරයාගේ මුහුනද වැහිබර අහසක් මෙන් කිසිදු හැඟීමක් නැත්තේය.

"මේක පටන් ගන්නේ 2080 දී විතර ලංකාවේ හිටිය උදාර සුදසිංහ කියන මහාචාර්යවරයා. උදාර ඉන්දියාවට ඇවිත් අවුරුදු 10ක් ජෝතිෂ්‍යය ඉගෙන ගන්නවා. අපේ නම් එක ගුරු කුලෙකින් ඉගෙන ගත්තොත් ආයේ වෙන කාවවත් ගාවට යන්නේ නෑනේ. ඒ උනාට මේ මනුස්සයා ඉන්දියාවේ තිබුණ හැම ගුරු කුලේකටම ගිහින් ජෝතිෂ්‍යය ඉගෙනගෙන තියෙනවා. ඔහුගේ කපටිකම කොච්චරද කියනවා නම් ඒ හැම ආචර්යවරයෙක්ම හිතලා තියෙන්නේ මෙයා මුලින්ම ඉගෙන ගන්නේ මගෙන් කියල..  අවුරුදු 10 අවසාන වෙද්දී ලංකාවට ගිහින් අර හැම ගුරු කුලේම ඉගෙනගනිපු දේවල් ගැන හොයල බලලා වඩා නිවැරදි ජෝතිෂ්‍යයක් උදාර හදාගෙන තියෙනවා.. "
අතට ගත් ලිපි ගොනුව පෙරලමින් මහාචාර්යතුමා කියවා ගෙන ගියේය.

 "ජෝතිෂ්‍යයක් කොහොමද සර් රටක් දියුණු කලේ..?" සරදම් සිනාවකින් ප්‍රකාශ් දෙස බැලු රාජේශ් පැවසිය.

"අන්න ඒක තමා මමත් කියන්නේ... අර නිවැරදි කියලා උදාර හදාගනිපු ජෝතිෂ්‍යය ලංකාවේ හිටිය දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවෝ පිරිසක් එකතුවෙලා උපන් වෙලාව දුන්නම 100% ක්ම නිවැරදි කේන්දරයක් බලාගන්න පුළුවන් software එකක් හදලා රජයට බාර දෙනවා. ඔවුන්ගේ රහසිගතභාවය කියන්නේ. ඉගෙන ගෙන ආපු උදාර විස්තර ටික දෙනකන් ඉංජිනේරුවෝ දන්නේ නෑ මෙහෙම දෙයක් ගැන.. ඒ අය හිතලා තියෙන්නේ කලින් හැදුවා වගේ සාමාන්‍ය වැඩක් කියලා.. ඒත් ඒ අයට මේකේ වගකීම පහදලා දුන්නම එයාලත් උදාර වගේම රහසේ වැඩේ කරලා."



රාජේශ් නාදන් බිම බලා ගෙන අසා සිටියේය.. රාජේශ්, තමාට වඩා උදාර කොච්චර බුද්ධිමත් දැයි සිතෙන්නට ඇතියි රාජේශ් දෙස් බැලු ජනාධිපතිතුමා නිහඩවම සිතුවේය.

මේ කතාව ඉවර උනාම අපිටත් මේක ක්‍රියාත්මක කරන්න විදියක් හදන්න යෝජනා කරන්න ඕනෙයි අගමැතිනිය ජනාධිපතිතුමාගේ කනට කෙඳිරිය.
තාමත් ප්‍රකාශ්ගේ කතාව නැවතී නැත.

"ලංකාව වටේ තියෙන ඉස්පිරිතාල වලට අර software එක දීලා දරු උපතක් වෙන වෙලාවට හරියටම නියම වෙලාව බලලා ඒ වෙලාවට දරුවාගේ කේන්දරේ හදනවා. ඉස්සර වගේ මාස ගානක් ගිහින් නෙමේ කේන්දරේ හදන්නේ. උප්පැන්න සහතිකේටත් කලින් තමා ලංකාවේ කේන්දරේ හදන්නේ. අර කේන්දරෙන් දරුවාගේ අනාගතය මොන වගේද කියල බලලා දරුවාගේ අනාගතේට හරි යන්න පසුබිම හදලා දරුවා ගැන සැලකිල්ලෙන් ඉන්නවා. අම්මල තාත්තල
අකමැතිත් නෑ.. ලංකාවේ මිනිස්සු කේන්දරේ ගැන පුදුම විදියට විස්වාස කරනවනේ.. ඒක නිසා දරුවට හොඳක් වේවි කියලා ඒ මිනිස්සුත් රජය කියන විදියට වඩා කරනවා.. ඔය වැඩේ වෙන්නේ මෙහෙමයි සර් " මහාචාර්යවරයා වතුර ටිකක් උගුරට හලා ගත්තේය.
"දැන් අපි හිතමු දරුවාගේ කේන්දරෙන් පෙන්නනවා දරුවා අනාගතේ ව්‍යාපාරිකයෙක් වෙනවා කියලා. ඒත් ඒ දරුවා ඉන්නේ දුප්පත් තැනක. ඒ දරුවට අවුරුදු 10 ඉඳලම රජයෙන් ව්‍යාපාර ගැන දැනුම දෙන්න සම්මන්ත්‍රණ වලට.... ප්‍රදර්ශන වලට..... සමුළු වලට.... සහභාගී කරවනවා... අතට සල්ලි දීලා ඒක කළමනාකරණය කරන හැටි උගන්නනවා. ලංකා රජ මගින් කරන ව්‍යාපාර වල පුහුණුවක් ලබා දෙනවා.. ව්‍යාපාර වලට ඕනේ කරන දැනුම ලබා දෙනවා..  ඉතින් සර් ඕවා ඔහොම වෙද්දී හැදෙන තරුණයා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.. ඔන්න ඔය වගේ ඉතින් ඔබතුමා හිතන්න අවුරුදු 10 ඉඳන්ම ඔය විදියට තමන්ගේ අනාගතේට වැඩ පිළිවෙලක් තියෙද්දී රටක් දියුණු නොවී තියේවිද...? ඔය කේන්දරෙත් එක්කම ලංකාවේ හිටියා ඔබතුමාගේ පියත් එක්ක සමීප සම්බන්දතාවක් තිබ්බ වේවැල්දෙණියේ සුමංගල හාමුදුරුවෝ මතකද...? උන්නාන්සේ තවත් දෙයක් ඔය වැඩ පිළිවෙලට අඳුන්වලා දෙනවා. අන්න ඒක තාම සර් භයානකම...."  

මහාචාර්යතුමාගෙන් ඇස් නලළේය. එහි ඇති භයානකකමට දෝ යටි තොලට දැමු හින් දාඩිය ටිෂු කොලයක් උරා ගත්තේය.

අන්න ඒ භයානකම දේ අහන්න අනිවාර්යයෙන්ම අන්තිම කොටසත් බලන්න එන්න.

අඩු පාඩු තියේ නම් කියලා යන්න.. මොකද ඒක තමා සහෝදරත්වය.

සැ. යු :- මේ කතාව මගේම කතාව වුනත් මේකේ පදනම මට යාලුවෙක් කියපු කතාවක් ආශ්‍රයෙන් මමම ගොඩ නැගුවක්. යාලුවත් ඒ කතාව කියවලා තිබුනේ පොතකින්. ඒත් ඒ පොතේ නමවත් කතුවරයාගේ නමවත් මතක නැති එක ලොකු පාඩුවක්.. ඒ ගැන සමා වෙන්න.


 


Saturday, August 18, 2012

නොබෙල් කේන්දරේ

නේරු අනුස්මරණ විශ්ව විද්‍යාලීය ක්‍රීඩා පිටිය කෙලවරේ වූ ප්‍රකාශ් කුමාර් මහාචාර්යතුමාගේ නිල නිවසෙහි ඇතුළු කාමරයක අසුන් ගත් ඉන්දීය ත්‍රිවිධ හමුදා ප්‍රධානින් කිහිප දෙනාත් ඉන්දියාවේ සිටින න්‍යෂ්ටික අවි පිලිබඳ එකම විශේෂඥවරයා වන මහාචාර්ය රාජේශ් නාදන් මහතාත් සමග බර කතාවකය. දකුණු කෙලවරේ වූ නොදල් වූ ගිනි උදුන ළඟ තවත් විද්වත් බුද්ධිමත් වටිනා කියන මොළ ටිකක මුණු මුණුවකි. වෙනදා නාස් තුඩග යන්තමට රැඳී ඇති කණ්ණාඩියට උඩින් අවට දෙස තීක්ෂණ බැලුම් හෙලන ප්‍රකාශ් මහාචාර්යතුමා අද රැලි ගැන්වූ නළල් තලයෙන් සුදුමැලි වූ මුහුණින් යුතුව සක්මන් කිරීම අනෙක් අයට නම් එතරම් ගැටළුවක් වූ බවක් නොපෙනුණි. 


මහාචාර්යතුමා හා ඇති දැඩි හිතෛෂීභාවය නිසාම ආරක්ෂක භටයන්ගේ අවවාද පසෙකලා ඉන්දීය ජනාධිපති ශ්‍රී ප්‍රභා කුමාර් ද තනියමම මෙහි ආවේ මහාචාර්යතුමා උදේ දුන් දුරකථන ඇමතුම නිසාය.

" සර්, අද අපි ලොකු දෙයක් කතා කරනවා.. හැබැයි සම්පූර්ණ රහසක් වශයෙන් තියා ගන්න ඕනේ.. මම අගමැතිනිටත් කිව්වා.. එතුමියත් සර් එක්කම යන්න ඒවි.. ආවම විස්තරේ කියන්නම්.. ඔබතුමාට පුළුවන් නම් 10 වෙද්දී මගේ ක්වාටස් වලට එනවද..? "


මිට එහාට තව විනාඩි කිහිපයකින් කතා කිරීමට යන දෙයින් අබමල් රේණුවකවත් තරම් වත් දෙයක් නොදත් ජනාධිපතිතුමා මද සිනහවක් පා පිරිස දෙස මවිතය මුසු බැල්මක් හෙලා ඉදිරියේ වූ අසුනක ඇඳි ගත්තේය. ඊට පිටුපසින් ආ අගමැතිතුමියද කාමරය තුලට ඇතුළු වීමත් සමගම කාමරයේ දොර වැසූ මහාචාර්යතුමා ජනෙල් අසලට ගොස් අවට දෙස බලා වෙනත් කිසිවෙකු හෝ කතාවට සවන් දී නැති සැක හැර දැන ගත්තේය.


කිසිවෙකුත් වචනයකදු හෝ නොදෙඩු නමුත් මහාචාර්ය තුමා සිතුවේ ඉන්දියාවේ වසර කිහිපයක අනාගතයද වර්තමානයේ පැවැත්ම දෑත් මත රඳවා ගත දැවැන්තයින් පිරිසකට ඉන්දියාවේ බිඳ වැටීම අනාගතයේ දුප්පත් ඉන්දියාවක් නිර්මාණය වීම කෙසේ දරා ගැනීමට හැකි වේදෝ යන්නයි.

"මොකද මේ හැමෝම බය වෙලා වගේ.... නරක ආරංචියක් එහෙම නෙමේනේ ප්‍රකාශ්.. "

මද සිනාවක් පාමින් නොඉවසිල්ලෙන් සිටි
ජනාධිපතිතුමා ඇසුවේය.

දුරකථන ඇමතුමක් විස්වාශ කර පැමිණි ජනාධිපතිතුමාගේ කුතුහලය මහාචාර්යතුමාට අරුමයක් නොවිය. "ඒත් කොහොමද පටන් ගන්නේ.. " මහාචාර්ය තුමාගේ සිත ප්‍රශ්න වල සිරවිය.

 


"නෑ තාම නම් එහෙම වරදක් නෑ සර් , ඒත්....."   බැරෑරුම් මුහුණින් නමුත් සන්සුන් හඩින් මහාචාර්යවරයා පිළිතුරු දුන්නේය.


"මොකද්ද ඒත්..... ඔහොම කතා නොකර ඉන්න එපා මනුස්සයෝ... කියනවා ඉක්මනට "  කලින් තිබු මඳ සිනාව පසකට ලා පුදුමයෙන් පිරුණු හැඟීමක් මුහුණේ මවා ගත් ජනාධිපතිතුමා තැති ගත් සිතින් ඇසිය.


"මේකයි සර්...." මහාචාර්යතුමා බෑගයක් අවුස්සා ලිපි ගොනුවක් ගනිමින් කතා කරන්නට කට හැදුවේය.


" මේකයි සර්.... සර් දන්නවනේ මගේ සප්ත වාර්ෂික නිවාඩුවට මම මේ සැරේ ගියේ ලංකාවට.. ජපානයෙන් එංගලන්තෙන් එන්න කියද්දීත් මම අවුරුද්දක දේශන වලට ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියේ නිවාඩුවට විතරක්ම නෙමේ. අනික සර් දන්නවා මම මහාචාර්යවරයෙක් විතරක්ම නෙමේ කියලා. විශේෂෙන්ම මම ලංකාවට ගියේ අපේ බුද්ධි අංශ වල කටයුත්තක් සඳහා.."

පැමිණ සිටි බුද්ධි අංශ ප්‍රධානින් දෙස බලමින් මහාචාර්යතුමා පැවසිය.


"දැන් මොකද්ද ඔය කටයුත්ත.. ත්‍රස්තවාදීන්ගේ සැලැස්මක්ද.."
ඒ ඇසුවේ ලෝකයේ විශිෂ්ටම හමුදාවන් අතරින් තෙවන ස්ථානයේ සිටින ඉන්දීය හමුදාවේ ප්‍රධානි යුරේන්ද්‍ර සිංය. ලෝකයේ පැවති විවධ හමුදා පුහුණු කිරීම් වලදී පළමුවෙනි ස්ථානය දිනා ගනිමින් මනා නායකත්වයක් හමුදාවට සපයන 40 වියැති මේ හමුදාපතිගේ හඩ ප්‍රතපවත්ය. 

"නෑ නෑ එහෙම දෙයක් නෙමේ. අපට තිබුන ප්‍රධානම ගැටලුව තමා ගිය අවුරුද්දේ 2124 පකිස්තනේදී කරපු  ඔලිම්පික්  ක්‍රීඩා උළෙල. උළෙල අවුලක් උනේ නෑ. ඒත් හැමදාම පදක්කම් දෙකක තුනක වෙනසක් එක්ක  අපියි  ලංකාවයි කරට කර හිටියට ගිය අවුරුද්දේ අපිවත් සැහෙන්න පහු කරලා පදක්කම් ලයිස්තුවේ මුල් 10දෙන අතරට ලංකාව ආපු එක. ඔබලාට මතකනම් අපි ඒ ලැයිස්තුවේ හිටියේ 33 වෙනි තැන. අපිට ඕක ලොකු ගැටළුවක් උණා. අපි තීරණය කලා ලංකාවට එරෙහිව ලෝක ඔලිම්පික් කමිටුවට පෙත්සමක් ඉදිපත් කරන්න. හේතුව උනේ හඳුනාගත නොහැකි තහනම් උත්තේජක භාවිතය.  ඒ ඔක්කොම අතරේදී මේ අවුරුද්දේ නොබෙල් පදක්කම් ලාභීන් 3දෙනෙක් ම ලංකාවෙන් තේරෙනවා.. සාහිත්‍ය
ට නම් කමක් නෑ.  ඒත් ඔබතුම හිතන්න රසායන විද්‍යාවටයි වෛද්‍ය විද්‍යාවටයි දෙන ඒවටත් ලංකාව තේරෙද්දී... අපිට තාමත් ලැබිල තියෙන්නේ නොබෙල් පදක්කම් 8ක් විතරයි.. ඒත් දැනටමත් ලංකාව මේ අවුරුද්දේ 3 ත් එක්කම 5ක් දිනලා.. අපේ වෙලාවට ඔය අතරේදී ලංකාවේ ක්‍රීඩකයෝ කිසිම තහනම් උත්තේජකයක් ලබා ගෙන නෑ කියලා පෙත්සමට තිබුණ නඩුවෙන් තීරණය වෙනවා.. අපිට හිත ගන්න බැරි උණා ලංකාවට  මොකද වුනේ කියල...... " මහාචාර්යතුමාගේ හඬ බල විය.



'' ඔව්... ඔව්... මට මතකයි, ඉතින් දැන් මොකද වෙලා තියෙන්නේ.." 

ජනාධිපතිතුමාගේ ඉක්මන් හඬ එතුමාගේ නොඉවසිලිමත් භාවය මොනවට පැහැදිලි කළේය.

ඉතින්.... ඉතින් ඊට පස්සේ....


සැ. යු :- මේ කතාව මගේම කතාව වුනත් මේකේ පදනම මට යාලුවෙක් කියපු කතාවක් ආශ්‍රයෙන් මමම ගොඩ නැගුවක්. යාලුවත් ඒ කතාව කියවලා තිබුනේ පොතකින්. ඒත් ඒ පොතේ නමවත් කතුවරයාගේ නමවත් මතක නැති එක ලොකු පාඩුවක්.. ඒ ගැන සමා වෙන්න.

Thursday, August 16, 2012

අහස නුඹ මෙතරම් සැඩයැයි දැනුනේ මහා වැසි වැටුනමයි


අද මම පොඩි ගමනක් යන්න බස් එකට නැග්ගා. ආවේ private බස් එකක් නිසා ටිකක් සද්දෙට රේඩියෝව දාලා තිබුණා. ඔහේ ගිරවු වගේ කියවනවා මිසක් වැදගත් දෙයක් කියන්නේ නැති නිසා මම ඒ තරම් ඇහුම්කන් දෙන්න උත්සහයක් ගත්තේ නෑ. ඒත් ටික දුරක් යද්දී දීපිකා ප්‍රියදර්ශනී පිරිස් මහත්මියගේ මෙන්න මේ ගීතය මට ඇසුණා.

අහස නුඹ මෙතරම් සැඩයැයි දැනුනේ මහා වැසි වැටුනමයි
පොළව නුඹ මෙතරම් රළු යයි හැඟුනේ නියඟය ආවාමයි

රෑට තරු ඉසිනා අහසට අඳුරු සිත් ලැබුනේ කොහොමද…?
නේක මල් සාදන පොළොවට නපුරු සිත් කොහින් ලැබුණිද…..?

නීල ඉඳුවර පෑ අහසට කඳුළු වැසි දුන්නේ කව්රුද….?
පලා පෑ ඉසිලු මිහි මත නියන් ඇතිරුයේ කව්රුද…..?

ගීතය ඉවර වෙනවාත් එක්කම මගේ ඇස්වලට කඳුළු බින්දුවක් උනනවා කියල මට දැනුණා. ඒක පිහදාගන්නවත් හිතුනේ නැත්තේ මම මගේම ලෝකයක තනි වෙලා හිටපු නිසා වෙන්න ඇති.. ඒ ලෝකේ ගොඩක් දුර මම තනියම ඇවිදගෙන යනවා වගේ කියල මට හිතුණා. මම ගොඩක් මංසන්ධි පහු කළා. ඒත් දාලා යන්න ලෝබ හිතෙන එක මංසන්දියක නතර උණා.ඒත් අද එතන මම විතරයි. කෝ ඔයා…..? දැන් හැමදාම එතන මම විතරමයි. ඇත්තටම ධනුෂ්කා ඔයා මේ තරම් රළු යැයි සැඩ යැයි කියල නම් මට කවදාවත්ම හිතිලා තිබුනේ නෑ.

ඇය ධනුෂ්කා. මුලින්ම දැක්කේ ජනප්‍රිය රසායන විද්‍යා පංතියකදී.. මනෝ විශ්ලේෂකයෝ කොහොම කිව්වත් මම හොඳටම දන්නවා ඔය දැකපු මුල්ම දවසේ මගේ හිතේ නම් ඇති උනේ නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා පිදිය හැකි පිවිතුරු ආදරයක් කියල. ඔයාගේ ලස්සනයි, ගතිගුණයි වලට ලං වෙන්න පුළුවන් තරමේ මායිමකින් නෙමේ මම හිටියේ කියල දැන දැනත් මට ඔයාට ආදරය නොකර ඉන්න බැරි උණා. ඒත් එකම එක දවසක මම හිතුවා හද මල් විලේ පිපුණ නෙළුම් මල ගැන ඔයාට කියන්න. බයෙන් බයෙන් ලඟට ගියත් ඔයා ළඟ ඉන්න ලැබුණු අවසරය අදටත් මට පුදුමයක්. අපි අවුරුදු ගානක් ආදරය කළා.

ඒත් මගෙන් වෙන් වෙලා ගිය එදාට පහුවෙනිදා පෝරුවට නගින්න උණත් ඒ නගින්නේ උදේ පිපුණ නෙළුම් මලක් වගේ කියලා ඔයත් මමත් දෙන්නම දන්නවා. ඒ තරමටයි මම ඔයාට ආදරේ කලේ. රු 600 කාමරේකවත් රු .250 Box එකකවත් නෙමේ මගේ ආදරේ තිබුනේ. මට එහෙම කරන්න තිබුණා.ඒත් මගේ අදර කතාවේ එහෙම කොටස් ලියන්න ඕනෑකමක් තිබුනේ නෑ. මම දැනන් හිටියා මුළු අහස පුරාම මගේ පුජනිය ආදරේ සුවඳ දිදී හමනවා කියලා. ඒත් එක අඳුරු දවසක ඔය මාව දාලා ගියා. එදා ඉඳන් අද වෙනකම් මම ඔයාව හැබැහින් දැක්කේ නෑ. ඒත් දන්නවද…? මම හැමදාම ඔයා facebook දාලා තියෙන ෆොටෝ දිහා බලලා ඒ ආදරේ විඳිනවා කියල. මගේ අවාසනාවකට මට විශ්ව විද්‍යාලයට යන්න වරම් නැති උනත් ඔය තේරුණා කියලා දැනගනිපු දවසේ මට මුළු ලෝකෙටම කෑ ගහලා කියන්න පුළුවන් තරමේ සතුටකුයි තිබුනේ. ඒත් ඒ මගේ ආදරය ඔයාගේ ආදරෙන් මිදෙන මොහොත කියලා මම දැනගත්තේ පස්සෙයි. ඇත්තමට ඔයාට වෛර කරන්න බෑ මට. ඔයා කිව්වේ මුළු ලෝකෙම මගේ විතරයි කියල උණාට ඔයාගේ දොස්තර ලෝකේ මම පැනඩෝල් පෙත්තක් වගේ කියල දැනෙන්නේ ඔයාගේ මහත්තයා වෙන්න ඉන්න, දොස්තර මහත්තය එක්ක මම ගැන හිතද්දී… ඔයාට මාව මදි උණා. ඒත් මට තාමත් ඔයාව මදි උනේ නෑ.. ඒ ආදරයයි මතකයයි හිතේ තියන් කල්පයක් උනත් බලන් ඉන්න මට පුළුවන්. පිවිතුරු හිතකින් පටන් ගනිපු මගේ ආදරේ අදටත් හෙටත් එහෙම්මයි. ඒක වෙනස් කරන්න නම් බැරි වේවි. ඔයා ඉන්න තැනක හොඳින් ඉන්න.ඒකයි මගේ එකම ප්‍රාර්ථනාව..ඒත්
“තමුසේ වගේ එකෙක් එක්ක පාරේ බැහැල යන්න පුලුවන්ද…..?”

කියලා අහපු දවසෙයි මට දැනුනේ “අහස නුඹ මෙතරම් සැඩයැයි දැනුනේ මහා වැසි වැටුනමයි” කියලා…. රස්සාවකට කියලා දොස්තරකමක් විතරයි අඩුවකට තිබුණේ. ඒත් ඒ මදි අඩු පාඩුව මේ තරම් දෙයක් කරාවි කියලා නිකමටවත් හිතන්නේ කොහොමද මම..?

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් බහින තැනත් ලංවෙලා…

මම යනවා ධනුෂ්කා.. බුදු සරණයි රත්තරන්.

බස් එකෙන් බහිද්දී මගේ හිත

මා ඉතින් යන්න යනවා

මට යන්න අවසරයි

මට අරන් යන්න ඇත්තේ

ඒ මතකය විතරයි….”

කියල කොඳුරනවා වගේ යාන්තමට ඇහුණා.
පසුව ලියමි…. ඉතා පොඩි මේ ජිවිත කාලයේ අපිට අවස්ථාවන් ගොඩක් ලැබෙන එකක් නැති වේවි. ඒත් ඔබට හරියට ආදරය කරන කෙනා අදුර ගන්න.. මොකද පොඩි වැරදීමකින් මහා විනාසයක් වෙන්න පුළුවන්… ආදරේට ආදරය කරන්න. ලෝකේ ලස්සන විදින්න.

මේ මල් පිබිදෙන හෝරාව ඔබටයි මටයි අපේ ආදරයටයි විතරමයි.

එන්න අපි මෙතන ඉඳන් ඒ මල් සුවඳ විඳිමු.

Sunday, August 12, 2012

My Heart Will Go On......... :'(



 හිතන්න එපා සුදා මල්ලි බොළඳ වෙන්න යනවා කියලා. අපි හැමෝම බොළඳ වෙන අවස්ථාවක් කොයි වෙලාවේ හරි එනවා. මේ මට ඒක දැනුණු අවස්ථාවක්. ඊයේ රෑ. හදවතට කම්පනයක්, ඇහැට කඳුලක් එක් කරන්න තරම් සමත් වුණු නිර්මාණයක කතාව ගැන කතා කරන්නයි හිතුවේ. සුදාගේ සිතුවිල්ලකින් කවදාවත් චිත්‍රපටියක් ගැන කතා කරලා නෑ. ඒත් හිතට දැනුණු නිසා කතා කරන්න ඕනේ කියලා හිතුණා. "සිය රට දේ සිරි සැප දේ" කිව්වට ෆිල්ම් එක නම් හොලිවුඩ්. අවුරුදු ගානක්ම පරණයි. කොච්චර පරණද කිව්වොත් ඒක හදලා තියෙන්නේ 1997 දී. මම මුලින්ම බැලුවේ 7 වසරේදී. එදා සම්පුර්ණයෙන්ම බලන්න බැරි උණා අන්තිම වෙද්දී අක්කා දාපු ගෝරනාඩුව නිසා. එදා ඉඳන් හිතන් හිටියත් ආපහු බලන්න ඕනේ කියලා ආපහු බලන්න උනේ නම් ඊයේ රෑ. මේ දවස් වල වැඩි හරියක් කරන්නේ ෆිල්ම් බලන එක නිසා කොහොමින් කොහොම හරි ඊයේ යාලුවගෙන් හම්බුණ "පෙන්" එක ඇතුළේ අන්න ඒ ෆිල්ම් එකත් ගබඩා වෙලා තිබුණා. ඌට පින් දිදි බලන්න ගත්තා. එදා පොඩි කලේ දැනුණ හැඟීමම ආපහු ඊයෙත් දැනුණා. අති සාර්ථක නිර්මාණයක් මට හිතෙන විදියට නම්. අඬන්න ෆිල්ම් හදන්නේ බොලිවුඩ් වල කිව්වට ඒක බොරුවක් කරලා තියෙන්නේ හොලිවුඩ් වල අද්විතීය නිර්මාණ කරුවෙක්. ආදර කතා වලින් ලෝකයක් වසඟයට ගනිපු අධ්‍යක්ෂකවරයෙක්. නිර්මාණය කොච්චර සාර්ථකද කිව්වොත් ඔස්කාර් සම්මාන 11 ක් වගේම නිර්දේශිත නාම 3 කුත් ඒ ඔස්කාර් සම්මාන උළලේදී මේ ෆිල්ම් එක වෙනුවෙන් හම්බෙලා තියෙනවා. උඩ මාතෘකාව දැකපු ගමන් සමහරු නම් ෆිල්ම් එක මොකද්ද කියල අඳුර ගන්න ඇති. චිත්‍රපටිය
"ටයිටැනික් "

ඔක්කොන්ටම කලින් ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්.ජැක් ඩෝ(ව්)සන් ලෙස ලියනාඩෝ ඩි කැප්රියොත්, රෝස් ඩේවිට්(පස්සේ ඩෝ(ව්)සන්) ලෙස කෙට් වින්ස්ලට්නුත් සුපිරි රංගනයක යෙදෙද්දී ඒ අතරේ බිලී සේන්, ෆ්රාන්සස් ෆ්‍රීෂර්, වගේම ආදරණිය රෝස් ආච්චි අම්ම ලෙස ග්ලෝරිආ ස්ටුඅර්ට් ආදී දහස් සංඛ්‍යාත නළු නිලි කැලක් තමන්ගේ රංගන හැකියාවන් ෆිල්ම් එකට ලබාදෙද්දී ජේම්ස් කැමරන් කතාව ලියලා අධ්‍යක්ෂණය කරනවා. මිනිත්තු 194 ක කාලයක් තිස්සේ දිවෙන මේ ෆිල්ම් එක හදවතට දැනෙන්න සලස්වපු සංගීතය ජේම්ස් හොර්නර් අධ්‍යක්ෂණය කරලා. අවුරුදු ගණනාවක් එක දිගට අදටත් එදා වගේම ලෝකයක් ආදරය කරන විල් ජෙනින්ස් ලියපු Celine Dion ගායනා කරන "My Heart Will Go On.." ගීතය ඇතුලත් උනෙත් මේ චිත්‍රපටියට. ඩොලර් මිලියන 200 ක් වියදම් කරලා හදලා ඩොලර් බිලියන දෙකකට වැඩි අදායමක් ලබලත් අද වෙනකුත් ලෝකය අත් නොහරිපු මේ ෆිල්ම් එක මුලින්ම පෙන්නලා තියෙන්නේ 1997 නොවැම්බර් 1 වෙනිදා ටෝකියෝ ජාත්‍යන්තර චිතපට උළෙල සඳහායි . ඊට පස්සේ 1997 දෙසැම්බර් 19 වෙනිදා ඉඳන් අද වෙනකනුත් බිලියන දහස් ගණනක ආදරය ලබමින් ලෝකෙට ආදරය මේ යැයි කියල දීපු විශිෂ්ට නිර්මාණය "ටයිටැනික්" ගැන මිට වඩා තොරතුරු මෙතනින් ගන්නත් පුළුවන්....  
බලන්න ඕනේ නම් කොටන්න

මම හිතන්නේ නෑ ටයිටැනික් ෆිල්ම් එකේ කතාව නොදන්නා කවුරුවත් ඇතියි කියලා. ඒක නිසා කතාව නම් කියන්න කිසිම බලාපොරොත්තුවක් නෑ. සුදාට ජිවිතේ ගැන ආපු ටයිටැනික් සිතුවිල්ලේ තව පොඩි පොඩි සිතුවිලි ටිකක් කියනවා කියලයි හිතුවේ. ජිවිතේ ගැන ෆිල්ම් එකකින් ඉගෙන ගන්න එක මෝඩ කමක් උනාට අද්විතීය සංගීතයත් එක්ක ඒ දැකපු දර්ශන සුදාගේ හදවතට නම් කතා කලා. අනිත් අයට දිරවාවිද නම් දන්නේ නෑ.මේ ඒ පොඩි සිතුවිලි....

"නැව ගිලුනත් බෑන්ඩ් චුන්" කියන කතාව ලෝකෙට අවේ මේ ෆිල්ම් එකත් එක්ක. නැව දියත් වෙන වෙලාවේ ඉඳල නැව ගිලෙන අන්තිම මොහොත වෙනුවෙනුත් සංගීත කණ්ඩායම තමන්ගේ සේවය කරනවා. වතුර ගිලි ගිලි නැව දෙකඩ වෙද්දීත් ඔවුන් තමන්ගේ සේවය කරනවා.. ඒකයි කියන්නේ රාජකාරිය යනු දේවකාරියටත් වඩා ඉහලය කියලා. එහෙම කියලා මැරෙන්න නෙමේ. හැකි සෑම විටම නොසැලී නොබියව තමන්ගේ සේවය කරන්න. නැවේ කපිතාන්ට, නැවේ ප්‍රධාන ඉංජිනේරුවාට හැමෝන්ටම කලින් පලා යන්න හැකියාව තිබුනත් ඔවුන් නැව තුලම උවමනාවෙන්ම මිය යන්නේ තමන්ගෙන් සිදු උණා අතපසු වීම වැරැද්ද නිසා අහිංසක මගී ජනතාවට පත් වුණු විපත ගැන හිතලා. ලෝකේ එහෙම මිනිස්සු හරි අඩුයි. තමන්ව බේරලා බෝට්ටුවකට දාන්න කියලා රෝස් ගේ අතිනත ගන්න ඉන්න තරුණය(හොක්ලින්ක්ස්) නැවේ ඉහල ප්‍රධානියෙක්ගේ සාක්කුවට සල්ලි මිටියක් දැම්මත් කාන්තාවන් සහ දරුවන් පළමුව බේරා හැරිය යුතුය කියලා මතයේ ඉන්න එම නිලධාරිය ඒ සල්ලි වලින්ම ආපහු ගහන්නේ සල්ලි නෙමේ ජිවිතේ කියන එක ලෝකෙට කියන්න වෙන්න ඇතී. ජැක් සහ රෝස් නැවේ සාද වර්ග දෙකකට සහභාගී වෙනවා. එකක් ඉහල පන්තියේ සාදයක්. අනික තුන්වෙනි පන්තියේ මිනිස්සුන්ගේ සාදයක්.. සල්ලි කාර මිනිස්සුන්ගේ වැදගත්ය කියන මිනිස්සුන්ගේ පුහු අටෝප නිසා හැබෑ සතුට හැංගිලායි තියෙන්නේ. ඒත් තුන්වෙනි පන්තියට ගිය රෝස් ගේ තුලින් ඉස්මතු වෙන්නේ අර හැංගිලා තුබුණ සතුටමයි නේද..? කිසිම බාධාවක් නෑ. නටනවා ගයනවා. ඒත් ඉහල පැලැන්තියේ.....???
ඕකට අපේ ගායකයෙකුත් කියලා තියෙන්නේ
"පිදුරු සෙවි කල පැල්පතේ ඇති
සාමේ නැත මහා මන්දිරේ "

ආදරය.... වතුරට නොහේදුනු ආදරය... සීතලට ගල් නොගැහුණු ආදරය... නැවත් සමග යට නොවුණු ආදරය... සයුරේ හදවතට නොවිකුණු ආදරය.... ලෝකයක් ආදරය කල ටයිටැනික් ආදරය... රෝස් ගෙන් ජැක්ට ලැබුණු ආදරය... ජැක්ගෙන් රෝස්ට ලැබුණු ආදරය.. කොහොම කිව්වත් එකම එක ආදරයක් විතරයි. ෆිල්ම් ගණනාවක් බලල තිබුනත් හදවතට දැනුණු එකම ආදරයත් ඒක විතරමයි. දුප්පත්කම ආදරේට බාදාවක් නෙමේ.. මුහුදට පනින්න ගිය අනුන්ගේ ජිවිතයක් බේරන්න මුහුදට පනින්න ලෑස්ති වෙන්න නම් ඒ හදවත් කොච්චර ආදරයකින් පිරිලා තියෙන්න ඕනෙද...? ඒ ජිවිතේ තමන්ගේම කර ගන්න ලෝකේ තියෙන හැමදේම අතාරින්න ලේස්ති නම් ඒ ආදරය කොච්චර ලස්සන වෙන්න ඕනෙද...? මුහුදු වතුර පිරෙද්දීත් අඬන දරුවෙක් අතට ගන්න නම් ඒ ආදරය කොච්චර කරුණ බර වෙන්න ඕනෙද..? තමන්ට පහසුවෙන්ම අම්මා එක්ක බෝට්ටුවෙන් යන්න පුළුවන්කම තියෙද්දිත් තමාගේ ආදරය හොයා ගෙන ගිලෙන නැවක් ඇතුලට රිංගන්න නම් ඒ ආදරය කොච්චර නිර්භීත වෙන්න ඕනෙද...? පරිස්සමට යන්න බෝට්ටුවකට නැගලත් ආපහු ගිලෙන නැවට ගොඩ වෙලා ආදරය හොයාගෙන එන්න නම් ඒ ආදරය කොච්චර තමන්ගේ වෙලාද....? වතුර මිදෙන ජලයේ ලී කැල්ලක එල්ලිලා ඒ ලීය උඩ ආදරය තියාගෙන රැක ගන්න නම් ඒ ආදරය කොච්චර ආරක්ෂාකාරිද ..? තමන් වෙනුවෙන් තමන්ගේ බලාපොරොත්තු ඉටු කන්න පොරොන්දු වෙලා කැපවෙලා ඉන්න ආදරයක් ආදරේට කොච්චර ආදරේද...? තමන්ට, ආදරය තමන් සන්තකේටම කර ගන්න බැරි උනත් ආදරේ හීන ඉටු කරන්න මහන්සි වෙන ආදරේ කොච්චර උතුම්ද..? ෆොටෝ එකක්වත් නැතුව අවුරුදු ගානක් හිතේ ඇඳිලා තිබුණ ඒ රුපෙට ආදරය කරලා දරු පරපුරක් හදලා ආදරේ බලාපොරොත්තු ඉටු කරපු ආදරේ කොච්චර පිවිතුරුද...? ආදරය යනු ලඟින් තබා ගැනීමම නොවේ.....!!! ඊට එහාට මම මුකුත්ම කියන්නේ නෑ.
 

Thursday, August 9, 2012

සිත හඬයි... මා තනිවෙයි..... මා දවාලයි මේ සොකේ....



අනේ නංගියේ උඹට මේ මොකද්ද උනේ...? ඊයේ ඉඳන් මගේ හිතේ තිබුන ප්‍රශ්නේ. බ්‍රහස්පතින්දා, සිකුරාදා දවස් දෙකේම මුණු පොතේ හිටිය නැති මම හැන්දෑ යාමේ මුණු පොතේ ඇවිත් එබිලා බලද්දී පණිවිඩ 5 ක් දැක්කා. 

 
කවදාවත් මට ඔහොම ඇවිත් නැති නිසා හරිම අසාවෙන් උද ගෙන බැලුව.4 කම දන්නා කියන අයගෙන්. සිකුරාදා උදේ පන්ති යන විදිය ගැන කියලා. අනික් පණිවිඩේ ඇවිත් තිබුනේ කාගේදෝ හොර මුණු පොත් ගිණුමකින්. මට කවදාවත් එහෙම පණිවිඩ එන්නේ නැති නිසා පුදුමයක් එක්ක ඇරලා බැලුවම මම දෙලෝ රත් උණා. මේ ඒ පණිවිඩේ.

"mchn me 4tos sandage. ara sandamalige. f.b. prfil aka
tyene "Sandaa" andum natuwa kollonta 4tos yawanawa. athul ekak ganin.. patta baduva.
habi me 4tos apu bwa kyana epa.
eki bella ellan marewi. 4tos ewanawa kollon ta "

මට හිත ගන්න බැරි උණා. මම කාට කියන්නද..? මොනවා කරන්නද..? මම හොඳට දන්නා නංගි කෙනෙක් නිසා එයට කියන්නත් බෑ. ඒ ළමය මොකක් හරි කරගත්තොත්. මට උනත් කරන්න කියන්න දෙයක් හිත ගන්න බැරි උණා. එහෙම්මම මුණු පොතෙන් අයින් වෙලා නිදා ගන්න ගියා. වලත්ත හිතකින් නෙමේ. මම හොඳට දන්නා ඒ කෙල්ලට මොකද්ද උනේ කියලා. මතකද මම එක දවසකුත් කිව්වා මුණු පොතේ ඉන්න කාන්ත පාර්ශවය කතාබහ කරද්දී ෆොටෝ අප්ලෝඩ් කරද්දී මිට වඩා පරිස්සම් වෙන්න කියලා. මම කියපු එක දැකලද නැද්ද කියලා මම දන්නේ නෑ.ඒත් කොහොමහරි මම හොඳට දන්නවා එයාගේ ෆොටෝ එකක්වත් ඒ ගිණුමේ නෑ කියලා.එහෙම තියෙද්දිත් අර වගේ ෆොටෝ ටිකක් ආවම ඕන කෙනෙක් ටිකක් බය වෙනවනේ. මහලොකු දෙයක් නොතිබුනත් තිබුනේ ඇය අපහසුතාවයට පත්වෙන විධියේ ෆොටෝ ටිකක් බව නම් කියන්න පුළුවන්. කොහොමින් කොහොම හරි මම අද උදේම අර නංගිගෙන් ඕක ගැන ඇහුවම. සඳා තනිකරම අපහසුතාවයට පත් උණා.ඒත් කොහොමහරි සඳා වචන ගැට ගහ ගත්තා. කෙටියෙන් කිව්වොත් වෙලා තියෙන්නේ මේකයි.

ඒ නංගි කෙනෙක් එක්ක යාලුයි. එක සඳාගේ ගිණුමේත් දාලා තියෙනවා නමත් එක්කම. මමත් එක දන්නවා ඒ දවස්වලම. ඒ නංගිත් ඒ කෙනාට පණ ඇරලා ආදරෙයි. ඒ කොල්ලත් එහෙම්ම වෙන්න ඇති. ඒත් ඒ සම්බන්දේ නවත්තන්න උත්සහ ගන්න කිසියම් කෙනෙක් ඒ වගේ ෆොටෝ හදලා යාළුවොන්ට යවනවා කියලා තමා මට කිව්වේ.

"අනේ අයියේ පුළුවන් නම් අයියගේ යාලුවොන්ට මේ ගැන කියන්න"

කියලා කිව්වම අහක බලන්න බෑනේ.

"යාළුවනේ, ඒ නංගි ලස්සනයි. කෙටියෙන්ම කිව්වොත් පට්ටයි. ඒත් ඔය කියන විදියේ මෝල් අමාරුවකින් ඉන්න කෙනෙක් නම් නෙමේ. එක නිසා අතල් ගන්න උත්සහ ගන්න එක අර්ථ විරහිත දෙයක් වේවි. ඒ වගේම ඕක ගැන ඇගෙන් අහලා ඇයට ජීවතේ එපා කරවන්න එපා. මොකද දැනටමත් ඇය මාර අපහසුතාවයකින් ඉන්නේ ලෝකයට මුණ දෙන්න බැරුව. ඇයව තේරුම් ගන්න"
සඳා ගැන කියන්න ඕන දේවල් කිව්වා. මේ පස්සේ මට හිතුණ දේවල් ටිකක්.

ඕන කෙනෙක් කැමති නිරුවත දකින්න. (දැන් කියපියව් ඔය බොරු අපි එහෙම නෑ. සුදා දැන් වලත්ත වෙලා කියලා) චියා කියලා අහක බැලුවත් ආයේ ඇහේ කොනින් හොයන්නේ ඒ දේම තමා. ඔය එහෙම නෑ කියන අයට තියෙන්නේ ලෙඩක්. ඒකට නම් කරන්න දෙයක් නෑ. ඕක තාම සාමාන්‍ය මනුස්ස ස්වභාවය. ඒක තේරුම් ගත්තා මිනිස්සු ඒක වෙළඳ භාණ්ඩයක් කරගෙන. හොඳම උදාහරණය චිත්‍රපට කර්මාන්තය. තමන්ගේ අලෙවිකරණ කටයුත්තේ ඉඳන් නිර්මාණකරණයෙන් සම්භාව්‍ය ගණයට ඔසවා තැබීම තෙක් කිසියයම් කෙනෙක්ගේ (බොහෝ දුරට කාන්තාවකගේ) කෙස් ගහේ සිට දෙපතුලේ නිය පොත්ත තෙක් කැමරාව සැරිසරනවා. දිය රෙදි ඇඳන් නාන සිදුවීම්, දුහුල් සාරි ඇඳන් වැස්සේ තෙමෙන සිදුවීම්... ඒවයි ප්‍රතිපල. නිරුවතට මිනිස්සු අකමැති කියනවා නම් ලෝකේ පළවෙනි රස්සාව නිරුවතත් එක්ක බැඳිලා තියේවිද..?. ඒත් අපි බල්ලෝ බළලු නෙමේනේ. සදාචාර සම්පන්න ජාතියක එක පරම්පරාවක්. මේ යට ඇඳුම ඇඳන් මුහුදේ නාන ගෑනු අපේ රටේ නෑනේ. පිටරට වල හිටියට. දැන් නම් දෙරණේ ඉන්නවා. ඒක නවත්තන්න අපිට බෑ. ඒක නිසා ගණන් කරන ගැහැනියක් හැර වෙනත් කෙනෙක්ගේ නිරුවත් ෆොටෝ එකක් එලියට අවොත් ඒ කෙනාට කලන්තේ දාන්නේ ආයේ සිහිය එන්නම නෙමේ. ඒක නිසා දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්න. 
 
තාක්ෂණයේ දියුණුවත් එක්ක ඔලු බද්ධ කිරීමි අධි සංවේදී කැමරා වගේ දේවල් නිසා කරන්න බැරි දෙයක් නෑ. ඔබ ඔය පට්ට බඩුවක් කියලා හිතන කෙනෙක් අහිංසක කෙල්ලෙක් නම්. මානසික ලෙඩ්ඩු ඇති. ඒත් ඉන්න හැමෝම ලෙඩ්ඩු නෙමේනේ. ඒක නිසා මොළෙන් කල්පනා කරලා තමන්ගේ ආත්ම ගරුත්වය වගේම අනිත් කෙනාගේ ආත්ම ගරුත්වය රකින්න උත්සහ ගන්න ගමන් ඔබේ සතුට ඔබේ ළඟ තිය ගන්න බල්ලෝ බළලු වෙන්නේ නැතිව.

සැලකිය යුතුයි.... පින්සිද්ධ වෙයි.... "ඔය කෙනා කවුද කියලා නම් අහල පණිවිඩ අහන්න එපා.....!!!".

Wednesday, August 8, 2012

සිහිනයකි මට ජිවිතේ................


                        
මේ සිතුවිල්ලට නමක් දාන එක තමා සුදාට තිබුණ ලොකුම අමාරුව. මොකද සුදාගේ සිතුවිල්ලේ නම අනිවා සින්දුවක පේලියක්. එක්කෝ කෙලින්ම නැතිනම් සුට්ටක් වෙනස් කරලා. ජිවිතේ සුදාට ලැබුණු නොලැබුණු දහසක් දේ එක්ක පුංචි අත්මානු
කම්පාවක් පා කරලා සුදා ලොකු බරකින් නිදහස් වෙන්න හිතුවා.

සුදාත් අනිත් උන් වගේම තමා.. පොඩි කාලේ ඕන ලොක්කෙක් ඇහුවම

"පොඩ්ඩෝ, ලොකු වෙලා කවුරු වෙන්නද කැමති...?"
කියල සුදා දුන්නේ එකම එක උත්තරයක් ඒ
"දොත්තර කෙනෙක් වෙන්න"
මතක ඇති කාලේ ඉඳන් ඔය උත්තරේ දුන්නට දැන් පහත් තත්වෙට වැටිලා තියෙන උසස් පෙළට සුදා කලේ මැත්ස්.. ලංකාවේ මැත්ස් කරලා දොස්තර වෙන්න බැරි උණාට වෙන තැන් වල පුළුවන් හොඳේ.
මාත් සුපුරුදු විදියටම ඒත් වෙනසක් එක්ක සිස්සත්තෙට ලිව්වා. නෙළුවේ මට මතක ඇති කලේ පොඩි අයට තිබුණ එකම ඉංග්‍රීසි පන්තිය පාලිත සර්ගේ. ඒක නම් හරි ශෝක් පන්තියක්. ඇත්තටම අද කතා කරන එක ඉංග්‍රීසි වචනයක් ගානේ සර්ට පින් ලැබෙනවා. ඒකට විතරයි පොඩි කාලේ ගියේ. මාලනී ටීචර් ඉස්කෝලේදී උගන්න දේට වඩා බරක් පටවන්න අම්මලා කැමති උනේ නෑ. ඒකට හේතුව මට බර පැටවිමද..? හුරතලේට හදපු සුදාව විභාගේ පාස් උනොත් ගෙදරින් පිට කරලා එවන්න තිබුණ ලෝබ කමද කියල මට අදටත් ප්‍රශ්නයක්.

කොහොම උනත් සුදා ෆේල්. 132 න් පාස් කලේ. ඒත් සුදාට සිද්ධ උණා 124 ක් අරන් පැත්තකට වෙන්න. විභාගෙට වැඩි උනන්දුවක් නොදක්වපු අම්මලට ඒක ප්‍රශ්නයක් නොවුනත් සුදා ගැන බලාපොරොත්තු තියන් හිටි මාලනී ටීචර් සුදාට වඩා ඇඩුවා කියලා නම් සුදාට හොඳට මතකයි. කාංචන, නිර්මාණි, ඊශානි, සන්දීපා, ධනුෂ්ක, ප්‍රිමාල්, උපමාලි, අමාලි, එසිත ඔය තමා 2001 අවුරුද්දේ අපේ ඉස්කෝලෙන් පාස් උන අය. කාංචන කොළඹ ආනන්දෙට, නිර්මාණි සවුත්ලන්ඩ්ස් බාලිකාවට, ඊශානි සන්දීපා ගාල්ලේ රිපන් බාලිකාවට, උපමාලි මතුගම කන්නන්ගර විද්‍යාලයට, අමාලි බද්දේගම ක්‍රිස්තුදේව බාලිකාවට, එසිත පානදුර සුමංගලයටත් බෙදිලා ගියා. ධනුෂ්කයි ප්‍රිමලුයි අපිත් එක්ක නැවතුණා. කොහොම බෙදිලා ගියත් ඔය අය එදා වගේම අදටත් කතා කරනවා. සුදාට ඔය සෙට් එක මතක් උනේ ලඟදි ගාල්ලේ තිබුන පිකටින් එකකදී අවුරුදු 11 කට පස්සේ අමාලි හම්බුණ නිසා. දැන් රිච්මන්ඩ් විද්‍යාලයේ සේවය කරන මාලනී ටීචර් හම්බෙලා වැඳලා එන්න ගියාම ඔය පාස් උණ 9 දෙන ගැනම අහලා ඇස් වල කඳුළු පුරවාගෙන

"බුදු සරණයි පුතේ"
කියලා කියද්දී නම් ඇත්තමයි වවන්නේ නෑ. එහෙම ගුරු දෙවිවරු අඩුයි. මිස්ට අපි හැමදාම ණයයි රටක් වටිනා ළමයි ටිකක් හැදුවට...? ;)

කොහොමින් කොහොම හරි කාලය ගෙවුණා. සුදාගේ සෙට් එක අලුත් උණා. දිලිප්(වෙන පාසලක.. ඒත් ඉතින් අපේ වගේ තමා) ප්‍රිමාල්, දිහාන් එක්ක සාමාන්‍ය පෙළ කලා. හිමිජ්ජා වගේ හිටියට ආතල් ගොඩයි. කොහොම හරි සංගීත නැටුම් දැනුම මිනුම අනම් මනම් ගොඩක් එක්ක අවුරුදු ගාණක් ගත උණා. පන්තිත් ගියා. චාටර්නුත් උණා. බ්‍රියිට්නුත් උණා. ඔය ඔක්කොම එක්ක විභාගත් කලා. සංගීතේ කොච්චර කලාද කිව්වොත් ඒ ඉස්කෝලෙම ගුරුවරියක් උණ සුදාගේ අම්මා එනවා පීරියඩ් එකෙන් එකට මු පන්තියේ ඉන්නවද බලන්න. නැතිනම් ආයේ වෙන කොහෙවත් හොයන්න කරන්න දෙයක් නෑ. දුවගෙන එනවා සංගීත කාමරේට. උඩ තට්ටුවක තිබුණ සංගීත කාමරේට හැමදේම පේන නිසා එන තාලෙන් වැඩෙත් දන්නා නිසා ශේප් එකේ පහලට බහිනවා.

"කොහෙද යන්නේ.. ෆේල් වෙන්නද හදන්නේ.. මම ගහනවා දවසක ඔය වයලින් එක කෑලි කැඩෙන්න. යනවා පන්තියට."
පුදුමේ කියන්නේ ඔය වයලින් එක තාම ගෙදර යහතින්. කොහොමින් කොහොමහරි විභාගේ කරලා ගාලු ආවා මැත්ස් කරන්න. මොන හේතුවකට මැත්ස් කරාද කියල නම් මම දන්නේ නෑ. ඒත් බයෝ නොකළේ නම් ඉස්සර පන්තිවල දෙන රූප සටහන් ගෙදර ඇවිත් චිත්‍ර වගේ අදිද්දී අම්ම කිව්වා
"පොඩ්ඩෝ බයෝ නම් කරන්න එපා"
කියලා. මොන හේතුවකට අනිත් අංශ දෙක අත ඇරලා මැත්ස් කලාද කියල නම් මගෙන් අහන්න එපා.

අප්‍රේල් මාසේ 9 වගේ මතක. 2007 සාමාන්‍ය පෙළ ප්‍රතිපල නිකුත් කලා. තුන්පාරක් නෙමේ. හරියට එක පාරක්. A 9 B 1 ක් එක්ක ඉස්කෝලේ හොඳම ප්‍රතිපල.. මම විතරක් නෙමේ ඔය ප්‍රතිපල තිබුණා තවත් ගැණු ළමයෙක් හිටියා නිලංකා කියල. එයා නම් බයෝ කරන්න මාතර ගියා.


සැ. යු- උසස් පෙළ රස කතා, විශ්ලේෂණ, නිගමන, සිතුවිලි අවුරුද්දකින් දෙකකින් බලාපොරොත්තු වන්න. මක්නිසාද යත් තවමත් අදාල පුද්ගලයින් සුදා සමගම පුර්ව සරසවි පෙළපාලි වලට එක්වන බැවිනි . ඒවා ගැන පස්සේ හිමිට කියන්නම් හොඳේ


දැන් ඔන්න 2008-2011 පාස් කලා. මේ ඊට පස්සේ හා පොඩ්ඩක් ඊට කලින්


සුදු කෝට්..... කළු කෝට්..... දැන් කියන්න එපා මොකෝ නැවැත්තුවේ.. තව දුඹුරු කෝට්... ඕවර් කෝට් තියෙනෝනේ කියලා. මේකයි රස්සා එක්ක කෝට් ගෑවෙනවා නම් ඒ සුදු කොට්නුයි කළු කොට්නුයි විතරයි. කළු කෝට් නීතිඥයෝ අධ්‍යක්ෂකවරු ඉඳන් එකී මෙකි නොකී බොහෝ අය අඳිද්දී සුදු කෝට් අඳින්නේ කිහිප දෙනෙක් විතරයි. මේ මොකද්ද බොලේ මුට උණේ කියලා හිතෙනවා නේද පොඩ්ඩක් ඉන්න. ඊට පස්සේ සුදු කෝට්. දොස්තරවරු, පිරිමි හෙදවරු, රසායනාගාර වල වැඩ කරන අය හා විදුහල්පතිවරු වගේ බොහොම සීමිත පිරිසක් විතරයි සුදු කෝට් අඳින්නේ..

හෙදියක් උණ සුදාගේ අක්කා ගේන පොත් වල ෆොටෝ වල තියෙන රූප එක්ක මෙඩිකල් ෆැකල්ටියේ ඉන්න චුටි අයියා කියන කතා එක්ක දොස්තර සුදු කෝට් සිහිනය සුදාට අප්ප්රියාවක් උණා. ඇත්තමයි ජීවිතේට දොස්තර කෙනෙක් වෙන්න නෑ කියලා නම් සුදා හිතුවේ මේ ලඟදි. ඒත් පත්තරේ බලන්න කණ්නාඩි දාන දුර පේන අම්මා එදා බයෝ නම් කරන්න එපා කිව්ව එක ගැන නම් මාර සතුටුයි. ප්‍රින්සිපල් කෙනෙක් වෙන එක බාරධුර වැඩි නිසා ඒකත් පොඩ්ඩක් පැත්තකින් තිබ්බා. අපොයි.. 2011 ප්‍රතිපල ආවා විතරයි අක්කා නිතිය දැමමා.
"නර්සින් එහෙම නම් කරන්න හිතන්න එපා.. තුවාල වලට අකැමති මිනිහා නර්සින් කරලා අල කන්නද හලෝ. :P "

හ්ම්ම් අන්තිමට ඉතුරු උණේ සුදු කෝට් රසායනාගාර වල වැඩ කරන කෙනෙක් වෙන එක විතරයි. හැබැයි... ඕකේ උනේ අනික් පැත්ත. ගාල්ලේ ඉන්න හොඳම දක්ෂම රසායන විද්‍යාව පරිපාලන දැනුම අතින් අග්‍ර ස්ථානයේ ඉන්න මහින්දෙ පොන්නම්පෙරුම මිස්ව කවුරුත් දන්නවා ඇතිනේ.. මමත් මිස්ගේ පන්තියට ටික කාලයක් ගියා. මම රසායන විද්‍යාවට පොඩි හෝ ආසාවක් ඇති උණේ මිස් නිසයි. මිස්ගේ කතා නිසයි. මිස් කියන මහාචාර්ය ආරියරත්නගේ ජනිතා ලියනගේගේ කතා රසායන විද්‍යාව ගැන සුදාට ලොකු හීන මැව්වා. ඒක දැන් ආසාවට වඩා එහා ගිහින්. ඒ ආසාව නිසාම අන්තිමට සුදු කෝට් එකක් ගැන සුදාට හීනෙ සැබෑ වෙනවා වගේ පෙන්න ගත්තා. සුදාගේ හීනේ තිබුණ කොළඹ විශ්ව විද්‍යාලය හීනෙන් දුරස් උණත් ඒ ලඟම තිබුන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය එක්ක සුදා ගොඩක් හීන මැව්වා. කොහොම උනත් ඒ හීන හීනයක්ම වේවිද කියලා සුදාවත් දන්නේ නෑ.. රසායන විද්‍යාව හීනය සැබෑ උණොත් ඒ සුදාගේ ජිවිතේ වැඩියෙන්ම සතුටු උණ දවස වේවි.. සාමාන්‍ය පෙළ ප්‍රතිපල සතුටක් ගෙනවා. උසස් පෙළ ප්‍රතිපල දුකක් ගෙනවා.. දාහක් දෙනා දාහක් දේවල් කියද්දී තමන්ගේ හිතු මනාපෙට පිසිකල්ම යන්න උවමනාව නිසා වෙන මෙලෝ දෙකට ඇප්ලයි නොකරන කොට හුඟක් අය බනිද්දි ඒ ගැන තාමත් මුකුත් නොකිය ඉන්න සුදාගේ අම්ම තාත්තගේ මුනිවත, ඒ අයගේ හීන ගොඩක් දේවල් සුදාට කියනවා. අනේ මන්ද බලමුකෝ..


ජිවිතේ නැති උණ ලොකුම දේ මොකද්ද කියල සුදාගෙන් ඇහුවොත් දෙන්න තියෙන එකම උත්තරේ තමා ඉන්දීය ස්කොලර්ෂිප් එක. පත්තර වලින් දැකලා ඉන්ටනෙට් එකෙන් සර්ච් කරලා ඔක්කොම විස්තර හොයා ගත්තත් කරුමෙටම උණ පොඩි අතපසු වීමකින් ඒකට ඇප්ලයි නොකරපු දුක අද සුදා විඳවනවා. අල්ලපු අත්තත් කැඩිලා පයගහන්න තිබුණු අත්ත පෙනී පෙනී දුරස් උණ එක ගැන දහස් වාරයක් කම්පා වෙනවා. කොහොම උණත් ස්කොලර්ෂිප් පාස් උණ පැතුම්ටයි මදුසර මල්ලිටයි හදවතින්ම සුභ පතනවා. ඒත් මටත් මේකට ඇප්ලයි කරන්න තිබුණා. මම ඒ අවස්ථාව මග ඇරියා කියලා දුකකුත් හිතේ කොනක නැතුවම නෙමේ.. කොහොම උනත් දැකපු හීන සැබෑ කර ගන්න ලැජ්ජාව පැත්තකින් තියන්න දැන් නම් සුදාගේ ලාමක හිත හැදිලා ඉවරයි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...